අප රටේ බලශක්ති සුරක්ෂිතභාවය සහ පාරිභෝගික අයිතිය සුරක්ෂා කිරීම වගකිවයුතු විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය ඉටු කරන බවත් දිගින් දිගටම මේ ගල් අගුරු ප්‍රමිතියෙන් තොර යැයි කියද්දිත් 10 වැනි නැවේ ගල් අගුරුත් ප්‍රමිතියෙන් තොර බවට අද අනාවරණය වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පද්ධති පාලන ඒකක වාර්තා අනුව විදුලි බල මණ්ඩල හා මහජන උපයෝගීතා කොමිසමේ වාර්තා අනුව 9 සහ 10 නැව් දෙකේම ගල් අගුරු බාල බවත් මෙගාවොට් 300ක් නිපදවිය යුතු තැන මෙගාවොට් 263ක් පළමු යුනිට් එකෙන් නිපදවන විට තුන් වැනි යුනිට් එක ද මෙගවොට් 275ක් පමණක් නිපදවන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
මේ තුළින් මේ ගල් අගුරු බාල බවට පැහැදිලි වන බවත් දෙවැනි ඒකකයේ ඇත්තේ රුසියනු ගල් අගුරු නිසා හරියට මෙගවොට් 300 නිපදවන බවත් ඒ අනුව සමගි ජන බලවේගය දිගින් දිගටම පෙන්වා දී ඇති කරුණු ඇත්ත බවට පෙනී යන බවත් මෙයට හේතුව රජය බාල ගල් අගුරු ගෙන්වීම බවත් මෙවැනි තත්ත්වයක් තිබියදී රජය කරන්නේ හදිසි මිලදී ගැනීම් කිරීම බවත් මේ හදිසි මිලදී ගැනීමට හේතුව ප්‍රමිතියෙන් තොර ගල් අගුරු ගෙන ඒම බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
නොරොච්චෝල බලගාරයේ වාර්තා ගැන රජය අවධානය යොමු නොකරන බවත් මේ ගල් අගුරු වංචාවට රජය සෘජුවම වගකිව යුතු බවත් අදටත් රටට ගෙන එන්නේ බාල ගල් අගුරු බවත් මේවාට හේතු ඉදිරිපත් කළ යුතු බවත් මෙහි වාසිය යන්නේ ඉන්ධන මාෆියාවට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ පෙරේදා (28) දිනයේදී සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.


