Home පුවත් දේශපාලන පුවත් ගල් අගුරු වංචාව වහගන්න මැයි මාසයේ 30%ක විදුලි බිලේ වැඩිවීමක් – විපක්ෂ...

ගල් අගුරු වංචාව වහගන්න මැයි මාසයේ 30%ක විදුලි බිලේ වැඩිවීමක් – විපක්ෂ නායක සජිත් අනාවරණයක්!

අප්‍රේල් 01, කොළඹ LNW :

අප්‍රේල් මාසයේ 11%ක් විදුලි බිල වැඩි කර නැවත මැයි මාසයේ දී 30%කින් එය වැඩි කරන්න රජය යෝජනා කර ඇති බවත් එසේ උපයා ගන්න මුදල රු. බිලියන 41.5ක් බවත් මේ රු. බිලියන 41.5න් දළ දශයෙන් අඩක් එනම් රු. බිලියන 20.5ක් වැය කරන්නේ බාල ගල් අගුරු වංචාවේ අලාභය මඟහරවා ගැනීමට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

බාල ගල් අගුරු පාඩුව ගෙවන්නේ සමාගම් නොව ජනතාවයි

බාල ගල් අගුරු නිසා ගිගාවොට් පැය 250ක් අහිමි වී ඇති බවත් මේ ප්‍රමාණය ලබා ගැනීම සඳහා ඩීසල් බලාගාර හරහා විදුලිය උත්පාදනය කිරීමට රු. බිලියන 20.5ක් යන බවත් මේ රු. බි. 20.5 ලබා ගන්නේ 53%කින් මැයි මාසයේ විදුලි බිල වැඩි කිරීමෙන් බවත් ජනාධිපතිවරයා මේ අලාභය සමාගම්වලින් අයකර ගන්නවා කිව්වත් මේ බාල ගල් අගුරු පාඩුව ගෙවන්න වෙන්නේ 75 ලක්ෂයක් විදුලි පාරිභෝගිකයන්ට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගෑස් පාරිභෝගිකයන්ට තවම සහන නෑ

අප රටේ 61 ලක්ෂයක් පවුල්වලින් ලක්ෂ 25ක් ගෑස් පරිභෝජනය කරන බවත් මේ අයට සහන නොමැති බවත් අදවත් මොවුන්ට සහන දෙන්න කිව්වත් අදටත් එය නොවූ බවත් මැයි මාසයේ වැඩි කරන්න යෙදෙන 53%ක විදුලි බිල වැඩි කිරීම වහා හකුලා ගත යුතු බවත් ඩීසල් ඒකකයට රු. 100 ගානේ අය කර මේ පාඩුව අය කර ගැනීමට රජය දරනා උත්සාහය නතර කර මේ පාඩුව සිදු කළ සමාගම්වලින් මේ පාඩුව අයකර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රජය රටේ ජනතාව අනාථ කර අවසන්

අද වන විට ගොවි ජනතාවට කිසිදු සහනයක් නොමැති බවත් මාස් කන්නයේ තෙත වී රු. 85-90ටත් 14%ක තෙතමනය සහිත වී රු. 100-103ට ගිය බවත් රජය රු. 120ක් පොරොන්දු වුවත් අද ඒ මිල නොමැති බවත් රු. 150ක සහතික මිල නීතියක් කරනවා කිව්වත් අද එදා ගොයම් කාපු අයත් පුන්නක්කු බීපු අයත් නොමැති බවත් අද රජය රටේ ජනතාවට 3 වැනි පන්තියේ සැලකිල්ලක් ලබා දෙන මේ රජය විදුලි පාරිභෝගිකයන් සේම ගොවියන්ද ධීවරයන් ද කම්කරුවන් ඇතුළු සියලු දෙනාම අනාථ කර ඇති බවත් බාල ගල් අගුරු සේම බාල රාජ්‍ය පාලනය නිසා රටේ ජනතාව අසහනයට විපතට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ෆේස්බුක් එකේ විහිලු නොකර දැන්වත් රටට අවශ්‍ය ඉන්ධන, ගෑස්, පොහොර ලබා ගන්න කටයුතු කරන්න

‍පොහොර සහනාධාරය දෙනවා කිව්වත් අද වනවිට යූරියා ඇතුළු පොහොර හිගයක් ඇති බවත් දේශපාලනඥයන් පොහොර තිබේ යැයි කිව්වත් ගොවි බිමේ පොහොර නොමැති බවත් මැදපෙරදිග සති 2ක සටන් විරාමය ඇති අවස්ථාවේ අප රටට අවශ්‍ය ඉන්ධන පොහොර ගෑස් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සැපයුම්වල සැපයුම් දාම ශක්තිමත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් සෙනාරියෝ ප්ලෑනින් එකක් සකස් කරන ලෙසත් වහලුන් යොදා සමාජ මාධ්‍ය හරහා මේ යෝජනා විහිලුවට ලක් නොකර හදිසි අවස්ථාව වෙනුවෙන් ක්‍රමෝපායික සැලසුමක් සකස් කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන් ලෝක වෙළෙදපොළෙ තෙල් මිල අඩුයි. ඒ නිසා අපේ රටේ තෙල් මිලත් අඩු කරන්න

මේ අවස්ථාවේ ලෝකයේ තෙල් මිල අඩු වී ඇති නිසා මැදපෙරදිග යුද්ධයේ නාමයෙන් වැඩි කළ තෙල් මිල අඩු කළ යුතු බවත් ඒ සහනය ජනතාවට ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

ඊයේ දෙනවා කිව්ව සහන දිට්වා සහන වගේ නොදී ඉන්න එපා

දින 39ක් මර නින්දේ සිට හදිසියේ නැගිට ඇවිත් ඊයේ ජනාධිපතිවරයා පොරොන්දු වට්ටෝරුවක් ඉදිරිපත් කළත් අදටත් දිට්වා නිසා විපතට පත් ජනතාවට දෙනවා යැයි කියූ පොරොන්දු සහන ලබා දී නොමැති බවත් මේ වන විට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටී ඇති බවත් මඩකලපුවේ රෝහලේ ඇති යන්ත්‍ර පවා ක්‍රියාවිරහිත වී ඇති බවත් මේ රජය රජරට ප්‍රදේශයේ පොඩි ගෙදරකට පවා රු. 80000ක බිලක් එවා ඇති බවත් මෙවැනි ගැටලු රැසක් රටේ ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඇමතිවරු හරියට වැඩ නොකරන නිසා රාජ්‍ය සේවකයෝ ගැටලු රැසකට මුහුණ දෙනවා

දැන්වත් මේ රාජ්‍ය සේවකයන්ට වැඩි පුහුණුවක් ලබා දී ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් ඔම්බූඩ්ස්මන් කෙනෙක් පත් කරන ලෙසත් මෙවැනි දුක්ගැනවිලි කියන්න තැනක් තිබිය යුතු බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ජනය නතර කිරිම ගැන සතුටු වුවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මොවුන්ගේ ගැටලු ගැන ඇහුම්කන් දිය යුතු බවත් දුෂ්කර සේවා රෝහල් 393 සිට 126ක් මේ රජය කප්පාදු කර ඇති බවත් දුෂ්කර සේවා කාලය වසර 1 සිට 2 දක්වා වැඩි කර ඇති බවත් වැඩවර්ජන ගැන සේවකයන්ට ඇගිල්ල දිගු කරනවා සේම ඇමතිවරයාට පවා ඇගිලි දිගුවන නිසා මේ ගැන ඇමතිවරයා සාකච්ඡා කළ යුතු බවත් මේ ගැටලු මැද රජයේ මාරුවීම් මණ්ඩල පවා දැන් දේශපාලනීකරණය වී පැලවත්තකරණය වී ඇති විපක්ෂ නායකවරයා පැවසීය.

කාන්තාවනට සිදු කරන වාචික සහ ශාරීරික හිංසනවලට එරෙහිව පියවර ගන්න

හැමදාම කියනවා වගේ ස්ථිර කර නොමැති ඩෙංගු මර්ධන සහායකයන්ගේ ගැටලු විසදිය යුතු බවත් 301 දෙනෙකු සිටින නිසා ස්ථිර කිරීම වහාම කරන ලෙසත් ඊට අමතරව පාර්ලිමේන්තුවේ සේවය කළ කාන්තාවකට හිංසනයක් සිදුව ඇති අවස්ථාවේ මහ අධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් මේ ගැන සෙවූ කමිටුවේදී වාචික හිංසනයක් සිදුව ඇති බවට වාර්තා වන බවත් දැන්වත් මේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවත් කාන්තාවන්ට එවැනි හිරිහැර සිදු නොවන ආකාරයට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.