මාගේ ළමා කාලය තුලදී බොහෝ මිනිසුන්ට හමුවුනා යැයි කියවෙන ගුරු දෙවිවරු සහ දුක්සැප කුමන්දා යැයි අසන නිරිඳුන් නම් මට හමුවී නැත. ඒ වෙනුවට මට හමුවී ඇත්තේ බැරි අමාරුකම් දුප්පත්කම් තවතවත් පාරන ඇතුලතින් කුණුවූ දුෂ්ඨ මිනිසුන් පමණි.
කුඩාකල සිටම එසේ පෑගුන නිර්ධන ආත්මයක් හිමි මිනිසෙක් යුක්තිගරුක පොරොන්දු දේශයක් සහතිකවෙන විමුක්ති අරගලයක් ලඟ නතරවීම අරුමයක් විය හැකිද..?
මම එදා පූර්ණකාලීන දේශපාලනයට පිවිසියේ වයස අවුරුදු දාහතේදීය. ඒ දහසකුත් බැරි අමාරුකම් මැද පාසල් යනවාට වඩා ඒ අමාරුකම් වෙනස්කරන කාර්‍ය් වැදගත් යැයි එදා එදා මට සිතුන බැවිනි.
මාතෘකාව කඳවුර ගැන බැවින් දේශපාලන දිවිය මගහැර කඳවුරු දිවිය වෙත හැරෙමි.
අසූනමය අගබාගයේ පක්ෂය මර්ධනයට හසුව කුඩුපට්ටම් වී ගොස් තිබූ බැවින් සහ අඩියක් අඩියක් පාසා හමුදා කඳවුරු සහ පොලීසි හැම තැනම අටවා තිබූ බැවින් තව දුරටත් මාහට මහනුවර දිස්ත්‍රික්කය තුල ජීවත්වීමට පුළුවන් කමක් තිබුනේ නැත.
එසේ හෙයින් ඇඟේ වස්ත්‍රය පමණක් සහිතව සහ බස්ගාස්තු සඳහා සහ වේල් දෙකකට පමණ ප්‍රමාණවත් මුදලක් පමණක් අතැතිව ඒ වනවිටත් කිසිදා පය නොගසා තිබූ කොළොම්පුරේට ආරක්ෂාව සොයා යන්නට පිටත් උනෙමි.
එහිදී නොදන්නා අරුමපුදුම කොළොම්පුරය තුල ගෝලවැඩ, සිකුර්ටි රස්සා මෙකීනොකී සියළු ජීවන උපායන් සහ පේමන්ට් පිල් කඩපිල්වල දුෂ්කර මාස හත අටක කාලයක් ගෙවාදැමුවෙමි. මේ කාල පරිඡේදය තුල අරගලය තුල මිය ගියේනම් මීටවඩා දහස්වාරයක් යහපත් යැයි සිතුන වාර අනන්තවත් තිබින.
දරුණු මර්ධනයකට ගොදුරුවූ පක්ෂයක් තුල සාමූහිකව ආරක්ෂාවෙමින් සිටිනවාට වඩා පක්ෂය අහිමිව තනිව හුදෙකලාව ආරක්ෂාවීම ඊටත්වඩා බයානක කාර්‍ය්යක් බව මට වැටහුනේ මේ කාලය තුලදීය.
මා නතරව සිටි සෑම ස්තානයකටම අහඹුලෙස පරීක්ෂාකිරීමට හමුදාව සහ පොලීසිය එහි කඩාවැදුන ද ඒ වනවිටත් මා මුහුකුරාගිය පෙනුමක නොසිටි බැවින් එහි වාසිය දෛවය විසින් මාහට ලබාදී තිබුනේය.
මාගේ පියා හදිසියේ මියගිය බව දැන්වූ පනිවිඩයක් මා ඒවන විට නතරව සිටි තැනට ලැබුනේ මේ කාලයේදීය.
දරුවන් හා පියවරුන් මව්වරුන් අතර මහා ඝන ගැඹුරු බැඳීමක් ඇතිබව මට ඇත්තෙන්ම තේරුම්ගියේ මා දේශපාලනයට පිවිසීමෙන් අනතුරුවය.
මා පක්ෂයේ වැඩ සඳහා නිවසෙන් පිටත වෙන පලාත්වලට ගොස් සිටි කාලවකවානුවේදී තරුණයින් මහමග මරාදමා තිබූ සෑම තැනකටම පියා කිලෝමීටර් පහලව විස්ස දෙපයින් ඇවිදගොස් තිබින. ඒ මරා දමා තිබුනවුන් අතර මා ඇද්දැයි සොයාබැලීමටය.
මා දේශපාලනය කල ප්‍රදේශයේ සිට මාගේ නිවස කරා පැමිණි සෑම දිනකම මාහට රාත්‍රියේ නිදාගැනීමට ඉඩදී එළිවෙන තුරු ඔහු හමුදා ජීප් පැමිනෙන්නේදැයි පරීක්ෂාවෙන් සිටියේය
දැන් ඒ පියා සදහටම මාව හැරදා ගොසිනි……
ආයෙත් නිදහස් ලෝකයක ඔහු හා අල්ලාප සල්ලාපයේ යෙදීමට මට කිසිකලෙකත් අවස්තාවක් ලැබෙන්නෙ නැත. එක් දාර්ශනිකයෙක් ජීවිතය රඟමඩලක් යැයි කියා තිබුනද එකී රඟමඩළ තුල හැමවිටෙකම මට තිබුනේ ඛේදවාචක රංගන පමණි. අතිශය සමීපතමයන් සම්බන්ද අවසන් වගකීම් බැඳීම් පවා මගහැරී යයි නම් මා නිරුපද්‍රිතව සිටියේ වුවද පලක් නැතැයි මට එදා සිතුනි.
රැකිය යුතු ප්‍රේමණීය බැඳීම් රැකිය යුතුමය. මා ඔහුගේ අවසන් කටයුතු සඳහා යා යුතුමය.
ඉතින් එදා රාත්‍රියේ මම ඔහුගේ දුප්පත් මළගෙදරට සහබාගී වූයෙමි.
පසුදින මළගෙදරට අවශ්‍ය බුලත් පුවක් මිලදී ගැනීමට මා නගරයට පැමිණි මොහොතේ හිටි අඩියේම පොලිස් ජීප් රථ කීපයක් පාර හරස් කොට මා වටකර ගත්තේය. එයින් බැසගත් අවිගත් මිනිසුන් කීපදෙනෙක් මාව වෑන් රථයකට ඇද දමාගනිමින් බිම පෙරලාගෙන දෑත් පසුපසට කොට මාංචු දැමීය.
එතැන් සිට මෙතෙක් පුලපුලා බලාසිටි බීෂණයේ සියල්ල සම්මුඛ විය. එහිසිට පුරා මසක කාලයක් එකම චක්‍රයක් ලෙස රාත්‍රී කාලයේ පහරදීම්, දිවා කාලයේ කට උත්තර සටහන්කර ගැනීම් සිදුවිය ….
ත්‍රස්තක්‍රියා මර්ධන ඒකකය(C.S.O.) ජාතික රහස් ඔත්තු සේවය (N.I.B.) අපරාධ විමර්ශන ඒකකය යන මෙකී නොකී නොකී සියළු පාර්ශව පැමිණ නැවත නැවතත් පැමිණ ප්‍රකාශ සටහන් කරගනී. රාත්‍රියේ එළියට රැගෙන ගොස් පැනයාමට තැත්කලා යැයි කියා වෙඩිතබා මරා දමන බවට තර්ජන කෙරෙයි….
මේ කාල සීමාව තුල නම් මාහට ජීවිතයේ ඉදිරි විනාඩි පහක කාලයක් හෝ ජීවත්වීමට හැකිවෙතැයි බලාපොරොත්තුවක් තිබුනේ නැත.
පොලීසියේ මස් මාළු පිසින දිනයන්ට මාහට එය දැනගැනීමට හැකිය. ඒ පොලීසියේ කෝකියා විසින් මා සිටි අඳුරු කූඩුව ඇතුලට විසිකරන බත් හැඳි දෙකක් බෙදූ දැලි වැකුනු මළකඩ පිඟානේ මාළු හෝ මස් හොදි ස්වල්පයක් තැවරී තිබූ බැවින්.
මෙහිදී පහරකෑමට ලක්ව බිම වැටී සිටි අවස්තාවල “මුන්ට වතුරවත් නොදී මැරෙන්ට අරින්ට ඕන” යැයි කියූ බහුතරයක් අශිෂ්ඨ නිලධාරීන් අතර ” තව ටික කාලයක් පරෙස්සම් උනානම් අහුවෙන්නෙ නැතිවම ඉන්න තිබුනා ” යැයි කනටකර කියූ ඉහළ පොලිස් නිලධාරියෙක්ද මට හමු උනි.
ඒ කෙසේ නමුත් ඇතැම් අවස්තාවල මෙතෙක් ජීවිතයේ හරිහමන් කෑමක්වත් නැතිව කිසිවෙකු මායිම් නොකල මාහට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය විසින් විශාල වැදගත්කමක් ලබාදී ඇතිබව මට හැඟී ගියේය.
හේතුව මාව පොලිස් ස්තානයෙන් පිටතක රැගෙන යන සෑම මොහොතකම මා යන රථයේ ඉදිරියෙන් හා පසුපසින් පරිවාර අවිගත් රථ ගමන්කිරීමයි. ඒ සෑම විටෙකම මරණ බිය මෙන්ම “මම මාර පොරක්” යන අභිමානයද මට දැනුනි.
ඒ කෙසේ වෙතත් අඩියේ අඩියේ කවුළුවක් ඇති සහ අඩි නමයේ නමයේ දිග පළල පොලිස් කූඩුවක් තුල පුරා මාස දෙකහමාරක් මට තැම්බෙන්නට එදා සිදුවිය. ඒ අතීතයේ මතක සටහනක් ලෙස අද මා සතුව ඉතිරිව ඇත්තේ මිලිමීටර් විසිපහේ දඟර වානේ පොල්ලකින් දෑත බදා මාගේ දනිස් පොල්කටුවලට වැදුන පහරකින් බිඳීගිය දනිස් පොල්කටු මතුපිට තාමත් ඇති ගැඹුරු තුවාල කැළල පමණි.
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN
පෙර ලිපි –