ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළඳපොලෙන් යම් පංගුවක් පෞද්ගලික අංශයට නොදී තිබුණේ නම් මීට වඩා ජනතාවට සහනදායී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තිබුණු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
“සාමාන්‍යයෙන් අපේ ඩීසල් වෙළඳපොලේ CPC ආයතනය සතුව තිබුණේ 58%ක විතර පංගුවක්. නමුත් පහුගිය මාසයේ මොකද වෙලා තියෙන්නෙ ? CPC ආයතනයේ වෙළඳපොල පංගුව 77% දක්වා වර්ධනය වෙලා තිබෙනවා. ඇයි ? ඒ නියම කරන ලද මිලට අනිත් පෞද්ගලික අංශයේ තරගකරුවන්ට තරග වදින්න බැරිවෙලා තිබෙනවා. ඒ නිසා ඔවුන් තෙල් සැපයුම සැලකියයුතු ප්‍රමාණයකින් අඩුකරලා තිබෙනවා. මොකද ඔවුන් කියනවා ඔවුන්ට පාඩුයි. CPC එක ඊට වඩා අඩු මිලකට විකිණීමෙන් CPC එක ලාභ වර්ධනයක් ඇතිවී තිබෙනවා. ඒ කියන්නෙ මොකක්ද ? අපි ඉතාමත් හොඳ තරගකරුවෙකු බවට පත්වී තිබෙනවා. දැන් අපිට ඉතිහාසය ආපහු හරවන්න බැහැනෙ ? මීටත් වඩා හොඳ කාර්යක්ෂම වැඩපිළිවෙලක් අපිට හදන්න තිබුණා මේ තෙල් වෙළඳපොල අපේ අතේ විතරක් තිබුණා නම්. අපිට මිල උච්ඡාවචනය කරමින් මීට වඩා සේවාවක් ලබාදෙන්න තිබුණා, නමුත් දැන් අපිට ඒක කරන්න හැකියාවක් නැහැ පෞද්ගලික අංශයට යම් පංගුවක් තියෙන නිසා”
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) ජෙට් A-1 නළ මාර්ග පද්ධතිය ඉදිරිකීම් කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් ඊයේ (02) පැවති උත්සවයකට එක්වෙමිනි.


