සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1912 අප්‍රේල් මස 15 වන දින ලෝක ප්‍රකට ටයිටැනික් නවුකාව ගිලිගොස් අදට වසර 114ක් සපිරේ,
ඒ වන විට ලෝකයේ ”නොගිලෙන නෞකාව” ලෙස විරුදාවලියක් ලැබ තිබූ අති නවීන ටයිටැනික් නැව එවකට තිබු විශාලතම බ්‍රිතාන්‍ය සුඛෝපභෝගී නෞකාව වූ අතර RMS ටයිටැනික් නිව්ෆවුන්ඩ්ලන්ඩ් අසල උතුරු අත්ලාන්තික් සාගරයේ දී එහි මංගල ගමනේදී අයිස් කුට්ටියක ගැටීමෙන් පැය දෙකහමාරකට වැඩි කාලයකට පසු ගිලී ගියේය.
නැවේ ගමන් කළ මඟීන් 2220කට ආසන්න සංඛ්‍යාවකින් 1,500 කට අධික පිරිසක් මිය ගිය අතර 710 ක් පමණ දෙනා දිවි ගලවා ගනු ලැබූ අතර එය ඉතිහාසය තුළ සිදු වූ සාමුද්‍රීය ව්‍යසන අතුරින් මාරාන්තික ම අනතුර ලෙස සැලකේ,
දිගින් අඩි 882.5 ක් හා පළලින් අඩි 92 ක්වූ නෞකාවේ උස පතුලේ සිට උස අඩි 175 කි. එය මහල් 9 කින් සමන්විත වූ අතර මුළු බර ටොන් 52,310 ක් විය. ගල් අඟුරු අනුසාරයෙන් ක‍්‍රියාත්මක වූ යෝධ වාෂ්ප බල ඇන්ජින් දෙක කින් නැව ධාවනය කළ එය අශ්ව බල 46,000 කින් සමන්විත විය. දැවැන්ත වාෂ්ප බල ටර්බයින 4 කින් නැවට විදුලි බලය කිලෝ වොට් 1600 සැපයිණි.
ඊට සමකාලීන එක්සත් රාජධානියේ නාගරික විදුලි බලාගාරයකදී හෝ එතරම් විදුලි බලයක් ජනනය නොකළ අතර නැවේ වාෂ්ප ඇන්ජින් ක‍්‍රියාත්මක කිරීම සඳහා දිනකට ගල් අඟුරු ටොන් 600 ක් දවන ලද අතර දවසේ පැය 24 පුරාම මේ කාර්යය අඛණ්ඩව සිදු කිරීම සඳහා සේවා මුර පදනම මත සේවකයන් 176 දෙනෙක් නිතරව සිටියහ. දිනකට දැවුණු ගල් අඟුරු අළු ටොන් 100 ක් මුහුදට දැමීම ද ඔවුන්ගේ අනිත් රාජකාරිය විය.
නෞකාවේ සුපිරි අවන්හල්, නර්තන ශාලා, පුස්තකාල, නැරඹුම් මැදිරි, පිහිනුම් තටාක, ශාරීරික සුවතා ඒකක, ප‍්‍රසංග ශාලා, වෛද්‍ය ඒකක ඇතුළු විවිධාංගවලින් සමන්විත වූ අතර එහි ගමන් ගන්නා මගියෙකුට තමන් නැවක නොව සුපිරි සංචාරක හෝටලයක ලැගුම් ගෙන සිටින බව හැඟී යන පරිදි අභ්‍යන්තර පරිසරය මැනවින් නිර්මාණය කර තිබිණි. නවුකවේ පළමුවැනි පංතියේ මගීන් 1034 ක්, දෙවැනි පංතියේ 510 ක් සහ තුන්වැනි පංතියේ 1022 ක් සඳහා ඉඩකඩ තිබිණි.
කෙසේ වෙතත් ටයිටැනික් ඛේදවාචකය පිළිබඳව පොත්පත් රැසක් ලියැවී ඇති අතර 1912 සිට 2012 දක්වා නිහඬ යුගයේ චිත‍්‍රපට 2 ක් ද වෘතාන්ත, වාර්තා චිත‍්‍රපට හා රූපවාහිනී නිපැයුම් ගණන 28 කි. මේ ශෝචනීය සිදුවීම පිළිබඳව නැවතත් සමස්ත ලෝකවාසීන්ගේම පුළුල් අවධානය යොමු වූයේ 1997 වසරේදී ජේම්ස් කැමරන් විසින් ”ටයිටැනික්” චිත‍්‍රපටය නිපදවනු ලැබ තිරගත කිරීමෙන් පසුවය.
අමෙරිකානු ඩොලර් මිලියන 200 ක් වැය කොට නිෂ්පාදනය කළ ටයිටැනික් චිත්‍රපටය ලොව පුරා ප‍්‍රදර්ශනය කර ඉපැයූ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1.8 කි. එතෙක් චිත‍්‍රපට ප‍්‍රදර්ශන ඉතිහාසයේ අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවූ ආදායම් වාර්තාවක් තැබූ පළමු චිත‍්‍රපටය මෙය වන අතර නූතන තරුණ කොටස් අතර ටයිටැනික් උන්මාදයක් ඇති කළ මෙම චිත‍්‍රපටය වසරේ හොඳම චිත‍්‍රපටය, හොඳම අධ්‍යක්‍ෂණය ඇතුලූ ඇකඩමි සම්මාන 11 ක් දිනාගනු ලැබිය.
1985 දී නැවතත් සොයාගන්නා තෙක් , අඩි 12415 ගැඹුරු මුහුදු පත්ලේ තැන්පත්වූ නෞකවෙහි නෂ්ටාවශේෂ අනුක්‍රමයෙන් කැඩීබිඳියමින් පැවතුන අතර 1985 සිට ගොඩ ගත් දහස් ගණනක් වූ කොටස් මේවන විට ලොව පුරා කෞතුකාගාර වල ප්‍රදර්ශණය වෙමින් පවතී.



