*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාව – ජාතිය ගොඩනැගීම, බලය පැවරීම සහ 13 වැනි සංශෝධනය (පස්වන කොටස)

ආචාර්ය ලයනල් බෝපගේ

මෙල්බර්න්-ඕස්ට්‍රේලියා (LNW): පස්වන කොටස (සිව්වන කොටස හා සබැඳිය)

පොලිස් බලතල

ශ්‍රී ලංකාවේ පොලිස් සහ අධිකරණ පද්ධතිය යටත් විජිතවාදය යටතේ යටත් විජිත වරප්‍රසාද සහ ඕනෑ එපාකම් ආරක්ෂා කිරීම සඳහා වර්ධනය කරන ලදි. නිදහසෙන් පසුව, මෙම වක ගස්වන ලද පද්ධතිය අවම වෙනස්කම් සහිතව, එහෙත්, පාලක ප්‍රභූ පැලැන්තියේ වරප්‍රසාද සහ ඕනෑ එපාකම් තහවුරු කිරීම සඳහා නව නීති සම්පාදනය කරමින් සහ වෙනත් අන්දමින් අමතර රැකවරණයන් ලබා දෙමින් අඛණ්ඩව පවත්වා ගෙන ගොස් තිබේ. රටේ කාලීන අවශ්‍යතාවය වන්නේ නීති ක්‍රියාත්මක කරන්නවුන් වඩා වගකිවයුතු ලෙස සහ විනිවිදභාවයෙන් යුක්තව කටයුතු කරන්නට සැලැස්වීම සඳහා  රටේ විවිධ පොලිස් අණපනත්, හදිසි බලතල සහ ත්‍රස්ත විරෝධී නීති රීති සංශෝධනය කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී බවට පත් කිරීම යි. එසේ වුවත්, බලය පව‌රා දීම පිළිබඳ සංවාදයේ ආවේණික ස්වභාවය වන්නේ බලය පවරා දීමට එරෙහි වන අය මෙම කාරණයට අදාළ එවැනි පැති ගැන දිගටම මුනිවත රැකීම යි.

පළාත් සභාවලට පොලිස් බලතල පවරා දීමට එරෙහිව නැඟෙන එක් තර්කයක් නම්, කැබිනට් අමාත්‍යවරයකු මධ්‍යම පොලිසිය භාරව සිටින අතර [EconomyNext 3 August 2023, Sri Lanka parliament must discuss implications of devolving police powers: FM; availalble at: https://economynext.com/sri-lanka-parliament-must-discuss-implications-of-devolving-police-powers-fm-127300/], එක් එක් පළාතේ පවතින පොලිස් ඒකක විවිධ මහ ඇමැතිවරුන් විසින් පාලනය කරනු ලබන බැවින් දේශපාලනීකරණය වීමට වැඩි ඉඩක් පවතින බව යි. තවත් හේතුවක් වශයෙන් දක්වනු ලබන්නේ පොලිස් බලතල පවරා දෙනු ලැබුවහොත් රටේ ජාතික ආරක්‍ෂාව අඩාල වනු ඇති  බවයි. ඇත්ත වශයෙන්ම, පොලීසිය දේශපාලනීකරණය කිරීම ආරම්භ වූයේ 1950 ගණන්වල දී, එනම්, පළාත් සභා පිහිටුවීමට දශක තුනකට පෙර බණ්ඩාරනායක රෙජීමය විසින් සාමකාමී ලෙස විරෝධය පෑමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය – විශේෂයෙන්ම දෙමළ නායකයන් කිහිප දෙනෙකු විසින් මෙහෙයවන ලද ‘සත්‍යග්‍රහ’ ව්‍යාපාර – ප්‍රචණ්ඩ ලෙස මර්දනය කිරීම සඳහා පොලිස් ඒකක යෙදවීම හා සමඟයි. පොලිස් බලකාය මෙසේ දේශපාලන, වාර්ගික සහ ආගමික වශයෙන් හසුරුවනු ලැබීම මේ වන විට දැවැන්ත ලෙස ව්‍යාප්ත වී ඇත.

පොලිස් දෙපාර්තමේන්තුව බොහෝ කලකට ඉහත දී උපහාසයට ලක්වන ආයතනයක් බවට පත් වූයේ එවකට සිටි දේශපාලන ස්වාමීන් සහ එවුන්ගේ මැරයන් සතුටු කිරීම සඳහා එම දෙපාර්තමේන්තුව දක්වන ලද ආකල්පය නිසාය. තම වෘත්තීයමය රාජකාරි ඉටු කරනවාට වඩා, ක්‍රියාවේ යොදවන්නට නීති විරෝධී උපදෙස් ලබා දෙන දේශපාලන අඥානයන්ගේ සහ මැරයන්ගේ ඉල්ලීම්වලට යටත් වෙන්නට පොලිස් නිලධාරීන්ට බල කෙරෙනු ලැබේ. නිලධාරීන් දේශපාලකයන්ගේ කැමැත්තට හෝ ඔවුන්ගේ මැරයන්ගේ ක්‍රියාවන්ට එරෙහිව ගියහොත්, ඔවුන්ගේ රාජකාරිය ඉටු කිරීම වෙනුවෙන් ඔවුන් දඬුවමට ලක් වෙනු ඇත. ජාතික පොලිස් කොමිසම ක්‍රියාත්මක වන අවධියේ මේ තත්ත්වය තරමක් යහපත් බවට පත් විය. එහෙත් ස්ථාන මාරු කිරීම් ආදිය සඳහා දේශපාලකයන් කරන ඉල්ලීම්වලට කොමිසම සහ එහි සාමාජිකයන් අවනත නොවන බව ඔවුන් වටහා ගත් විට ව්‍යවස්ථාව ම වෙනස් කරන්නට දේශපාලනඥයෝ ඉදිරිපත් වූහ!

දේශපාලන ප්‍රභූ පැලැන්තිය සහ නිලධරයන් තම සිතැඟි සහ එදිනෙදා අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා පොලිස් ඒකක සහ අනෙකුත් ආරක්ෂක බලකායයන් යොදාගෙන ඇති ආකාරයෙන් මෙය සනාථ වෙයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ කාලයේ සිට සහ දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ ශ්‍රී ලංකාව මෙවැනි ආකාරයේ දේශපාලනීකරණයකට නිරාවරණය කරනු ලැබ ඇත. පසුගිය වසරේ දීප ව්‍යාප්ත ‘අරගලය’ දියත් කළ උද්ඝෝෂණයන්ට එරෙහිව රාජපක්ෂ සහ වික්‍රමසිංහ පාලනය විසින් විරෝධතාවයේ යෙදුනු ඇතැම්  නායකයින් දඩයම් කොට, දේශපාලන සහ අධිකරණ උපාමාරු යොදා ගනිමින් කර්කශ තත්වයන් යටතේ ඔවුන් දීර්ඝ කාලීනව සිරකර තැබීම සඳහා ප්‍රචණ්ඩත්වය යොදා ගත් කාලයේ මෙය විශේෂයෙන් දැකගත හැකි විය. එහෙයින්, පොලිස් බලකාය ‍‍‍ පළාත් නවයට විමධ්‍යගත කරනු ලැබුව හොත් එය දේශපාලනීකරණය වන්නේයයි කියා සිටීම විවාදසහගත කාරණයකි.

නිදහසින් පසු පසුගිය වසර 75 මුළුල්ලේම පොලිස් බලතල මධ්‍යගත කොට පැවති අතර, ඒ කාලය තුළ පොලිසිය මහජන සාමය පවත්වා ගෙන ගිය බව පැවසේ. නමුත්, විශේෂයෙන්ම උතුරු නැගෙනහිරත්, එසේම විවිධ බහුතරමය-නොවන ජන ප්‍රජාවන් වාසය කරන අනෙකුත් ප්‍රදේශවලත් තත්ත්වය ගැටලුකාරී බවකට වඩා නරක අතට හැරෙන්නට ප්‍රධාන වශයෙන් මහජන සාමය පවත්වාගෙන යාමේ කටයුතුවලදී කරන ලද දේශපාලනික සහ ආගමික මැදිහත්වීම් හේතු වූයේය. මේ තත්ත්වය රටේ දකුණේත් උතුරේත් බොහෝ ගැටුම්වලටත් යුද්ධයකටත් මඟ පෑදීය. මැතිවරණ කොට්ඨාශ වෙත පොලිස් නිලධාරීන්ට, විශේෂයෙන්ම ඉහළ පෙළේ නිලධාරීන්ට අදාල මාරුවීම් සිදු කරන ලද්දේ ඒ මැතිවරණ කොට්ඨාසවල දේශපාලන අධිකාරීන් විසින් කරන ලද ඉල්ලීම්වලට අනුව බවට පසුගිය වසරේ පළ කරන ලද පුවතක් මඟින් වාර්තා විය.

මහජන සාමය පවත්වාගෙන යාමේදී දේශපාලන මැදිහත්වීම් කරන්නට ඇති හැකියාව හේතුවෙන් පොලිස් බලතල පවරා දීම පිළිගත නොහැක්කේ නම්, අප බහුතර නොවන ප්‍රජාවන් වාසය කරන ප්‍රදේශවල නිරුපද්‍රිතභාවය සහ ආරක්‍ෂාව පිළිබඳ ගැටළු ආමන්ත්‍රනය කරන්නේ කෙසේද? පද්ධතිය වඩා යහපත් බවට පත් කරන්නට නම්, පොලිස් පත්වීම් සහ ස්ථාන මාරුවීම්, සහ පොලිසියට එරෙහිව කරනු ලබන පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය වෙනස් විය යුතුය. නීතිය, කළමනාකාරිත්වය, මානව සබඳතා, සමාජ සේවා ආදිය පිළිබඳ පුළුල් පළපුරුද්දක් හා දැනුමක් සහිත ස්වාධීන පුද්ගලයන්ගෙන් සමන්විත මණ්ඩල හරහා එවැනි වෙනස්කම් ක්‍රියාත්මක කළ හැකිය. අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡා කර අධිකරණයෙන් සහ නීති විශාරදයන්ගෙන් ස්වාධීන පුද්ගලයන් ආකර්ෂණය කර ගත හැකිය. ස්වාධීන පොලිස් කොමිසම සැබවින්ම ස්වාධීන මෙන්ම අපක්ෂපාතී ද විය යුතුය! පොලිසියට එරෙහි පැමිණිලි ගැන කටයුතු කරන්නට වෙනම අපක්ෂපාතී සහ නිර්පාක්ෂික අධිකාරියක් පිහිටුවීම ද අවශ්‍ය වන්නේය.

පොලිස්පතිවරයාගේ තුන්වන සේවා දිගුව සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් කරන ලද නිර්දේශයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නොසලකා හරිනු ලැබුවේ [The morning 20 October 2023, Prez appointing IGP despite CC veto: Oppo. wants CC to seek AG’s advice on its powers, https://www.themorning.lk/articles/u1ug8bcrCeRX5aJslnRM] පසුගිය සතියේ වීම විශේෂත්වයකි. පොලිසියට එරෙහි පැමිණිලි ගැන කටයුතු කිරීම සඳහා වෙනම ස්වාධීන සහ නිර්පාක්ෂික අධිකාරියක් පිහිටුවීමේ අවශ්‍යතාව මෙවැනි සිදුවීම්වලින් ඉස්මතු කෙරේ.

පොලිසියේ අයද ඇතුළුව ඉහළම ආරක්‍ෂක නිලධාරීන් පත්කිරීම් පිළිබඳව කටයුතු කරන්නට ස්වාධීන නිර්පාක්ෂික ජාතික ආරක්‍ෂක අධිකාරියකට (NSA) මෙම ක්‍රියාවලිය සවිමත් කළ හැකිය. අපරාධ විමර්ශනය කිරීම සඳහා පහසුකම් සැලසීම ඇතුළුව විමර්ශන කටයුතු අධීක්ෂණය කිරීම පිළිබඳ වගකීම මෙන්ම වගවීම ද එය සතු විය යුතුය. කෙසේ වෙතත්, විමර්ශනයට ලක් වෙමින් පවතින අවස්ථාවලදී මැදිහත් වීමට බලය එය සතු නොවිය යුතුය. නීතිවිරෝධී හෝ අවිධිමත් නියෝග හෝ දේශපාලන මැදිහත්වීම් පිළිබඳ පැමිණිලි වාර්තා කිරීම සහ ඒ ගැන කටයුතු කිරීම සඳහා අභියාචනා අධිකාරියක් වන්නට ද ජාතික ආරක්‍ෂක අධිකාරියට බලය පැවරිය හැකිය. මහජන නිරීක්‍ෂණයට යටත්ව ඕනෑම උසස් ආයතනයක් විසින් මෙය සිදු කළ හැකි අතර වඩා යහපත් වගවීමකට ද එයින් ඉඩ සැලසේ.

පොලිසියේ ප්‍රජා සහභාගීත්වය සඳහා, පොලිස් පරිපාලනය වඩාත් විනිවිදභාවයෙන්, වගවීමෙන් සහ සහභාගිත්වයෙන් යුක්තව සිදු විය යුතුය. මෙය කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදු වී නැත. 1950 ගණන්වල සිට තත්වය වඩාත් නරක අතට හැරී තිබේ. පොලිසිය දෙමළ කතා කරන සිවිල් වැසියන්ට හිරිහැර කිරීම සහ බිය ගැන්වීම අද දක්වා දිගටම සිදුවේ. පොලිසිය සහ අධිකරණ පද්ධතිය විසින් දේශපාලනඥයින්ගේ සහ අනෙකුත් බලධාරීන්ගේ සිතැඟි හා ඕනෑ එපාකම්වලට ගැළපෙන පරිද්දෙන් නීතිරීති වක ගැස්වීමේ අනතුරුදායක ක්‍රියා පිළිවෙත නොනැසී පවතී. දෙමළ භාෂාව කතා කරන බහුතරයක් සිටින ප්‍රදේශවල දෙමළ සිවිල් වැසියන් විසින් කරනු ලබන පැමිණිලි වාර්තා කිරීමට සහ ඒවා සම්බන්ධයෙන් කටයුතු කිරීමට ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැතිකම ප්‍රජා සබඳතාවයන් හා සංහිඳියාව වැඩිදියුණු කිරීමට එරෙහිව ප්‍රධාන බාධාවක්ව පවතී.

පනස් ගණන්වල මැද භාගයේ සිට, රජය මෙහෙයවූ සංහාර, මැරයින් සහ ආරක්ෂක හමුදා දියත් කළ ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය උත්සන්න කිරීම විසින් දෙමළ සිවිල් වැසියන්ට එරෙහිව හිරිහැර කිරීම සහ ඔවුන් බිය ගැන්වීම සඳහා කරන ලද පොලිස් මැදිහත්වීමේ වැඩි වීමක් දක්නට ලැබුණි. දෙමළ සටන්කාමීන් දකුණේ සිංහලයන්ට සහ අනෙකුත් සිවිල් වැසියන්ට එරෙහිව ත්‍රස්තවාදී ප්‍රහාර දියත් කිරීමට පෙර දෙමළ සිවිල් වැසියන් ඝාතනයට ලක් කරන ලද අවස්ථා බොහෝ වේ. පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් දකුණේ සිංහලයන්ට එරෙහිව ක්‍රියාත්මක කරන ලද ම්ලේච්ඡත්වය පිළිබඳ අවස්ථා වුවමනාවටත් වඩා තිබුණි. කිසිදු දඩුවමක් නොලබා වැඩිහිටියන්, ළමයින් ද ඇතුළුව මුළු ගම්මාන පිටින් අතුගා දමන ලද අවස්ථාද වූයේය. එවැනි ආරක්ෂක හමුදාවක් බහුතරමය නොවන ප්‍රජාවන්ට එරෙහිව වඩාත් විනයගරුක ලෙස හැසිරෙනු ඇතැයි කෙනෙක් අපේක්ෂා කළ හැක්කේ කෙසේද?

පොලිස් බලතල පවරා දීම විමසා බැලිය යුත්තේ මෙන්න මේ පසුබිම තුළ යි.

ඉඩම් බලතල

13 වැනි සංශෝධනයේ සමගාමී ලැයිස්තුව තුළ ඉඩම් බලතල අඩංගු වේ. කෙසේ වෙතත්, ජාතික ප්‍රතිපත්ති සහ නාගරික සංවර්ධනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මධ්‍යම ආණ්ඩුවට පැවරී ඇති බලතල අනුව ඉඩම් සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුව සතුව ප්‍රමුඛ කාර්යභාරයක් තිබේ. මධ්‍යම ආණ්ඩුව රජයට අයත් ඉඩම් මුදා හැරීමේ ක්‍රියාවලිය ද කළමනාකරණය කරයි. ඕනෑම ඉඩමක් මුදා හැරීම සඳහා අදාළ පළාත් සභාව විසින් කරනු ලබන ඉල්ලීමෙන් පසුව ජනාධිපතිවරයා ලබා දෙන අනුමැතිය අවශ්‍ය වේ. එවැනි අන්සතුකිරීම් වාරිමාර්ග හා සංවර්ධන කටයුතුවලට අදාළ තවත් විශේෂ විධිවිධාන කිහිපයකට ද යටත් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ප්‍රතිපාදන විසින් ජාතික ඉඩම් ප්‍රතිපත්තිය සැකසීමේ එකම අධිකාරිය ලෙස ජාතික ඉඩම් කොමිෂන් සභාවක් නියම කර ඇති බැවින් පළාත් තවදුරටත් අවාසි සහගත තත්වයන්ට භාජනය වේ. ඉඩම් බලතල පළාත් සභාවලට පවරා දෙන ලද විෂයක් වශයෙන් පවතින අවබෝධය තිබියදීත්, පළාත් සභාවලට ඉඩම් බලතල පවරා දීමට විරුද්ධ වන අය තර්ක කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත්තේ වෙනස් ආකාරයකට බවයි. ශ්‍රේෂ්ඨාධිකරණය “රජයේ ඉඩම් දිගටම ජනරජය සතුව පැවතිය යුතු” බව තීරණය කර ඇත. අධිකරණයේ අර්ථ නිරූපණය වූයේ පළාත් සභාවකට “රජයේ ඉඩම” භාවිත කළ හැක්කේ මධ්‍යම ආණ්ඩුව එය පළාත් සභාවට ලබා දීම මත පමණක් බවයි. මෙයින් ගම්‍ය වන්නේ මධ්‍යම ආණ්ඩුව විසින් එම ඉඩම ප්‍රයෝජනයට ගැනීම සඳහා පළාත් සභාවට ලබා දී නැත්නම්, ඒ සභාවට රජයේ ඉඩම පවරා ගත නොහැකි බවයි.

ජාතික ඉඩම් කොමිසමක් පත් කරන බව වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේය. ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කිරීම සංකීර්ණ බවට පත් වී ඇත්තේ ඇතැම් අය ඉඩම් පළාත් සභා වෙත පැවරිය යුතු බව පවසා සිටින හෙයිනි. කෙසේ වෙතත්, තවත් සමහරු කෘෂිකාර්මික වගා කිරීම් සහ ව්‍යාපාර සඳහා පමණක් ඉඩම් ලබා දිය යුතු බවට තර්ක කරයි. මේ සම්බන්ධයෙන් ගෝලීයව, උදාහරණ ලෙස, ඉන්දියාව, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල භාවිත කරන ආකෘතිවලින් ලංකාවට අත්දැකීම් ලබා ගත හැකිය. ඉන්දියාවේ ඉඩම් බලතල සම්පූර්ණයෙන්ම පර්යන්තයට බෙදා හැර ඇත. සෑම ඉන්දියානු ප්‍රාන්ත ආණ්ඩුවල ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ඒ හැම ආණ්ඩුවක්ම සතු නීතිරීති ඇත.

2023 ඔක්තෝබර් 22 වනදා                                                                                                                          මතු සම්බන්ධයි.

පෙර ලිපිය:

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan