අධිකරණයට අපහාස කිරීම : ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි පොලිස්පතිට නියෝගයක් !

Date:

තමන්ව යළි පොලිස් සේවයෙහි පිහිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විසින් නිකුත් කළ අතුරු නියෝගය පැහැර හැරීම තුළින් ශ්‍රී ලංකා පොලිසිය අධිකරණය අපහාස කර ඇති බවට හිටපු පොලිස් අධිකාරී සුගත් මෙන්ඩිස් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කර ඇති පැමිණිල්ල පිළිබඳව ලංකා නිව්ස් වෙබ් අපි මීට පෙර පුවත් දෙකකින් වාර්තා කළෙමු.

මීට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනුකර තිබුණු අතර අද (23) දිනයේදී නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුදර්ශි හේරත් මහත්මිය විනිසුරු මඬුල්ල හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ අදාළ නිලධාරියාව වහාම යළි සේවයෙහි පිහිටුවීමටත් ඔහුගේ සියලුම හිඟවැටුප් ගෙවීමටත් පොලිසිය එකඟ වී ඇති බැවින් මෙම පෙත්සම ඉදිරියට ගෙනයාමට අවශ්‍ය නොවන බවකි.

එම අවස්ථාවේදී පෙත්සම්කාර සුගත් මෙන්ඩිස් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ විරාන් කොරයා මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ තම සේවාදායකයා කිසිසේත්ම ඊට එකඟ නොවන බවත් ඔහු මෙම පෙත්සම ගොනුකර ඇත්තේ තමන්ම යළි සේවයෙහි පිහිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර නිකුත් කළ නියෝගය ක්‍රියාත්මක නොකිරීම තුළින් ශ්‍රී ලංකා පොලිසිය අධිකරණයට කළ අපහාසය පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලා බවත් ය. ඒ අනුව තම සේවාදායකයා මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ එම පරීක්ෂණය සිදුකරන ලෙස බවත් නීතීඥවරයා අධිකරණ හමුවේ ප්‍රකාශ කළේය.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි සුදර්ශි හේරත් මහත්මිය නැවතත් අධිකරණය හමුවේ පැවසුවේ මෙය දුරදිග ගෙනයාමට අවශ්‍ය නොවන බවත් අදාළ නිලධාරියාට හිඟ වැටුප් ගෙවීමට සහ ඔහුව යළි සේවයෙහි පිහිටුවීමට පොලිසිය එකඟ වී ඇති බවත් ය.

ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල පෙන්වා දී තිබුණේ අදාළ නිලධාරියාගේ යළි සේවයෙහි පිහිටුවීම අධිකරණය විසින් තීරණය කර ඇති දෙයක් බවයි.

හිටපු පොලිස් අධිකාරී සුගත් මෙන්ඩිස් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ විරාන් කොරයා මහතා යළි කරුණු දක්වමින් පෙන්වා දී තිබුණේ තම සේවාදායකයා තමන්ට සිදුවූ අසාධාරණයට යුක්තිය ඉටුකරවා ගැනීමට යාහැකි අවසන් ස්ථානය වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණි බවත් ඔහුව යළි සේවයෙහි පිහිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝගය පොලිසිය විසින් ඉටු නොකිරීම අතිශයින්ම බරපතළ කරුණක් බවත් ය. පොලිසිය මෙහිදී කටයුතු කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය පවා නොතකා හරිමින් බව පෙන්වා දුන් ඒ මහතා මෙම තත්වය නීතීඥවරුන් වශයෙන් තමන්ටත් ලැජ්ජාවක් බවත් සඳහන් කළේය. ඒ අනුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව පරීක්ෂණයක් සිදුකරන ලෙසයි ඒ මහතා ඉල්ලා සිටියේ.

ඒ අනුව දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, එවකට සබරගමුව පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ල, රත්නපුර කොට්ඨාස භාර නිලධාරී සහ පොලිස් නීතී කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නොවැම්බර් 15 වනදා පෞද්ගලිකවම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරන ලදී.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...