*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

දෝනි දැනටමත් තෑග්ගකි

ඉන්දියානුවන් දෝනිට ආදරෙයිද? ඇත්තටම ආදරයට වඩා හැඟීම්බර ඔවුන් තුළ ඇත්තේ ගෞරවයක්ද?කුමක් වුව සංනිවේදනය වෙන්නේ ආදරය ය.ඒ ආදරයේ කොතෙක් දුරට ගිලී ගියේ ද යත් දෝනි ඊයේ සිය සමුගැන්ම වෙනුවට ප්‍රකාශ කළේ ආදරය වෙනුවෙන් තවත් තරග වාරයක් තෑගී දීමට තමන් උත්සාහ කරන බවය.
ඉන්දියානුවන් තුළ ඇති ජාතික හැඟීම ක්‍රිකට් හා මුසු වී ඇත.ඉතිං සෑම පන්නයකම ලෝක මට්ටමේ ජයග්‍රහණ ක්‍රිකට්වලින් ඉන්දියාවට ගෙනා දෝනි ට ඔවුන් ආදරය සහ ගෞරවය කරනු ඇත.මෙවර තරගාවලිය පුරාම දෝනි සහභාගි වූ සෑම තරගයකම ඒ ආදරය ඔහුගේ ඇස් තෙත් කරන තරමට දැඬිව දැනෙන්නට විය.


පස්වන වරටත් දෝනි සිය අතට අයිපීඑල් කුසලානය රැඟෙන ඒ ආදරයට ප්‍රතිචාර ලෙස තවත් වරක් ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් ක්‍රීඩා කරන්නට උත්සාහ කරන බව කීවේ ඒ නිසාය.සමහර විට මේ වන විටත් දණහිසේ ආබාධය කළමණාකරනය කර ගනිමින් පිතකරු නාමාවලියේ පහතට පැමිණ ක්‍රීඩා කරන දෝනි නායකයෙක් සමඟ කණ්ඩායම සමඟ සිට ගැනීම වුව ප්‍රමාණවත් තරමට ශක්තිමත් මඟ පෙන්වන්නෙක්ය.
දෝනිට තව නොබෝ දිනකින වයස අවුරුදු 42 කි.එහෙත් ඔහුගේ ප්‍රතිචාර දැක්වීමේ වේගය 21 ක තරුණයෙක්ටත් වඩා වේගවත්ය.යහපත්ය.සුබ්මන් ගිල් දවා ගැනීමට ඔහු ඊයේ කරන ලද ස්ටම්ප් කිරීමේ ප්‍රතිචාර දැක්වීමේ වේගය සියයට 0.1 ක් සේ දැක්විණ.ඇත්තටම එය අසරු සැණකින් සිදු වූ මෑත කාලයේ දුටු මනස්කාන්තම ස්ටම්ප් කිරිමක් බව කිව යුතුය.එයම දෝනි තවම චෙන්නායි පිළට නොව ඉන්දියාව වෙනුවෙන් ද කඩුල්ල පිටුපස සිට ගැනීමට සුදුසුකම් ඇති බව පෙන්වීමක්ය.


එහෙත් ඊයේ දෝනි ජීවිතයේ දුලබ ලකුණු බින්දුවක හිමිකාරයෙක් විය.එය ද මුහුණ දුන් පළමු පන්දුවෙන්ය.ගුජරාට් ටයිටන් කණ්ඩායම වෙනුවෙන් අවසාන පූර්ව තරගයේදී ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවෙන් මඟ පෙන්වීම කළ මෝහිත් ෂර්මා එම අවාසනාව දෝනි වෙත කැඳවාගෙන ආ පන්දු යවන්නා විය.ඔහු වර්ෂාව කළ බාධා කිරීම සමඟ පන්දු ඕවර් 15 දී ලකුණු 171 ක් ලබන්නට චෙන්නායි කණ්ඩායමට පැවරුණු ඉලක්කයට බාධා කරන්නට මතු වූ ප්‍රධානම බලවේගය විය.2015 න් පසුව ඉන්දීය ජාතික කණ්ඩායමට වැද්දාගෙන නැති මෝහිත් අවසාන් පූර්ව තරගයේදී කඩුලු 5 ක් මෙන්ම අවසාන තරගයේදී ගුජරාට් කණ්ඩායම වෙනුවෙන් කඩුලු 3 ක් ද දවා ගනිමින් ඉන්දීය තේරීම් කමිටුවටත් යම් වරදක් සිඳු වී ඇද්ද යන්න ගැන කල්පනා කරන්නට ඉඩ තිබ්බේය.


දෝනි කාසියේ වාසිය ලැබීමෙන් පසුව පළමුව පන්දුවට පහර දෙන්නට ගුජරාට් කණ්ඩායමට ඇරයුම් කළේය.ඔවුන් ලබා දුන් ඉලක්කය පහසු එකක් නොවීය.ලකුණු 214 කි.චෙන්නායි කණ්ඩායමේ පන්දු ඕවර් හතර අඩුම ලකුණු ගණනකින් නිමා කළ පන්දු යවන්නා වූයේ මහේෂ් තීක්ෂණ ය.ඔහු ලකුණු 36 ට සිය පන්දු ඕවර් 4 නිමා කළේය.මතිශ පතිරණ අවසාන භාගයේ පාපන්දුවක් තරමට පන්දුව දකිමින් සිටි සායි සුදර්ශන්ගේ ප්‍රහාරයට ලක් වුව ද තිබුණ තත්ත්වයට සාපේක්ෂව පිතිකරුවාව යම් පාලනය කිරීමකට යටත් කර ගත්තේය.අවසානයේ සුදර්ශන් පරාජය කරමින් අවසාන තරගයක ශතකයක් ලැබීමේ භාග්‍යයට ආසන්නව සිටි සුදර්ශන්ව ලකුණු 96 දී ක්‍රීඩාගාරයට හරවා යවන්නට ද සමත් විය.වැඩිම කඩුලු ප්‍රමාණය තරගයේදී චෙන්නායි පිළ වෙනුවෙන් ලද මතීශ ලකුණු 44 ට කඩුලු දෙකක් දවා ගත්තේය.ඊයේත් ඔහු අවසාන ඕවරයේ මුල් පන්දු දෙකට සුදර්ශන්ගෙන් හයේ පහර දෙකක සංග්‍රහයක් ලැබුව ද කඩුලු දෙකක්ම දවා ගනිමින් දෝනිගේ අපේක්ෂාවන් ඉටු කළේය.
ඉනික්බිති ඉන්දීය සංස්කෘතියේ ඇති ප්‍රාසාංගික බව ලෝකයට විවර කළ ඉන්දියානුවෝ ක්‍රීඩාවේ රිද්මයේ සහ කලාවේ රිද්මයේ චමත්කාරජනක මුසුවීම විඳහා දැක්වීය.ක්‍රීඩාවක් අතර තුර තාක්ෂණික මෙවලම් මෙන්ම පිටියේ සුරක්ෂිත භාවයද සුරැකි ඒ ප්‍රසංග අත්දැකීමෙන් පසුව රැස්ව සිටි පිරිසගේ ඇස් තෙත් කරමින් අහස හිතුවක්කාර විය.


ක්‍රිකට් ආගමක් තරමටම හදවතේ භක්තිය විසින් රඳවා ගෙන සිටින ඉන්දීය ජනතාවට අයිපීඑල් පූජාව හමාර කරන්නට බැරි අන්දමේ දේව ශාපයක ඉලක්ක වෙන්නට වේ ද යන සැකය මතු කරමින් පළල් වැහි බිඳු වේගයෙන් පතිත වන්නට විය.බොහෝ දෙනෙක් ඒ වැස්සට තමන්ව සේදෙන්නට දෙමින් එහිම රැඳෙමින් දේවාශිර්වාදය යදිමින් අයිපීඑල් අවසානයේ චමත්කාරය විඳ ගන්නට අවස්ථාව ඉල්ලා සිටියහ.
ඒ ලැබුණ අවසාන කිරීමේ අවස්ථාව වෙනුවෙන් චෙන්නායි සුපර් කින්ග්ස් ක්‍රීඩකයින්ට හදවතට දැණුන බරපතල හැඟීමක් තිබිණ.ඒ දෝනිය.ඔහු ගෞරවණීය මිනිසෙක්ය.වගකීම් සහගත වැඩිහිටියෙක්ය.ආදරණිය මාර්ගෝපදේශකයෙක්ය.ඔහු වෙනුවෙන් ජයග්‍රහණය ගෙන දීමේ වගකීම අවසාන තත්පරයේ දෝනිගේ ඔවදන් මතම පෙරට ආ දෝනිගේ ආදරය ඇතුළේම වැඩුණ රවීන්ද්‍ර ජඩේජාට පැවරිණ.
පන්දු දෙකකට ලකුණු 10 ක්…


ජඩේජාට දෝනි වෙනුවෙන් නොකළ හැකි දෙයක් නැති තරම්ය.ආදරයද ගෞරවයද එතරම්ය.නමුත් පන්දුව අත ඇත්තේ ගුජරාට් කණ්ඩායමේ අවසාන පූර්ව තරගයේ විනාශකාරයා මෙන්ම අවසාන තරගයේ ද ඒ වන විට කඩුලු 3 ට වගකියා ඇති මෝහිත් ෂර්මා අතේය.එහෙත් ජඩේජා සිය අරමුණ මත සිටගෙන සිටියේ වන්දනාවකට සැරසි අයෙක් මෙන් මහත් භක්තියෙන්ය.ඒ භක්තිය පරයා යන්නට මෝහිත්ට නොහැකි විය.ජඩේජා අවසන් පන්දු දෙකට හයේ පහරකුත් හතරේ පහරකුත් එල්ල කරමින් තමන්ගේ ක්‍රිකට් දෙවියන් පාමුළ අයිපීඑල් කුසලානය තැබීය.ට්විටර් හී සටහන්ව ඇති මේ වීඩියෝව තරගයේ අවසානය පෙන්වන්නකි.


https://twitter.com/i/status/1663282939168448512


දෝනි කළබල නැත.සියල්ලන් ජඩේජාටත් වඩා දෝනි වටාය.ඒ එය ඔවුන් දෝනි වෙනුවෙන් දිනා දුන් කුසලානයක් බැවිනි.ජඩේජා සියල්ල මඟ හැර ජයග්‍රහණයේ උන්මාදය ද සමඟ දිව එන්නේ සිය දෙවියන් වෙතය.ඔහුට ඒ ආදරය උපරිමයෙන් ලැබිණ. සාමාන්‍යයෙන් හැඟීම්බර ලෙස හැසිරෙන්නේ නැති දෝනි ජඩේජාව ආදරයෙන් සිප වැළද ඔසවා ප්‍රතිචාර දක්වන්නේ දිළිසෙන ඇස් ද සහිතවය.ඒ අයිපීඑල් ඉතිහාසයේ පස්වන වරට චෙන්නායි සුපර් කින්ග්ස් වෙත හිමි වූ කුසලානය විය.දැන් මුම්බායි ඉන්දියන් හා සමය.නමුත් නායකයෙක් සේ පස්වතාවක්ම කුසලානය දිනා ගත් දෝනි අසමසමය.


ඕවර් 15 ට ලකුණු 171 ක් යනු වර්ෂාවකින් පසු හඹායාමට අපහසු ඉලක්කයකි.පන්දු ඕවරයකට ලකුණු 11 ට ත් වැඩිය ලබා ගත යුතුය.නමුත් ජයග්‍රහණයේ අවශ්‍යයතාවය පැන නැඟෙන්නේ උවමනාව ඉක්මවා ගිය පිළිවෙතක තබාය.කඳුළු බරය.සිනහවන් සැහැල්ලුය.නමුත් ඒවායේ සැහැල්ලුව වඩාත් චමත්කාර ජනක වන්නේ බර කඳුළු වලින් නිමැවුණ විටය.චෙන්නායි වෙනස් කළේ බර කඳුළු බවට පත්වෙන්නට තිබූ තරගයක ඉරණමය.ඈත් කළේ සමීපව තිබූ පරාජිත කඳුළුවල බරය.ඒ නිසා මෙවර අයිපීඑල් අවසානය හරියටම වීරයෙක් වන්දනා කරන්නට ඔහු සමඟ රොඳ බැදුණ පිරිසක් විසින් කරන ලද මෙහෙයක් ගැන තැණුන සිනමා වෘතාන්තයක් බඳුය.ලාංකිකයන් හැටියට එම සිනමා වෘතාන්තයේ රංගන ශිල්පීන් දෙදෙනේකම සිටීම ගැන අපට ද සතුටු විය හැකිය.
ලංකාවේ ක්‍රීඩකයින් ද අයිපීඑල් කණ්ඩායම් පරිපාලනයට සම්බන්ධව සිටින වටපිටාවක,ඔවුන්ගෙන් නොලද වටිනාකමක් ලද, මහේෂ් තීක්ෂණගේ මෙන්ම මතීශ පතිරණගේ ද කැපකරු පියා සේ ඔවුන්ව විශ්වාස කරමින් ඔවුන්ගේ ක්‍රිකට් ජිවිතය කැටයම් කරන්නට දායක වුණ දෝනි ගැන දවසක මීට වඩා කතා කරන්නට අවස්ථාවක්, මතීශ සහ තීක්ෂණ උදා කරනවානම් දෝනිත් ආශාවෙන් සිටිනු ඇත.ඒ අපේ රටට ලැබුණ දායාදය ය.
අමතක නොවන තරගයක් හිතේ සිනමා සිත්තමක් සේ යළි යළිත් මැවෙන මට්ටමට ඔසවා තැබූ දෝනිගේ චෙන්නායි කණ්ඩායමට මෙන්ම හාර්ඩ්ක් පාන්ඩයාගේ ගුජරාට් කණ්ඩායමට ද ලොව පුරා ක්‍රිකට් ලෝලීන් ස්තූතිවන්ත විය යුතුය.දෝනි ඇත්තටම යළි යළිත් සනාත කරන්නේ ඉන්දියාවේ ක්‍රිකට් තුළ තමන් අසමසම ලොක්කා බවය.ඒ පෞරුෂය ලෝක ක්‍රිකට් වංශකතාවේ හැදෑරීමට සුදුසුම සාහිත්‍යමය වටිනාකමක් තිබෙන පුරාවෘත්තයක් බවය.මනුස්ස ජිවිතවලට පාර කියන අත්දැකීම් සාගරයක් බවය.ඒ නිසාම අපේ පෞද්ගලික අදහස යළිත් ආදරයට තෑගි දෙන්නට දෝනි පිටියට නොබැසිය යුතු බවය.ඒ මහා වෘක්ෂය යම් තරමින්වත් සීරීමක් නොලබා පුරාවෘත්තයක් සේ මේ ආඩම්බරයෙන්ම අනාගතයට ඉතුරු වී තිබිය යුතුය.එය ඉන්දියාවට පමණක් නොව ලෝකයේ ක්‍රිකට්වලට සිසිලක් දෙන මතක වඳුළක් ව තිබිය යුතුය.


මේ තරගයේ ලකුණු පූවරුවට යන තැනය.
https://www.espncricinfo.com/series/indian-premier-league-2023-1345038/gujarat-titans-vs-chennai-super-kings-final-1370353/full-scorecard

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan