*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

කරන කලට පව් මීරිය මී සේ : ලෝකයම බලා සිටි ගිස්ලේන් මැක්ස්වෙල් ළමා අපයෝජන නඩුව

බ්‍රිතාන්‍ය මෙන්ම ඇමරිකානු මාධ්‍යවල ද ශීර්ෂපාඨ පිට ශීර්ෂපාඨ මැවූ, පුරා මාසයක් ඇසුණු,  බ්‍රිතාන්‍ය මාධ්‍ය කුවේරයෙකුගේ දියණිය විසින් බාලවයස්කාර දැරියන් ලිංගික වෘත්තිය සඳහා ජාවාරම් කිරීමේ ඉතිහාසගත නඩුවේ තීන්දුව ඊයේ ප්‍රකාශයට පත් කෙරිණි. මහා බ්‍රිතාන්‍යයේ ප්‍රභූ පවුලක ඉපදී සියලු සැප සම්පත් මැද ජීවත් වූ ගිස්ලේන් මැක්ස්වෙල්, බාලවයස්කාර දැරියන් ලිංගික ජාවාරම්වල යෙදවීම සම්බන්ධයෙන් එම ‌ඉතිහාසගත නඩුවේ චෝදනා 6 කින් 5 කට වරදකාරිය බවට පත් වූවාය. එදා ඇය විසින් ජාවාරම් කළ දැරියන් සිව් දෙනෙක්, සුවපත් නොවූ ඒ කැළැල්වලින් අද ද පීඩිතව කල් ගොසින් හෝ යුක්තිය පතමින් අධිකරණය ඉදිරියේ සිය කතා දිග හරිමින් සිටියහ.

මේ අය අතරින් අධිකරණය ඉදිරියේ සිය කතාව පැවසීමේදී හඬා වැටෙමින් වැළපුණේ කැරොලින් යන නමින් සිය සාක්ෂි ලබාදුන් කාන්තාවයි. දිගින් දිගටම සිදුවූ අපයෝජනවලින් ඇතිවූ කම්පනයෙන් මිදීම පිණිස ඇය පසුකාලීනව කොකේන් හා වේදනා නාශකවලට ඇබ්බැහි වී සිටියාය. වයස අවුරුදු 4 දී සිය සීයා විසින් අපයෝජනය කළ දැරියක වූ ඇයට ගිස්ලේන් මුල් වරට හමුව තිබෙන්නේ 2001 වසරේදී එප්ස්ටෙයින්‌ගේ මන්දිරයේ ය. වර්ජිනියා නමැති සහායිකාවකට එම දැරිය උඩු මහලට ගෙන යන ලෙස උපදෙස් ලැබිණි. වෙනම සම්බාහන කාමරයක් එම මන්දිරයේ තිබූ අතර, එප්ස්ටන්ට ‘උවමනා ලෙස’ සම්බාහන කටයුතු කරන ලෙසට ඇයට නියම කර තිබිණි. 100 වතාවකට වඩා ඇයට මෙසේ කිරීමට සිදුවූ අතර, ඒ හැම අවස්ථාවකම දැරිය අතට අමතර මුදල් ලබා දී තිබිණි. ගිස්ලේන් මැක්ස්වෙල්ගේ අපරාධ හෙළි කළ කැරොලයින් පසුව කීවේ එප්ස්ටන්ගේ මිතුරන් අත ද කුඩා දැරිය හුවමාරු කළ බවයි.

බ්‍රිතාන්‍යයේදී කළ පව්වලට ද ඇයට වන්දි ගෙවන්නට සිදුවූයේ ඇමරිකාවේ මැන්හැටන් අධිකරණයේදී ය. ඇය, ඇගේ ඇමරිකානු මිතුරා වූ එප්ස්ටෙයින් කළ වැරදිවලට බිලි වූ බව හැරෙන්නට ඇගේ නීතීඥයන්ට අවසන් වශයෙන් ෆෙඩරල් අධිකරණයේදී කියන්නට දෙයක් තිබුණේ නැත. දශකයක් තිස්සේ ඇයට මේ චෝදනාව නැගී තිබිණි. නමුත් අවසානයේ ඊයේ ඇය ෆෙඩරල් අධිකරණයේ වික්ෂිප්තව බලා සිටියේ කිසිදු ගැළවීමක් නොමැති තැන ය.

මැක්ස්වෙල්ගේ වයස දැන් 60කි. ඇයට අවම වශයෙන් වසර 65 ක සිර දඬුවමක් ගෙවීමට අවසානයේ සිදුවනු ඇත.

එප්ස්ටෙයින්‌ගේ ‘මැඩම්’

මේ නඩුවේදී නිතර කියැවුණු නමක් වූයේ ජෙෆ්රි එඩ්වඩ් එප්ස්ටෙයින් ය. එප්ස්ටෙයින්, දැරියන් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් වරදකරුවෙකු වූවෙකි. එනම් ‘ලිංගික අපරාධකරුවෙ’කි. ඔහු සත්‍ය වශයෙන්ම ඇමරිකාවේ ධන සම්භාරයක් හිමි මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු විය. Jeffrey Epstein VI Foundation‎ හි හිමිකරුවා ය. පාසල් ගුරුවරයෙකු ලෙස මැන්හැටන් හි ඔහු ජීවිතය පටන් ගෙන තිබුණේ උපාධි සුදුසුකමක් පවා නැතිව ය. මුදල් යහමින් තිබෙන විට ඇමරිකාව වැනි රටවල ද ඉඳහිට මෙවැනි දේ සිදු වේ.

එප්ස්ටෙයින් මූල්‍ය ක්ෂේත්‍රයේ ඉහළට යත්ම ඇමරිකාවේ ප්‍රභූ සමාජයේ විශාල මිතුරු කව ඇති කර ගත්තේය. ඔහු කාන්තාවන් සහ දැරියන් රැසක් තමන් වෙත ගෙන්වා ගත්තේය. අනතුරුව ඔහු වැනිම විකෘති ආශාවන් සහිත මිතුරන් සමග එක් වී දැරියන් අ‌පයෝජනයට ලක් කළේය.

එප්ස්ටෙයින් සමග ගිස්ලේන්

තමන්ගේම දියණිය අපයෝජනය කළ නරුමයෙක්

එප්ස්ටෙයින් නමැති කොට්ටෝරුවාගේ හොට පැටලෙන්නේ, 2005 වසරේදී ඔහුගේ දියණිය, පියා විසින් තමන්ව අපයෝජනය කළ බවට කරන පැමිණිල්ලකින් පසුව ය. දියණියගේ වයස අවුරුදු 14 ක් විය. නඩුව 2018 වසරේදී තීන්දු ප්‍රකාශයකින් අවසන් වූයේ බාලවයස්කාර දැරියන් ලිංගික වෘත්තිය සඳහා යෙදවීමේ චෝදනාවට වරදකරු කරමිනි. මාස 13 ක් සිරභාරයේ සිටින ඔහු, පසුව නිදහස් වෙයි. මේ නරුමයා විසින් කුඩා දැරියන් 36 දෙනෙකු ලිංගිකව අපයෝජනය කළ බව නඩුවේදී හෙළි විය.

පසුව 2019 දී එප්ස්ටෙයින් අත්අඩංගුවට පත් වන්නේ ෆ්ලොරිඩා හා නිව්යෝක් ජනපදවල දැරියන් ලිංගික ජාවාරමේ (සෙක්ස් ට්‍රැෆිකින්-sex trafficking) යෙදවූ බවට නැගෙන චෝදනා සමග ය. නමුත් මාස කිහිපයකට පසුව 2019 අගෝස්තු 10 වැනිදා ඔහු සිය සිර කුටිය තුළම මිය ගොස් සිටියදී හමු වෙයි. හුස්ම සිරවෙන මොහොතේ, ඔහු විසින් අපයෝජනයෙන් පසු කුට්ටනය කළ, විකුණා දැමූ, බාලවයස්කාර දැරියන්ගේ කඳුළු පිරුණු දෑස් ඔහු ඉදිරියේ මවන්නට දෙවියන් වහන්සේ සමත් වන්නට ඇතැයි අපි විශ්වාස කරමු.

එප්ස්ටෙයින් මළ පසුව ඔහුට එරෙහි නඩුව අවසන් වුණත්, දශක ගණනක් තිස්සේ ඔහුට දැරියන් ‘සප්ලයි’ කළ නමක් සාක්ෂි සහිතව අධිකරණය ඉදිරියේ විය. ඒ, බ්‍රිතාන්‍ය ජාතික ගිස්ලේන් මැක්ස්වෙල් ය. ඇය, එප්ස්ටෙයින්ගේ ‘මැඩම්’ බව නඩු විභාගයේදී සනාථ විය.

ඩොනල්ඩ් ට්‍රම්ප්, බිල් ක්ලින්ටන් සහ ඇන්ඩෲ කුමාරයාගේ පටි රෝල්!

එප්ස්ටෙයින් සහ මැක්ස්වෙල් විසින් විකෘති කාමාශාවන් සඳහා දැරියන් සැපයූ ගනුදෙනුකරුවන්ගේ නාමාවලිය ද අධිකරණය ඉදිරියේ විය. ඒ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්, බිල් ක්ලින්ටන් යනාදීන් මෙන්ම යෝක් හි ආදිපාද ඇන්ඩෲ කුමරු ද විය.

ඇන්ඩෘ කුමරු අද

ඒවා ලංකාවේ මෙන් නොව,  සමාජ මාධ්‍ය මගින් කියාපාන ‘අරයත් ඉන්නවා-මෙයත් ඉන්නවා-තව අයත් ඉන්නවා’ වැනි ජනමතය විකල් කරන මාධ්‍ය සන්දර්ශන නොවේ.

ඇන්ඩෲ කුමාරයා බ්‍රිතාන්‍ය කිරීටයේ උරුමක්කාරයන්ගේ අනුපිළිවෙළේ 9 වැන්නා ය. අධිකරණයේදී කාන්තාවක් පැවසුවේ තමන් බාලවයස්කාරියකව සිටියදී එප්ස්ටෙයින් සහ මැක්ස්වෙල් ‘සර් සහ මැඩම්’ එක්ව තමන්ව ඇන්ඩෘ කුමාරයාට විකුණා දැමූ බවයි. ඇන්ඩෘ නම් සුපුරුදු පරිදි කියන්නේ මේ චෝදනා අමූලික බොරු බවයි. නමුත් මැක්ස්වෙල් නඩුවේ අවම වශයෙන් එක් ජූරි සභිකයෙකු හෝ මේ කතාව දැඩිව සැලකිල්ලට ලක් කරන බව පෙනේ. ඒ අනුව නුදුරු අනාගතයේදී බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයෙකුට එරෙහිව ඇමරිකාවේදී නඩු ඇසෙනු ඇත. මේ වන විටත් ඇන්ඩෘට එරෙහිව අපරාධ චෝදනා නැගීම ගැන අවධානය යොමුව තිබේ.

ගිස්ලේන් මැක්ස්වෙල්, දැනටමත් සිටින්නේ හිරේ ය. නඩුව අවසන් වන තෙක් මැන්හැටන් හි රැඳවුම් මධ්‍යස්ථානයක තබාගත් ඇයව අනතුරුව බන්ධනාගාරගත කරනු ලැබිණි. ඇගේ දඬුවම ලිහිල් කර දෙන ලෙසට අභියාචනය කරන බව ඇගේ නීතීඥවරිය මාධ්‍ය අමතා කීවාය. නමුත් එසේ වේද යන්න සැක සහිත ය.

ගිස්ලේන්ගේ කතාව

ගිස්ලේන් මැක්ස්වෙල් සිය පියාගේ වයසේ අයෙකුට දියණියන්ගේ වයසේ දැරියන් සප්ලයි කිරීමෙන් විඳි සතුට කුමක්ද? ධනයෙන් සහ බලයෙන් යට වූ ඇගේ ආත්මය කළ පාපී ක්‍රියාවන්ගේ ඉතිහාසය කුමක්ද? මේ කතාව සම්පූර්ණ වන්නට නම් අප ඇගේ කතාව ද ඇසිය යුතුය.

1961 නත්තල් දිනයේ ගිස්ලේන් මැක්ස්වෙල් උපන්නේ එංගලන්තයේ ධනවත්ම පවුලකට දාව ය. ඇය ඉපදී දින 3 කට පසුව ඇගේ 15 හැවිරිදි සොයුරා මෝටර් රථ අනතුරකට පත්ව කෝමා තත්වයට පත් වෙයි. වසර 7 ක්ම ඔහු සිහි විසඥව සිටියි. මේ ඛේචවාචකය හේතුවෙන් තමන්ට ගිස්ලේන් දෙස බැලීමට පවා ඉසිඹුවක් නොලැබුණු බව පසුව කියන්නේ ඇගේ මවයි. ප්‍රකාශන ක්ෂේත්‍රයේ ධන කුවේරයෙකු වන රොබට් මැක්ස්වෙල් ඇගේ පියා ය. නමුත් කුඩා ගිස්ලේන් ගේ හැඟීම් කිසිසේත්ම වැඩිහිටියන් විසින් ගණන් නොගන්නා, ඇයව අතහැර දැමූ පවුල් පරිසරයක ඇය හැදී වැඩී තිබේ. ඇනරොක්සියා තත්වයටද ඇය ගොදුරු වී තිබිණි. කෙසේ නමුත් ඇගේ දෙමාපියන් විසින් මේ තත්වය වටහාගන්නා අතර, පසුව ඇය දෙමාපින්ගේ, විශේෂයෙන් ඇගේ පියාගේ ‘ප්‍රියතම දැරිය’ බවට පත් වෙයි.

ඔක්ස්ෆර්ඩ්ෂයරයේ ඉතාලියානු මන්දිරයක සියලු සැප සම්පත් මැද හැදී වැඩුණු ගිස්ලේන්ගේ සුප්‍රසිද්ධ පියා කවුද?

රොබට් මැක්ස්වෙල් නමැති ඔහු, යුදෙව් ජනපදයකින් පැවතගෙන එන අතිශය දුප්පත් කමේ ගිලුණු පවුලකින් පැවතගෙන එන්නෙකි. ඔහුගේ පවුලේ අයගෙන් බහුතරය ද යුදෙව් සංහාරයේදී මරා දමා තිබිණි. බ්‍රිතාන්‍යයට පැමිණ හමුදාවේ ‘රණ විරුවෙකු’ බවට පත් වන ඔහු, පුවත්පත් ප්‍රකාශනය සම්බන්ධයෙන් දැක්වූ දස්කම් නිසා බ්‍රිතාන්‍ය යේ Daily Mirror පුවත්පතේ හිමිකරු බවට පත් වෙයි. මෙය, එරට වැඩිම අලෙවියක් සහිත පුවත්පතයි. පසුව ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට ද ඔහු පත් වෙයි.

රොබට් මැක්ස්වෙල් සිය බිරිඳ බෙටී සහ ප්‍රියතම දියණිය ගිස්ලේන් සමග

නමුත් ගෙදරදී ඔහු අමු තිරිසනෙකු හෝ යකෙකු මෙන් හැසිරුණු බවට සාක්ෂි බොහෝ ය. සිය දරුවන්ට ඔහු කුණු හරුපයෙන් බැණ වැදුණු අතර, කායික දඬුවම් ද ලබාදුන්නේය. රෑ කෑම මේසයේදී දේශපාලන ප්‍රශ්න අසමින් දරුවන් අමාරුවේ දැමූ ඔහු, ඔවුන්ගේ අනාගත සැලසුම් මොනවාදැයි ඇසුවේය. ඒ ප්‍රශ්නවලට උත්තර සතුටුදායක නොවන හැම විටම දරුවන්ට නින්දිත ලෙස බැණුම් අසන්නට සිදුවූ අතර, ඇඬු කඳුලින් කෑම කන්නට සිදුවිය. පියාගේ ප්‍රියතම දියණිය බවට පත්ව සිටියත් ගිස්ලේන්ගේ තත්වය ද එයම විය. නමුත් ඔහු යනෙන හැම තැනම ගිස්ලේන් සිටිය යුතු විය. වෙනකක් තබා, ඔහුගේ පුද්ගලික යොට් යාත්‍රාවට තබා තිබූ නම වූයේ ද Lady Ghislaine මිස, ඔහුගේ බිරිය වූ බෙටීගේ ‌හෝ අනෙක් දියණියන් තිදෙනාගේ නම් නොවේ. ඔහුගේ සිතේ තිබූ අදහස නම්, සිය බාල දියණිය වූ ගිස්ලේන් ව, ජෝන් එෆ් කෙනඩි (කණිෂ්ඨ) හට විවාහ කර දෙන්නට ය. ඔක්ස්ෆර්ඩ් සරසවියේ දී ගිස්ලේන් භාෂාවන් සහ ඉතිහාසය හදාරන්නට ඇත්තේ ද ‌මේ අරමුණ වෙත යාම පහසු වන්නට ය. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ සහෝදරිය වූ රේෂල් ජොන්සන්, ගිස්ලේන්ගේ ඔක්ස්ෆර්ඩ් සමකාලීනයෙකි. ඒ කාලයේදී ඇය බොරිස් ජොන්සන් සමග සමීප ඇසුරක් පවත්වාගෙන ගිය බව ද පැවසේ. ඔක්ස්ෆර්ඩ් අධ්‍යාපනයෙන් පසුව ඇගේ පියා විසින් ඇයව තමන්ට හිමි ‘ඔක්ස්ෆර්ඩ් යුනයිටඩ්’ පාපන්දු සමාජයේ සහ තෑගි භාණ්ඩ සමාගමක සභාපතිනිය බවට පත් කරයි.

නමුත් ඇය ව්‍යාපාරික කාන්තාවකට වඩා ඉහළ සමාජ ඇසුරක් සහිත ‘ප්‍රභූවරියක’ ලෙස හැසිරෙන්නට ප්‍රිය කළ බවට සාධක තිබේ. ගිස්ලේන්, ඉතාලි ජාතික ධන කුවේරයෙකු සමග ද සම්බන්ධතා පැවැත්වූවාය. කල් යත්ම ‘ලේඩීස් ඔන්ලි’ සමාජ කව සාදා ගත්තාය. 1991 වසරේදී ඇගේ පියා New York Daily News පුවත්පත මිලදී ගත්තේය. මැන්හැටන් නුවරට ඇය සම්ප්‍රාප්ත වන්නේ ඒ අනුව ය.

නමුත් ඒ වසරේ නොවැම්බරයේ ඇගේ පියා ‘ලේඩි ගිස්ලේන්’ යොට් යාත්‍රාවේ ඩෙක් තට්ටුවෙන් මුහුදට වැටී අතුරුදන් වෙයි. පසුව ඔහුගේ මළ සිරුර පාවෙමින් තිබියදී සොයා ගැනෙයි. වහාම පැමිණ, යොට් යාත්‍රාව තමන් භාරයට ගත් ඇය, ලෝකය හමුවේ පිය ගුණ වයමින් හැඟීම්බර කතාවක් පවත්වා නතර වන්නේ සිය දියණිය ද ඇතුළුව බාලවයස්කාර දැරියන් සිය ගණන් සිය විකෘති කාමාශාවන් සඳහා තළා පොඩි කර විනාශ කර දැමීමට තරම්, මී සේ යැයි කියමින් පව් කළ පාපතරයෙකු වූ එප්ස්ටෙයින්ගේ තුරුලේ ය.

ගිස්ලේන් සහ එප්ස්ටෙයින්

1992 වසරේදී වාර්තා වූයේ ඩොලර් 4,000 ක් ද රැගෙන ඇය වන් වේ ගුවන් ටිකට් පතකින් නිව්යෝක් බලා ගිය බවයි. වසරකට යූරෝ 80,000 ක් ඇය ලබමින් සිටියේ පෙර කී භාර අරමුදලෙනි.

‌මේ අතර පසුව හෙළිවන්නේ රොබට් මැක්ස්වෙල් විසින් මිරර් සමාගම් ජාලයේ යූරෝ මිලියන 440 ක විශ්‍රාම වැටුප් අරමුදල අයථා ලෙස පරිහරණය කර ඇති බවයි. 1992 වසරේදී මේ සම්බන්ධයෙන් මැක්ස්වෙල්ගේ පුතුන් දෙදෙනා වන කෙවින් සහ ඉයන් අත්අඅඩංගුවට ගැනීම ද සිදුවිය.

පියා‌ගේ රැකවරණය සහ ධන උල්පත වියැළෙන විට ගිස්ලේන් මැක්ස්වෙල් කළේ, ඉල්ලුමේ තරමට සැපයුම දෙමින් මේ ලෝකයේ සිටින උන්මත්තකම ආශාවන් සහිත පිරිමින් කණ්ඩායමකට බාලවයස්කාර දැරියන් සපයමින්, ඔවුන් ජාවාරම් කරමින් යහමින් මුදල් ඉපැයීමයි.

ගිස්ලේන් ගේ පියා මෙන්ම එප්ස්ටෙයින් හට ද තිබුණේ ඉතාම දුප්පත් මූලයන් ය. ඇමරිකාවේදී එප්ස්ටෙයින් සහ ගිස්ලේන් අතර සම්බන්ධතාවය මාධ්‍ය වේදීන්ගේ ඇස ගැටෙයි.

”ගිස්ලේන් ගෑණු ළමයින්ව පාලනය කළා” යැයි එප්ස්ලේන් විසින් අපයෝජනයට ලක් වූ සාරා රැන්සම් පසු කලෙක නොබියව අනාවරණය කළේ BBC’s Panorama වැඩසටහනට සහභාගි වෙමිනි. ”ඇය තමයි හැම ගෑණු ළමයෙක්ම පරීක්ෂා කළේ. ජෙෆ්රි ට අවශ්‍ය විදිහ ඇය දැන සිටියා…. මේක හවුල් ව්‍යාපාරයක්..”

එප්ස්ටෙන්ගේ මරණයෙන් පසු ගිස්ලේන් මැක්ස්වෙල් කොහි සිටින්නේදැයි සොයාගත නොහැකි විය. නමුත් ලොස්ඇන්ජලීස් හි බර්ගර් සාප්පුවක් ඉදිරිපිට ඇය සිටින ඡායාරූපයක් වැඩි කල් නොගොස්ම ඇමරිකානු මාධ්‍යවල මුල් පිටුවේ පළ විය. 2020 ජූලි මස ඇය අත්අඩංගුවට ගැනුණි. නිව් හැම්ෂයර් හි මහා මන්දිරයකදී ඇය අත්අඩංගුවට ගන්නා විට, ටෙක් ලෝක‌යේ දැවැන්තයෙකු සමග ඇය විවාපත් වී සිටියාය.

ගිස්ලේන් මැක්ස්වෙල්ට වඩා එප්ස්ටෙයින් පාපතරයෙකු යැයි ඔබට කියන්නට පුළුවන. ගිස්ලේන් මේ තත්වයට පත් වූයේ ඇගේ ළමා වියේ දී සිදුවූ නොතකා හැරීම් හා කායික/වාචික ප්‍රචණ්ඩත්වයන්/හිංසනයන් නිසා යැයි ද ඔබට කියන්නට පුළුවන. කුඩා කාලයේ කෙනෙකු ලක් වන කායික/මානසික පීඩන, මුළු මහත් ජීවිත කාලය පුරාම රැගෙන යන බව මනෝවිද්‍යාත්මක සත්‍යයකි. නමුත් තමන්ට සමාජයෙන් හෝ පවුලෙන් සිදුවූ අගතියකට/අසාධාරණකට පසු කලෙක තමන්ට කිසිදු සම්බන්ධයක් නැති පිටස්තරයන්ගෙන් හෝ සමාජයෙන් පළිගන්නේ මිනිසුන් නොව තිරිසනුන් ය.

මේ ලෝකයේ සමහරුන්ට හොඳ නරක වටහා දිය හැකි එකම ක්‍රමය දඬුවමයි. අවසානයේ ගිස්ලේන් මැක්ස්වෙල් නමැති බාලවයස්කාර දැරියන් ලිංගික අපයෝජනයට ලක් කළ, දැරියන් විකුණූ පාපතර ගැහැණියට හිමිවූයේ කොන්ක්‍රීට් ඇඳක් සහිත අඩි 6-9 කාමරයක් පමණි!

OUTBOUND TODAY – Radika Gunarathne

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan