අහෝ රනිල් !

උපාලි කොළඹගේ

කොළඹ LNW:රනිල් වික්‍රමසිංහ ධනපති පන්තියේ නියෝජිතයා. ඒක ඇත්ත. ඒකට කාටවත් නැහැයි කියන්න බෑ. ඒ වුණාට ධනපති පන්ති දේශපාලනය කිසියම් නමක් හදා ගත්තු කෙනෙක්. ඔහුගේ දේශපාලනය නුරුස්සන අය අතර පවා මිස්ට ක්ලීන් යන නම ජනප්‍රිය වුණේ නිකම්ම නෙමෙයි. භාවිතයෙන්ම රනිල් ඒ බව ඔප්පු කළා.

රනිල්ට එක්සත් ජාතික පක්ෂයේ නායකකම ලැබුණෙත් පිනට කියල කිව්වොත් ඒකත් වැරදි නෑ කියල මං හිතනව. ජ්‍යෙෂ්ඨයෝ ඔක්කොම කොටි සංවිධානය විසින් මරා දැමීම නිසා රනිල් වික්‍රමසිංහ නිකම්ම ඉස්සරහට තල්ලු වුණා. එහෙම නූන නම් තපින්න වෙනව නායකකමට එන්න.

ජනාධිපති වුණෙත් ඒ විදියටනෙ. හැබැයි මිනිහ වැඩකාරය. රාජපක්ෂ ගැංසිය විසින් වලපල්ලට දමා තිබූ රට යන්තම් කෙලින් කර ගත්තෙ රනිල්ගෙ මොළෙන්. මොළ හතාල කාල දාළ තිබිච්ච රටට සේලයින් පාරක් දීල නාඩි වැටෙන තත්ත්වයට ගත්තෙ රනිල් .

හැබැයි ඒ වෙලාවෙ රනිල්ට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි එක තීරයක් ගන්න සිද්ධ වුණා.

ඒ රාජපක්ෂ කල්ලිය එක්ක එක ගෙයි කෑම. ඒ ” හොරුත් එක්ක හෙළුවෙන් ” ඉඳගෙන රට පාලනය කිරීම. එහෙම නොකර බෑ තමයි. ඒ වුණාට රනිල් වික්‍රමසිංහ දේශපාලන වශයෙන් වල් වැදුණෙ ඒ වෙලාවෙ යන්න මගෙ පෞද්ගලික අදහසයි. රනිල් ගේ පරිහානියේ ඇරඔුම එතැනය.

කෙසේ වුවත් රනිල් වික්‍රමසිංහගේ දේශපාලන පරිහානියේ උච්චතම අවස්ථාවට දැන් ඔහු ළඟා වීඇතැයි මා හිතනවා. ඒකට නිමිත්ත ලෙස දක්වනුයේ රනිල් වික්‍රමසිංහ පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යධිකාරී මණ්ඩලයේ දී කළ අදහස් දැක්වීමක්. ඔහු සඳහන් කර සිටියේ මේ ආණ්ඩුව රණවිරුවන්ට සලකන ආකාරය හා භික්ෂූන් වහන්සේලා පිළිබඳව කටයුතු කරන ආකාරය බලවත් දෝෂ සහගත බවය.

එමෙන්ම තව ටික කලකින් රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටෙන බවටද ඔහු අනාවැකියක් පළකලා. එය හේතු සහගතව කළ ප්‍රකාශයක් ද නැත්නම් තමන්ගේ ප්‍රාර්ථනයද යන්න පැහැදිලි නෑ. කොහොම වුණත් මේ රනිල් වික්‍රමසිංහ ද කියල හිතාගන්න වත් බැරි තරමේ පසුගාමී අදහස් දැක්වීමකුයි ඔහු කර තිබුණේ. යුදමය වාතාවරණය නිසා අපේ රට පමණක් නෙමෙයි අපට වඩා හොඳට කාල ඇඳල හිටපු රටවල් පවා දැන් ඉන්නෙ ආර්ථික අවිනිශ්චිතතාවෙන්. ඒ ගැන සඳහන් නොකර මේ වගෙ ගොන් කතා කියන එක නම් රනිල් වගේ කෙනකුට කොහොමවත් ගැලපෙන්නේ නෑ.

එතුමා කළ අනික් ප්‍රකාශවල ඇත්ත නැත්ත විමසා බලමු. රණවිරුවන්ට සලකන ආකාරය යනුවෙන් රනිල් අදහස් කරන්නේ මොකක්ද? සලේව සැකපිට අත්අඩංගුවට අරන් ප්‍රශ්න කිරීමද? හිටපු බුද්ධි ප්‍රධානී සලේ පාස්කු ප්‍රහාරයට වගකිව යුතු ද නැද්ද යන්න අපි දන්නෑ. තවම පරීක්ෂණ යනවනෙ. එතුමගෙ කාලෙත් බුද්ධි අංශ සාමාජිකයන් බුරුතු පිටින් පාව දුන්න කියල චෝදනා එල්ල වුණානෙ. රණවිරු කියන ආමන්ත්‍රණයම රණවිරු ගායේ රෝග ලක්ෂණයක් විදියටයි මා දකින්නෙ.

සලේ සිද්ධිය දැනගෙන ගණන් නොගෙන හිටියද, කාව හරි බලයට පත්කරන්න ඕනෑවට මේ සිද්ධිය අඩයකට ගත්තද කුමන්ත්‍රණයට ඔහුත් හවුල් කියා අප කිසිවකු දන්නේ නෑ. ඒක උසාවියෙන් තීන්දු කරන්න ඕනෑ. මහ මොළකරුවකු හිටියද නැත්නම් අන්තවාදී සංවිධානයේ වැඩක් විතරක්ද කියන එකත් පරීක්ෂණවලදී හෙළිවෙයි. එතකන් සලේ සැකකාරයෙක්.

රනිල් එජාප කෘත්‍යධිකාරී මණ්ඩලයේදී කියපු අනික් කතාව ආණ්ඩුව මහා සංඝරත්නය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳවය. ඔය කියන්නෙ මොකක්ද ? බාල වයස්කාර දැරියක දූෂ්‍ය කෙළේ යැයි සැක පිට අනුරාධපුර අටමස්ථානයේ හිටපු / ඉන්න හිමිනම සැක පිට අත්අඩංගුවට ගැනීමද? නැත්නම් කුෂ් මත්ද්‍රව්‍ය සමග තරුණ භික්ෂූන් වහන්සේලා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගැනීම ගැන ද? නැත්නම් ඒ දෙකමද?

ඊට අමතරව විහාරස්ථානවලට කෙරෙතැයි කියන අකටයුතුකම් ගැන ද ඔහු එතැනදීි චෝදනා කර තිබේ.

රනිල් මහත්තයො මොනවද මේ සිල්ලර කතා. තමුන්නැහැට වර්තමාන දේශපාලන සන්දර්භය තුළ තැනක් නැහැ කියල හිතෙන්නෙම නැද්ද? අඩුම ගානෙ රට ආර්ථික වශයෙන් වැටුණු අවස්ථාවේදී ඔබ කළ සේවයට කෘතවේදී වන්නට වත් ඉඩ තියන්නෙ නැද්ද? පහත්ම දේශපාලන අවි අමෝරා ගෙන මේ විදියට සටන් කරන්න ලැජ්ජාවක් වත් නැද්ද?

රණවිරු ගාය, ආගම් වාදය ජාතිවාදය තරමටම දූෂිතය. රනිල්ගේ මේ නැඹුරුව අනාගතයේ බලයට පත්වීමේ දේශපාලන අරමුණින් සිදු කරන්නකැයි සිතිය හැක. එහෙත් මට හිතෙන්නේ අනාගතයේ සජිත්ගේ හෝ නාමල්ගේ දේශපාලන ගමනට අත්වැල් ගායනයෙන් සහභාගී වනවා හැරෙන්නට ඔහුට වෙන තනි ගමනක් නැති බවය. ජීවිතයේ අවසන් කාලයේ එම පාපයට කර නොගසා දේශපාලනයෙන් විශ්‍රාම ගන්නේ නම් තමන්ටත් රටටත් හොඳ බවය මගේ පෞද්ගලික අදහස.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...