උපාලි කොළඹගේ
කොළඹ LNW:මරණ දඬුවම පිළිබඳ කතා බහ යළිත් කරලියට පැමිණ තිබෙනවා. මෙය කාලෙකට සැරයක් කතා බහට ලක්වෙන උඩ යට යන මාතෘකාවක්. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයගෙ කාලෙත් මේ පිළිබඳව තදින් කතා බහට ලක්වුණා. මට මතක හැටියට කුඩු මුදලාලිලා එල්ලල මරන්න රටින් කඹයකුත් ගෙනාව. දිවි නහගන්න හිතුණොත් පාවිච්චියට ගන්න ඒක කවුරු හරි වහං කරගෙන ඉන්නව ද දන්නෙත් නෑ. අර මිනීමැරුමකට වරදකරු වූ තරුණ ගැටයකුට ජනාධිපති සමාව ලැබුණෙත් ඔය කාලෙමන. කතා නං ගොඩයි. ඕවෑ ඇත්ත නැත්ත අපි නං දන්නෙ නෑ.
අද ඊයෙ මරණ දඬුවම ගැන කතා බහ ඉදිරියට ආවෙ කරුණු දෙකක් නිසා. එකක් මැල්කම් රංජිත් කාදිනල්තුමා මේ ගැන නිකුත් කළ නිවේදනයක් . අනික අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ඇති වූ කතා බහක්.
කාදිනල්තුමාගේ ප්‍රකාශයට හේතු පාදක වෙලා තියෙන්නෙ ආරක්ෂක අමාත්‍යංශ යේ හිටපු ලේකම්වරයකු වන හේමසිරි ප්‍රනාන්දුටත් හිටපු පොලිස්පති වරයකු වන පූජිත ජයසුන්දරටත් මරණ දඬුවම නියම කිරීම. දෙන්නටම තියෙන චෝදනාව පාස්කු ප්‍රහාරය වැළැක්වීමට නිසි පියවර නොගැනීමෙන් වගකීම් පැහැර හැරීම. බරපතළ චෝදනාවක්.
හැබැයි මම නම් දන්නෙ නෑ වගකීම් පැහැර හැරි අයට මරණ දඬුවම දෙනව නම් පාස්කු ප්‍රහාරය කොරාපු එවුන්ට දෙන දඬුවම මොකක්ද කියල. ඒ ගොල්ලන්ටත් මරණ දඬුවමම වෙන්න ඇති.
එතකොට මහ මොළකරුට, එයාව බෙල්ලෙන්ද නැත්නම් වෙන තැනකින් ද එල්ලන්නෙ.
කොහොම වුණත් කාදිනල් උන්නාන්සෙ නිවැරදියි. එතුමා එම තීරණය ට එළඹ ඇත්තේ ආගමික කරුණු කාරණා මත. කොහොම වුණත් අපි මනුෂ්‍යත්වය පදනම්ව මිනිසකු මරා දැමීමට විරුද්ධයි. විශේෂයෙන් රජයක් විසින් එය නොකළ යුත්තක්. මරණීය දඬුවම දඬුවමක් වන්නේද නෑ. දඬුවම් දෙන්නෙ මිනිස්සු හදන්න මිසක්ක නැති භංගස්ථාන කරන්න නෙමෙයිනෙ. ඕක පළිගැනීමක්.
මේ එක්කම කරලියට ආපු අනික් කතාව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ඇති වූ කතා බහක්. ඒ සාකච්ඡාව මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව වූ සාකච්ඡාවක්. එහි තීන්දු තීරණ කිසිවක් වාර්තා වන්නේ නැහැ. හැබැයි මත්ද්‍රව්‍ය මූලයන් සිඳ දැමීමට මරණ දඬුවම ක්‍රියාත්මක කළයුතු බවට වූ යෝජනාවක් නම් දැඩි ලෙස කතා බහට ලක්වී තිබෙනව.
මේ ගැන අවධානය යොමුව ඇති බවක්ද වාර්තා වෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මෙයට කැමති වේයයි මා නම් සිතන්නේ නෑ.කොහොමටත් එයටද අප තදින්ම විරුද්ධ විය යුතුය.
මත්ද්‍රව්‍ය නිවාරණය ට දැඩි නීති රීති පැනවිය යුතු බව ඇත්ත. මත්ද්‍රව්‍ය නිසා සමාජයට සිදුවන හානිය මෙතෙකයි කිව නොහැක .මිනීමැරුමකට වඩා හානියක් මත්ද්‍රව්‍ය නිසා සමාජයට සිදුවෙතැයි කෙනෙකුට තර්ක කළහැක. එහි සත්‍යතාවක් නැතැයි කිසිවකුට කිව නොහැක .
ඒ කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය සම්බන්ධ වරදට මරණීය දඬුවම් දිය යුතුය යන්න කෙසේවත් පිළිගත නොහැක. ඉක්මන් නඩු විභාග මගින් වරද කරුවන් වන අයගේ දේපොළ රාජසන්තක කිරීම. ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම සම්පූර්ණයෙන් ගෙවා නිමවන තෙක් නිදහස් නොකිරීම ආදී දැන් පවත්නා නීති යාවත්කාලීන කිරීම හා දෙන දඬුවම් ප්‍රමාණය වැඩිකිරීම ආදී නව පියවර රාශියක් මේ යටතේ ගත හැකිය. එමෙන්ම බන්ධනාගාරය තුළ සිටියදී ජංගම දුරකතන භාවිතය සම්පූර්ණයෙන්ම නොකළ හැකි අන්දමට කටයුුතු කළ යුතුය. දැනුදු ඊට ඉඩහසර විවරව ඇත්තේ පාලනයේ දුර්වලකම නිසා බවද පිළිගත යුතුය. එවා හදා ගන්නවා මිස ඊට පිළියමක් වශයෙන් දතට දතක්, ලෙයට ලෙය න්‍යාය රජයක් මොන ලෙසකින් වත් ක්‍රියාත්මක කළ යුතු නෑ.
මත්ද්‍රව්‍ය නඩු හා මිනීමැරුම් නඩුත් එකිනෙකට හරිවෙනස් . මිනීමැරුම් නඩුවක් දිගු කාලීන පරීක්ෂණයකින් අනතුරුවය පැවරෙනුයේ. සාක්කිකරුවන් බොහෝය. වෙනත් බාහිර සාක්ෂි ආදියද උසාවිය වෙත වෙත ඉදිරිපත් වේ. දෙපාර්ශවයේම සාක්ෂි විමසීමකින් පසුවය ගරු විනිසුරුතුමන්ලා සිය තීන්දුව ප්‍රකාශයට පත්කරනුයේ.
මත්ද්‍රව්‍ය පිළිබඳ නඩු උසාවිය වෙත ඉදිරිපත් කිරීමට එතරම් කාලයක් හෝ පාරදෘෂ්‍ය භාවයෙන් යුතු ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීමට අවශ්‍ය වන්නේ නැත. පොලිසිය විසින් ඉදිරිපත් කරන දුව්‍ය හා සාක්කි මත පමණක් මෙය බොහෝවිට සිදුවනවා. ඒවායේ සුපළිපන්න භාවය පිළිබඳවත් ඇත්තේ අවිනිශ්චිතතාවක්.
ඒ වගේම අපි අමතක කරන්න හොඳ නෑ. මත්ද්‍රව්‍ය ඇල්ලීම ගැන පොලිසිය ට එල්ලවී ඇති චෝදනා. උසාවියට ඉදිරිපත් කෙරෙන කුඩු ප්‍රමාණයන් රජයේ රස පරීක්ෂක වාර්තා හා නොසැසඳෙන බව ද වාර්තා වනවා. ඇතැම් කුඩු පිටි බවටද පරීක්ෂණ වලදී හෙලිවූ අවස්ථා තිබෙනවා.
මෙවැනි තත්ත්වයක් යටතේ මත්ද්‍රව්‍ය සඳහා මරණීය දඬුවම් පැමිණ වීම කිසිසේත් යුක්ති සහගත වන්නේ නෑ. මොන තත්ත්වයක් යටතේ වුවත් මරණීය දඬුවම් ශිෂ්ට සමාජය විසින් පිළිකෙව් කළ දඬුවමක්. එයට අපද එක හෙළා විරුද්ධ විය යුතුය.බොහෝ රට වල් මරණ දඬුවම සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තවත් හේතු තියෙනවා.
මරණ දඬුවමට ලක්වූ පුද්ගලයන් කලකට පසු නිවැරදිකරුවන් බව ඔප්පු වූ අවස්ථා තිබෙනවා. එවිට එම ජීවිත වලට වගකියන්නේ කවුද? විශේෂයෙන්ම ලංකාව වගේ රටක මේ තත්ත්වය තවත් බරපතලයි. පොලිස් දෙපාර්තමේන්තුව කියන්නෙත් බරපතල චෝදනා එල්ලවූ ආයතනයක්. එම දෙපාර්තමේන්තුවේ සිටින සුළුතරයක් වූ නිලධාරීන් ගේ නොපනත් කම් නිසා මෙම තත්ත්වය හට ගත්තා විය හැකියි.කෙසේ වුවත් මත්ද්‍රව්‍ය පිළිබඳව විභාග ඇසුරෙන් දූෂණය ලියලා වැඩෙන්න විශාල ඉඩක් තිබෙන බව කිව හැකියි.
ජනාධිපතිතුමනී, හැඟීම් බරව ඇතැම් නිලධාරීන් විසින් ඉදිරිපත් කෙරෙන මෙවැනි යෝජනා ක්‍රියාත්මක කරන්න හිතන්නවත් එපා.


