සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 19 : යේමනයේ පවතින ගැටුම් තවදුරටත් උත්සන්න කරමින්, සෞදි අරාබිය පසුගිය පැය 24 තුළ හූති පාලනය යටතේ පවතින ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර 26ක් එල්ල කළ බව හූති සංවිධානය චෝදනා කරයි.
හූති පාර්ශ්වය පවසන්නේ මෙම ප්‍රහාර මාලාව යේමනය පුරා විවිධ ප්‍රදේශ ඉලක්ක කරගෙන සිදුකර ඇති බවයි. එමෙන්ම පසුගිය සතිය තුළ පමණක් සෞදි ප්‍රහාර 300කට ආසන්න සංඛ්‍යාවක් එල්ල වූ බවද ඔවුන් ප්‍රකාශ කර තිබේ. මෙම සංඛ්‍යා සෞදි පාර්ශ්වයෙන් ස්වාධීනව තහවුරු කර නොමැත.
මේ අතර, සෞදි සහාය ලබන යේමන රජයේ හමුදා සහ හූති සටන්කාමීන් අතරද ගොඩබිම් ගැටුම් තීව්‍ර වී තිබේ. යේමන රජයේ පාර්ශ්වය පැවසුවේ ටයිස් පළාතේ අල්-වසිආ ප්‍රදේශයේ ගැටුම්වලින් හූති සාමාජිකයන් 30 දෙනෙකු මියගොස් 60කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.
ප්‍රහාර හා ප්‍රතිප්‍රහාර මාලාව අතර, සෞදි අරාබියට එල්ල වූ හූති ඩ්‍රෝන ප්‍රහාරයක් සම්බන්ධයෙන්ද වාර්තා පළවී ඇති අතර, එම සිදුවීමෙන් තායිෆ් ප්‍රදේශයේ පුද්ගලයෙකු මියගිය බව සඳහන් වේ. මේ සමඟ දෙපාර්ශ්වය අතර පවතින ආතතිය තවදුරටත් ඉහළ ගොස් තිබේ.
යේමනයේ යළි උත්සන්න වී ඇති මෙම ගැටුම්, රතු මුහුද හා උපායමාර්ගික බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත නාවික ගමනාගමනය සම්බන්ධයෙන්ද කලාපීය හා ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.

