Sunday, June 26, 2022
spot_img
spot_img

Latest Posts

ඇයි ලංකා විදුලිබල මණ්ඩලය?

අහිලන් කදිර්ගාමර් විසිනි 

සියලු දෙනාගේ අවධානය ලංකා විදුලිබල මණ්ඩලය ( ලංවිම) වෙත යොමු වී ඇත. නමුත්,  ඇයි දැන්?  එමෙන්ම,  වැඩ කරන ජනතාව සම්බන්ධයෙන් මෙහි ලා පරදුවට තැබෙන්නේ කුමක් ද? ලංවිම පුද්ගලීකරනය කිරීමේ අන්තරායන්, වෙළඳපොල  මිලට විදුලිය දිම සඳහා ජාත්‍යන්තර  මූල්‍ය අරමුදල ( ජාමූඅ )දමන  තල්ලුව සහ ගැටළුකාරී අදානි-ගනුදෙනුව පිලිබඳ මම පහත ආමන්ත්‍රණය කරන්නෙමි .

අර්බුද සහ පෞද්ගලීකරණය

මූල්‍යකරණය, නාගරීකරණය සහ යටිතල පහසුකම් ගොඩනැගීම මගින් සංලක්ෂිත නව ලිබරල් ප්‍රතිපත්තිවල දෙවන රැල්ල සමගින් පැමිණි පුද්ගලීකරන තල්ලුව  ලංවිම “ප්‍රතිසංස්කරණය” කිරීම  දශකයකට වැඩි කාලයක් තිස්සේ  න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබුණි. මෙම සන්දර්භය තුළ ප්‍රතිසංස්කරණය යනු පුද්ගලීකරනය, සහ උපයෝගිතා වලින් ලාභ උකහා ගැනීම සඳහා වූ සුලාපයයකි. 2016 වන විට, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් 16 වැනි ගිවිසුමෙහි වෙළඳපොළ මිලට  බලශක්තිය සැපයීම සහ ලංවිම වැනි රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරිපත් කරන ලදී.

ලොව පුරා අප දැක ඇති පරිදි අර්බුද යනු සූරාකෑම, උද්ධරණය (extraction) සහ ධනේශ්වර සමුච්ඡායනය (accumualtion) සඳහා භූ දර්ශනය සැකසීමේ අවස්ථාවකි. මිල තුන් ගුණයකින් වැඩි වී තිබියදීත් ඉන්ධන සඳහා ඇති දිගු පෝලිම් සහ පැය ගණන් විදුලිය විසන්ධි වන විට ජනතාව තුළ බලාපොරොත්තු සුන්වීම ඕනෑම ආර්ථික කටයුත්තක් සඳහා බලශක්ති අවශ්‍යතාවය පෙන්නුම් කරයි. මෙයින් අදහස් කරන්නේ බලශක්ති අංශයෙන් ලාභ උකහා ගැනීමේ දැවැන්ත විභවයක් පවතින බවයි.  තවද, ශ්‍රී ලංකාව ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දෙන විට, බංකොලොත්වීම අබියස ඉතා අඩු මිලට වත්කම් අලෙවිය මූල්‍ය ධනපතියන්ගේ පහසු සහ අභිමත විසඳුම බවට පත්වේ. 

එවිට රටේ උපාය මාර්ගික වත්කම් ගෝලීය ප්‍රාග්ධනයට විකිණීමෙන් බාහිර ණය පියවීමට යොමු විය හැකි අතර, පුද්ගලීකරනය කිරීමේ ක්‍රියාවලියේදී සහ මහජනයාගෙන් අඛණ්ඩව උද්ධරණය කිරීමේ පරිසරයක් නිර්මාණය කිරීමේදී දේශීය ප්‍රභූන්ට ලාභ නෙලා ගත හැකිය.  

මෙම සන්දර්භය තුළ, අප වැනි රටක විදුලි සේවා පෞද්ගලීකරණය කිරීමේ  ක්‍රම බොහොමයක් තිබේ. එය ‘අදානි සමූහය’  වැනි විශාල සමාගම්වලට විදුලිය නිපදවීමට සහ විකිණීමට ඉඩ දීමෙන් ආරම්භ විය හැකිය, නැතහොත් එය බිල්පත් ගාස්තු එකතු කිරීම බාහිර ආයතනයකට පැවරීමෙන්  විය හැකිය, නැතහොත් ලංවිම ලාභය පමණක් අරමුණු කරගත් මූල්‍යකරුවන් විසින් පාලනය කරනු ලැබීම සඳහා කොටස් වෙළඳපොලේ පා කර හැරීම හරහා  එය විය හැකිය. අවසානයේදී එවැනි පුද්ගලීකරනය විදුලිය සඳහා ඉතා වැඩි මිලක් ගෙවීමට හෝ විදුලිබල පද්ධතියෙන් විසන්ධි කිරීමට මුහුණ දීමට සිදුවනු ඇති වැඩ කරන ජනතාව මත බර වැඩිවීමට තුඩු දෙයි. 

පාඩු සහ සහනාධාර

ලංවිමට දැනට එල්ල වී ඇති ප්‍රහාරයෙන් කියා සිටින්නේ එය පාඩු ලබන ආයතනයක් බවත් ජාතික භාණ්ඩාගාරයට විශාල අපතේ යෑමක් කරන්නක්  බවත් ය. 2021 මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව ලංවිමට  2020 දී රුපියල් බිලියන 69 ක් සහ 2021 දී රු. බිලියන 22 ක්  අහිමි වූ අතර, මෙම වෙනසට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ජල විදුලි උත්පාදනය සඳහා ජල පෝෂක ප්‍රදේශවල වැසි ජලය තිබීමයි. තවද 2021 අවසන් වන විට ලංවිම දිගුකාලීන ණයතුරුස් රු. බිලියන 503 ක් ලෙස පිහිටියේය. නමුත් විදුලිබල මණ්ඩලයේ මෙම සමුච්ඡිත ණය, උදාහරණයක් ලෙස 2022 අයවැයෙන් පමණක් රු. බිලියන 270 ක් වූ,  මහාමාර්ග සහ මාර්ග සඳහා රජයේ ආයෝජනය වැන්නක් සමග සැසඳීමෙන් සන්දර්භගත කළ යුතුය.  

කෙසේ වෙතත් ප්‍රශ්නය වන්නේ අප එවැනි පාඩු – ඇත්ත වශයෙන්ම සහනාධාර – ආමන්ත්‍රණය කරන්නේ කෙසේද?  යන්නයි. ශ්‍රී ලංකාව අද්විතීය බව අප පළමුව පිළිගත යුතුය; එය මුළු ජනගහනයම පාහේ විදුලිබල පද්ධතියට සම්බන්ධ වී ඇති තුන්වන ලෝකයේ රටවල් කිහිපයෙන් එකකි. ඇත්ත වශයෙන්ම, අපේ ජනගහනයෙන් බහුතරයක් ගෙවන්නේ  විදුලිය  කිලෝවොට් පැයකට හුදෙක් රු. 7.5 ක් නැතහොත්  මසකට රු. 500 කට අඩු ගණනක් වන අතර කිලෝවොට් 60 කට අඩුවෙන් භාවිතා කිරීම සඳහා දෙන සහනාධාරයෙන් ඔවුහු වාසිය ලබා ගනිති.  2020 සහ 2021 වසරවල විදුලි නිෂ්පාදන පිරිවැය කිලෝවොට් එකකට රු. 20 ක් පමණ බැගින් වීය, ඒ නිසා පැහැදිලිවම අපේ වැඩ කරන ජනතාවට විශාල සහනාධාරයක් ලබා දී ඇත. ඊළඟට, මිල නියම කිරීමේ ව්‍යුහය සකස් වී ඇත්තේ, වඩා ධනවත් පංති ඇතුළු ගෘහස්ත භාවිතා කරන්නන් සඳහා මුළු සාමාන්‍ය විදුලි පිරිවැය රු. 15ක්, කර්මාන්ත රු. 15ක්, රජය රු. 18ක් සහ හෝටල් රු. 18ක්  වන පරිදි ය. වෙනත් වචන වලින් කිවහොත්, ඊනියා පාඩු නොවැළැක්විය හැකි වන පරිද්දෙන්, ප්‍රධාන අංශ සියල්ලටම පාහේ  සහනාධාර මිලට විදුලිය ලැබී ඇත. තවද, 2014 වසරේ සිට බොහෝ දුරට විදුලි ගාස්තු සංශෝධනය කර නොමැත. එබැවින්, වෙනත් ඕනෑම ආයතනයක් මෙන් ලංවිම වඩාත් කාර්යක්ෂම කළ යුතු අතර, සැබෑ ප්‍රශ්නය වන්නේ විදුලි මිල හරහා වඩා විශාල  ප්‍රතිව්‍යාප්තියක් (redistribution)  සිදු වන බව සහතික කිරීම සඳහා රජය විසින් මිල නියම කිරීම පිළිබඳ ය;  එහිදී, උදාහරණයක් ලෙස ධනවත් පංති සහ සංචාරක ක්ෂේත්‍රය වැඩි මුදලක් ගෙවයි. එපමනක් නොව, වැඩ කරන ජනතාව සඳහා සහනාධාර සේවා සහතික කරනු වස් ප්‍රතිව්‍යාප්තගත කිරීමේ බදු පැනවීමක් අවශ්‍ය වේ. 

ලංවිම යනු ලාභ ලබන ආයතනයක් ලෙස නොව රාජ්‍ය සේවා ආයතනයක් ලෙස අප සිතිය යුතුය.

වත්මන් වර්ෂය ගතහොත්, ජල විදුලිය සඳහා පවතින ජලය අඩු වීමත්,  යුක්රේනයේ යුද්ධය සමග  ගෝලීය වශයෙන් තෙල් මිල ඉතා විශාල ලෙස ඉහළ යාම රුපියල අවප්‍රමාණය වීම සමග බද්ධවීමත්  සමගින්  විදුලි ජනනය මිළ කිලෝවොට් එකකට රු. 50 තරම් දක්වා ඉහළ යා හැකිය. මෙම මිල ඉහල යාම් සහ උපස්ථායක “පාඩු” ලංවිමට පහර දීමට සහ එය පුද්ගලීකරනය සඳහා තල්ලු කිරීමට යොදා නොගත යුතුය. ඒ වෙනුවට ආදායම් සහ ධන බදු හරහා ප්‍රතිව්‍යාප්තිය ඇතුළුව,  අත්‍යවශ්‍ය අංශ සඳහා රාජ්‍ය අනුග්‍රහය සහ ප්‍රතිපාදන සැළසීමට ප්‍රමුඛත්වය දීම අවශ්‍ය වේ. තවද, වඩා පහත මට්ටමේ පාරිභෝගිකයින් සඳහා විදුලිය මිල වැඩි කිරීම ඔවුන් සන්තක දෑ  තවදුරටත් අහිමි කිරීමට හේතු විය හැක. ආර්ථික අර්බුදයත්   සමග වැඩකරන ජනතාවගේ ආදායම් පහත වැටෙන විට, විදුලි මිල ගණන් ඔවුන්ගේ ජීවනෝපායන් කෙරෙහි බලපෑ හැකිය; නිදසුනක් වශයෙන්, තමන්ගේ ගෙවතුවලට ජලය සැපයීම සහ විදුලි බලය අවශ්‍ය වන කුඩා නිෂ්පාදන කරගෙන යාම ඔවුන්ට අපහසු වනු ඇත. 

සමායාතනිකයන් ( corporates) සහ ප්‍රතිරෝධය

මෙම සන්දර්භය තුළ, අදානි සුළං බලාගාර ගනුදෙනුව අප සැමගේ අවධානයට ලක්විය යුතු කුප්‍රකට සිද්ධියකි. කිලෝවොට් එකක් ජනනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකදී එකඟ වී ඇති බව පෙනෙන පිරිවැය ඇමෙරිකානු ඩොලර් 0.0755ක් වන අතර ජාත්‍යන්තර වෙළඳපොල මිල එම මුදලින් අඩකට වඩා අඩුය. ඇත්ත වශයෙන්ම, ලංසු තැබීමකින් තොරව සිදු වූ ගනුදෙනුවකදී විදුලිය නිෂ්පාදනය සඳහා එවැනි අධික පිරිවැයක් දැරීමට සිදුවුවහොත්, එම පිරිවැය පාරිභෝගිකයින්ට හෝ බදු ගෙවන්නන් වෙත පැවරීමට නියමිතය. දෙවනුව, දැනට විවිධ ආකාරයේ විදුලි ජනන පිණිස විවිධාංගීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සමස්ත භාවිතය මෙගාවොට් 2,300 ත් 2,800 ත් අතර වන්නේය යන්න සළකා බලන කළ මෙගාවොට් 500 ක ධාරිතාවයකින් යුත් යෝජිත දැවැන්ත බලාගාරය සුළං බලය සඳහා වෙන් කර ඇති ප්‍රක්ෂේපිත 700 මෙගාවොට් සියල්ලම පාහේ අවශෝෂණය කරනු ඇත. 

මෙය අනාගතයේදී බරපතල ගැටළුවක් බවට පත් විය හැකිය, මන්ද එය අනෙකුත් වෙළඳපොල ප්‍රවේශකයන් සීමා කරන අතරම අදානි සමූහ ව්‍යාපාරයට දැවැන්ත ඒකාධිකාරී උත්තෝලනයක් සැපයීමද කරන හෙයිනි. අවසාන වශයෙන්, ශ්‍රී ලංකාව විසින් පිරිවිතරයන් නියම කළ යුතුව තිබුණු ව්‍යාපෘති සඳහා ලංසු තැබීම මෙන් නොව, මෙය අදානි විසින් සැළසුම් කරන ලද සහ ශ්‍රී ලංකාව යටහත් පහත්ව පිළිගත් ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය සඳහා මන්නාරම සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල ඉඩම් වෙන් කර ඇති හෙයින්, අදානි සමාගම අඩු කාර්යක්ෂමතාවයකින් යුත් සුළං බල යටිතල පහසුකම් බැහැර කළහොත්, ඉඩම් පරිහරණයේ  ආවස්ථික පිරිවැය ( opportunity cost ) නොසලකා හරිමින් අප වඩා විශාල ඉඩම් ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතිය සමග බැඳ තබනු ඇත. මේවා සමහර ඉංජිනේරුවන් විසින් ඉදිරිපත් කරන ලද ඒත්තු ගැන්වෙන තර්ක වන අතර, රජය ඒ පිළිබඳ පැහැදිළි කළ යුතුය, නැතහොත් විකල්පයක් ලෙස, ගනුදෙනුව රටට එතරම් අනර්ථකාරී නම් එය  අවලංගු කළ යුතුය.

අදානි ගනුදෙනුව සම්බන්ධයෙන් මතුවිය හැකි ආකාරයේ විරෝධයක සමාජීය හා දේශපාලනික ප්‍රතිවිපාක ගැනද මම සැලකිලිමත් වෙමි. මෙම ගනුදෙනුව පිටුපස ඇති පන්ති ඵලප්‍රයෝජනයන් පිළිබඳ අප පැහැදිලි විය යුතු අතර, එය අදානි ඉන්දියන් ද, චීන ද,  ඇමරිකානු ද යන්න ගැන නොවේ. ඉන්දියානු විරෝධී හැඟීම් අවුස්සන අනිථිභීතිකාමී (xenophobic) ජාතිකවාදී ප්‍රතික්‍රියාවක් අපගේ වැඩ කරන ජනතාවට තිරසාර සහ දැරිය හැකි ආකාරයෙන් විදුලිබල සේවා සැපයීම පිළිබඳ ප්‍රශ්නයෙන් අවධානය ඉවත් කරයි.

අපගේ වැඩකරන ජනතාවට බලපාන ගෝලීය සහ ශ්‍රී ලාංකීය සමායාතනික ඵලප්‍රයෝජනයන්ට ප්‍රතිරෝධය දැක්වීමේ පන්ති දේශපාලනය පිළිබඳ පැහැදිලි භාවයක් අවශ්‍ය කෙරෙයි, මන්ද, ආර්ථික අර්බුදය ගැඹුරු වත්ම මෙවැනි තවත් බොහෝ ගනුදෙනු දැකීමට අපට ඉඩ ඇති බැවිනි. මේ මොහොතේ, ප්‍රහාරයට ලක්ව ඇති ලංවිම සහ එහි වෘත්තීය සමිති ආරක්ෂා කිරීමට අප ඉදිරිපත් විය යුතු අතර විදුලිය පුද්ගලීකරනය කිරීමට ගෙන යමින් තිබෙන පියවරයන්ට ප්‍රතිරෝධය දැක්විය යුතුය.

“Why CEB?” යන මැයෙන් Daily Mirror පුවත් පතේ 2022 ජූනි 20 පළ කළ අහිලන් කදිර්ගාමර් ගේ ලිපිය සිංහල පරිවර්ථනයකතිකාවිසිනි

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.