*
Friday, April 19, 2024
spot_img

Latest Posts

අර්බුදය ජයගත හැක්කේ එක්සත් වීම තුළ පමණයි: NMSJ

2022.07.30 දින සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සහ ජාතික හා ආගමික සංහිඳියාව සඳහා වන එකමුතුව විසින් සංවිධානය කරන ලද යහපත් රටක් උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් – ගාල්ල දිස්ත්‍රික් සමුළුවේදී හිටපු කථානායක කරු ජයසූරිය මහතා විසින් පළකරන ලද අදහස්

අති ගෞරවනීය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් විසින් මෙම ජාතික ව්‍යාපාරය 2013 වර්ෂයේ බිහි කළේ එවකට  පැවැති පාලනය විසින් ප්‍රජාතන්ත්‍රවාදය දැඩි පීඩනයකට ලක්ව ඇති අවස්ථාවක හා රට ඒකාධිපතිවාදය කරා සීඝ්‍රයෙන් යමින් තිබුණ අවස්ථාවකයි.

උන්වහන්සේ දැඩිව විශ්වාස කළේ විධායක ජනාධිපති පදවිය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් අහිමි වන බවයි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය බිහි වුණේ ජාති ආගම් භේදයෙන් තොර යුක්තිගරුක හා  නීතිගරුක සාධාරණය රජයන මිනිස් සමාජයක් බිහි කිරීමේ උදාර පරමාර්ථයෙන්.

අද අපි මෙම සම්මන්ත්‍රණය පවත්වන්නේ ඒ උතුම් දැක්ම ඉදිරියට ගෙන යාමටයි.
අපි ස්වාධීන ආයතනයක්. අප තුළ කිසිම දේශපාලන ගැති කමක් නැහැ. රාජ්‍ය පාලනයේ හොඳ ක්‍රියාදාමයන් අගය කරන අතර වැරදි සිදු වන විට ඒවාට විරුද්ධව දැඩිව අපි පෙනී සිටිනවා.

අපට රට ගැන හැඟීමක් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය රජයන සමාජයක ජීවත් වී අපේ ඇටකටු මෙහිදී මිහිදන් කිරීම අපගේ පැතුමයි.

20 වැනි සංශෝධනය ගෙන ඒමෙන් මේ රටේ පැවති ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම විනාශ වුණා.

එම පනත ඉදිරිපත් කළ පසු දින සිටම සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් දැඩි විරෝධ ව්‍යාපාරයක් ගෙන ගියා. 2/3 බලයත්, 20 වැනි සංශෝධනයෙන් ලත් අසීමිත බලතල තුළිනුත් තනි පුද්ගලයකුට මිලියන 22 ජනතාවගේ ඉරණම පැවරුණා. මෙයින් ඇති ඇති වූ ප්‍රතිඵලය මම විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ.

අපි එදා සිට 19 වන සංශෝධනය බලාත්මක කරන ලෙස විශාල හඬක් නැගුවා. 2015 එම සංශෝධනය ගෙන ඒමෙන් ශිලාචාර රටක් ලෙස ලෝක ප්‍රජාව ගේ ගෞරවයට ශ්‍රී ලංකාව පාත්‍ර වුණා. රාජ්‍යකරණයට දේශපාලන බලපෑම් නැති වුණා. රාජ්‍ය නිලධාරීන්ට තම ආත්ම ගෞරවය රැකගෙන සේවය කිරීමේ අවස්ථාව ලැබුණා. රටේ පිරිහීම, ආර්ථිකයේ පිරිහීම, දූෂණය ඉහ වහා යෑම හා නීතියේ බිඳවැටීම මෙන්ම එක රටක නීති දෙකක් ඇති වූයේත් 20 වැනි සංශෝධනය හරහා ලබාදුන් ලබාදුන් අසීමිත බලතල තුළයි. රට තුළ බහුතර  ජනතාවක් 20 වැනි සංශෝධනය පිළිගන්නේ නැහැ.

අපට සැනසීමක් ලබා දෙමින් 19 වැනි සංශෝධනය බලාත්මක කිරීමට රජය තීරණයක් ගත් බවත්, එය ඉදිරි සති කිහිපය තුළ තුල ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත්, ගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා හා ගරු අධිකරණ ඇමතිතුමා  සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය වෙත දන්වා තිබෙනවා. මුල සිටම මේ වෙනුවෙන් හඬක් නැගූ අප ව්‍යාපාරය මේ ආරංචිය තුළින් අසීමිත මානසික තෘප්තියක් ලබා ගන්නවා.

දැන් අපට කාලය ඇවිල්ලා තියෙනවා අප නිදහස ලබා ගත් දා සිට ගත වූ කාලය දෙස ආපසු හැරී බැලීමට. එදා ආසියාවේ සමෘද්ධිමත් රටක්, ලෝකයේම දිළිඳු රටක් බවට පත්වීමට හේතු හෘදය සාක්ෂියෙන් විමසීමට.

අප රටේ ඇතිවූ ජාතික, ආගමික හා දේශපාලන ගැටුම් මෙන්ම දේශපාලන බලය ලබාගැනීමට හා රැක ගැනීමට ඇතැම් පාර්ශව ගත් අයුතු ක්‍රියාමාර්ග මෙන්ම රාජ්‍ය යාන්ත්‍රනය මුළුමනින්ම දේශපාලනීකරණයට ලක් කිරීම නිසා මේ රට  අද පවතින අසරණ තත්ත්වයට පත්කර තිබෙනවා. එහදි මේ රටේ ජාතික සම්පත් කොල්ලකෑම නිසා රටට අත්කර දී ඇති විනාශය ද අප කිසිසේත්ම අමතක කළ යුතු නැහැ.

රට විනාශ වී ඇති මෙම අවාසනාවන්ත අවස්ථාවේ අප අතර ඇති විවිධ භේද අතහැර අත්වැල් බැඳගන්න පුලුවන්නම් රට බේරාගැනීමට හැකි බව අපගේ බලවත් විශ්වාසයයි. පාර්ලිමේන්තුව තුළ ඒ සමගිය අපි තවමත් දකින්නේ නැහැ. අපි මෙම අවස්ථාවේ දී රාජ්‍ය නායකයන් ඇතුළු සියලුම දෙනාට ආයාචනය කර සිටින්නේ සමගිව සාමකාමීව අනාගත පරපුර ගැන සිතා පාර්ලිමේන්තුව තුළින් විසඳුමක් සොයා ගන්නා ලෙසයි.

අප මේ අර්බුදයට විසඳුමක් ලෙස යෝජනා කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගනිමින් සීමිත කාලයකට අදාළව නිශ්චිත හා පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවයි. එමෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීම සඳහා මූලික පදනම එම පාලනය මගින් ස්ථාපිත කළ යුතුව ඇති බවයි .ඒ වගේම එ්කි නිශ්චිත කාලය තුළ සිදුකරන එම වගකීම්  සම්පූර්ණ කිරීමෙන් පසු මහ මැතිවරණයක් පවත්වා ජනතාවට කැමති පාලනයක් ඇති කර ගැනීමට අවස්ථාව සලසා දිය යුතු බවයි.මේ  සෑම දේශපාලන ප්‍රතිසංස්කරණ මගින් අප වඩාත්ම විශ්වාස කරන්නේ පොදු සම්මුතියකින් කටයුතු කිරීමට අවස්ථාව ලැබෙන පාර්ලිමේන්තු ක්‍රමය තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහිය .

එහිදී ආංශික අධීක්ෂණ කාරක සභා හරහා සෑම මහජන නියෝජිතයකුටම රාජ්‍යකරණයේ කොටස්කරුවන් වන්නට පුළුවන්.

ගරු ජනාධිපතිතුමාගේ හා රජයේ ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ගේ ඉල්ලීම පරිදි අප ව්‍යාපාරය ලබාගත් දැණුම හා  අත්දැකීම් ලබා දෙමින් ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තුව ඒකමතිකව අනුමත කර තිබෙනවා.  පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ මේ සඳහා එකඟ වීම සුබ ලකුණක් වශයෙන් දකිනවා. රාජපක්ෂ පාලනය විසින් අධීක්ෂණ කාරක සභා ක්‍රමය අහෝසි කළා.

දැන් අපි සන්සුන් විය යුතු කාලය පැමිණ තිබෙනවා. පාර්ලිමේන්තුව තුළ ඒ සමගිය ඇති විය යුතුයි. අරගලය ආරම්භ කළ තරුණ කැළට අවශ්‍ය වූයේ මෙරට යුක්තිය, සාධාරණය රජයන සමාජයක් බිහි කිරීමට. කිසිම දේශපාලන පක්ෂයකට හෝ සිවිල් සමාජයට නොහැකි වූ අසාධාරණ පාලනයක් නැති කිරීමට ඉතා බුද්ධිමත් විනයගරුක තරුණ කණ්ඩායමක් මේ සඳහා මූලික වුණා. ඔවුන් තුළ තිබුණේ සාධාරණ ඉල්ලීම්. නමුත් අවසාන කාලයේ නුසුදුසු පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් මෙම ව්‍යාපාරය අවුල් කළා. ප්‍රචණ්ඩත්වය ඇති කළා. මහජන නියෝජිතයින් ඝාතනය කිරීම හා හිරිහැර කිරීම  හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු මහජන නියෝජිතයින්ගේ නිවාස ගිනි තැබීම ජීවිත හානි කිරීම වැනි දේවල් අපට අනුමත කරන්නට බැහැ. මෙම ප්‍රචණ්ඩ ක්‍රියා ජනතාව අනුමත කරන්නේ නැහැ. අරගලයට සම්බන්ධ වූ බුද්ධිමත්, විනයගරුක බොහෝ කණ්ඩායම් සමඟ අප සුහදව කටයුතු කළා.

රට ඉදිරියට ගෙනයෑමට නම්, අපට අන්තර්ජාතික ප්‍රජාවගේ සහාය අවශ්‍ය වේ. එය උපයාගැනීමට රජය ක්‍රියාකළ යුතුයි. මෙහිදී ශ්‍රී ලංකා පොලිසියට ද විශාල වගකීමක් ඇත. ජනතාව සමඟ ඇසුරු කිරීමේදී ප්‍රචණ්ඩත්වයේ නාමයෙන් අහිංසක තරුණයින්ට හිරිහැර කළ අවස්ථා අපට වාර්තා වී ඇත. ඊයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලයට හදිසි නීතිය යටතේ ඇතුළු වීම ද අපට අනුමත කළ නොහැක. මේ සිදුවීම් නිසා අන්තර්ජාතිකව රජයේ කීර්තිනාමයට විශාල වශයෙන් හානිවන බව නිලධාරීන් වටහාගත යුතුයි. ජනතා විරෝධය ද රජයට විරුද්ධව ගොඩනැගෙනු ඇත.

එහෙයින් අපගේ ආයාචනය වනුයේ රටේ සාමකාමී පරිසරයක් ඇතිකිරීමයි. එකිනෙකාට වෛර කරමින් අන්තවාදීව ක්‍රියා නොකරන ලෙස සියළු ජන කොටස් වලින් අප ඉල්ලා සිටිනවා.

මෙහිදී අප ආදර්ශයට ගත යුතු බුද්ධ වචනයක්  සිහිපත් වෙනවා .ඒ “නහී වේරේන වේරාණී” යන ගාථා පාඨයයි .මේ වටිනා මග පෙන්වීම දේශපාලනීක  වශයෙන්ද ලෝකයට ඉදිරිපත් කලා. ඒ දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානය පිළිබඳව තීරණයක් ගැනීම සඳහා ලෝක නායකයන් එක්රැස් වූ සැන්ෆ්‍රැන්සිස්කෝ  සමුළුවේදී ය . ජේ ආර් ජයවර්ධන මැතිතුමා එ්කි  සමුළුවේදී අදහස් දක්වමින්  බුදුන් වහන්සේගේ මඟ පෙන්වීම මත  ලෝකයට කල ඒකී ආයාචනය එදා මුළු ලෝකයම ඉහළින්ම පිළිගත්තා .දැන් එය අකුරටම පිළිපැදිය යුත්තේ අපයි .

ඒ අනුව රටේ දේශපාලනයට සම්බන්ධ සෑම පාර්ශ්වයක් වෙතින්ම අප ඉල්ලා සිටින්නේ වෛරයෙන් තොරව අවෛරය මුල්කරගෙන රට ගැන පමණක් කල්පනාවට ගන්නා ලෙසය.ඒ අනුව යමින් එක්සත් වන ලෙසය.

අද අප මුහුණ දෙමින් සිටින දැවැන්ත අර්බුදය ජය ගැනීමට නම්  අප අතර පවතින බෙදීම් තබාගෙන  එය කරන්න බැහැ. එය ජයගත හැක්කේ එක්සත් වීම තුළ පමණයි. ඒ ආකාරයටය එක්සත් වන්නට නම් අප සියලු දෙනා අතර පවතින සැකය හා තරහ බැහැර කළ යුතු වෙනවා.සම්මා සතියෙන් යුතුව කටයුතු කළ යුතු වෙනවා .

අපගේ මාතෘ භූමියේ නාමයෙන් මේ රටේ අනාගත පරපුරේ නාමයෙන් රට කරවන සෑම පාර්ශවයක්ම ඒ ගැන අවධානය යොමු කරවනු ඇතැයි අප අපේක්ෂා කරනවා.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan