සටහන – පුලී
ජූලි 18, LNW (කොළඹ): ලෝක සිනමාවේ අමතක නොවන රංගන ශිල්පිනියක වූ බ්රෙන්ඩා ෆ්රිකර් වයස අවුරුදු 81 දී ඩබ්ලින් නගරයේදී අභාවප්රාප්ත වී තිබේ. ඇයගේ මරණය ඇගේ නියෝජිත ෆිල් බෙල්ෆීල්ඩ් සහ ඇය නියෝජනය කළ Ward නියෝජිත ආයතනය විසින් තහවුරු කර ඇති අතර, මරණයට හේතුව පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් ප්රකාශයට පත් කර නොමැත.

1989 වසරේ තිරගත වූ “My Left Foot” චිත්රපටයේ බ්රිජට් ෆේගන් බ්රවුන්ගේ චරිතය අතිවිශිෂ්ට ලෙස ජීවමාන කළ බ්රෙන්ඩා, එම රංගනය වෙනුවෙන් හොඳම සහාය නිළියට හිමි ඔස්කාර් සම්මානය දිනාගනිමින් එම ගෞරවය හිමි කරගත් පළමු අයර්ලන්ත රංගන ශිල්පිනිය ලෙස ඉතිහාසයට එක්විය.
කෙසේ වෙතත්, ලොව පුරා මිලියන ගණනක් වූ ප්රේක්ෂකයන්ගේ ආදරය දිනාගත්තේ 1992 වසරේ “Home Alone 2: Lost in New York” චිත්රපටයේ හදවතට කතා කළ “Pigeon Lady” චරිතය හරහාය. කෙවින්ට ජීවිතයේ වටිනාකම් කියාදුන් එම නිහඬ, සංවේදී චරිතය අදටත් නත්තල් සමයේ අමතක නොවන සිනමා මතකයක් ව හමාරය.

The Field (1990), Angels in the Outfield (1994), Albert Nobbs (2011), So I Married an Axe Murderer (1993), Inside I’m Dancing (2004) මෙවැනි සිනමාපටවල මෙන්ම, Casualty, Crown Court, Holby City සහ තවත් බ්රිතාන්ය හා අයර්ලන්තයේ ජනප්රිය රූපවාහිනී නාට්ය මාලා රැසකද ඇයගේ දක්ෂ රංගන කෞශල්ය අපට දැකගත හැකි විය.
බ්රෙන්ඩාගේ ජීවිතය ජයග්රහණවලින් පමණක් පිරුණු එකක් නොවීය. ළමා වියේ අඳුරු අත්දැකීම්, ජීවිතය වෙනස් කළ රිය අනතුරක් සහ පෞද්ගලික අභියෝග රැසක් මැදින් ගමන් කළ ඇය, සිය කැපවීම සහ අසීමිත දක්ෂතාවය තුළින් ලෝකයේ ඉහළම රංගන ගෞරවය හිමි කරගත් කලා ශිල්පිනියක් බවට පත්වූවාය.
ඇයගේ මරණය පිළිබඳ ශෝකය පළ කළ නියෝජිත ෆිල් බෙල්ෆීල්ඩ් මෙසේ පැවසීය.
බ්රෙන්ඩා ෆ්රිකර්ගේ නික්ම යාමත් සමඟ ලෝක සිනමාවට තවත් අසමසම රංගන ශිල්පිනියක් අහිමි වී ඇත. එහෙත් ඇයගේ චරිත, ඇයගේ සංවේදී රංගනය සහ ප්රේක්ෂක හදවත් ස්පර්ශ කළ ඇයගේ නිර්මාණ කිසිදා අමතක නොවනු ඇත.

නිවන් සුව ලැබේවා, බ්රෙන්ඩා ෆ්රිකර්.
ඔබගේ රංගනය සහ මතකය සදාකාලික පරිච්ඡේදයක් වනු ඇත.

