කොළඹ LNW:ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුණු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ශිරාන් බාසික්” නමැත්තා අද (14) රාත්‍රියේ දිවයිනට රැගෙන ආවේය.
ඔහු සමග තවත් පාතාල කල්ලි සාමාජිකයින් බවට සැකකෙරෙන දෙදෙනෙකුද රැගෙනවිත් තිබෙන අතර අද රාත්‍රී 08:48ට Air Arabia ගුවන් සේවයේ 3.එල්.- 708 දරන ගුවන් යානයෙන් අබුඩාබි නුවර සිට සැකකරුවන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ.
මෙරටට මත්ද්‍රව්‍ය සැපයුම සිදුකරන මහා පරිමාණ ජාවාරම්කරුවෙක් වන ශිරාන් බාසික් නැමැත්තා ඩුබායි රටට පලා ගොස් ඇත්තේ 2018 වසරේදී වන අතර අනතුරුව ඔහු එරට ධන කුවේරයෙක් ලෙස සැඟවී කටයුතු කර ඇත.
ජාත්‍යන්තර පොලීසිය විසින් නිකුත් කරන ලද රතු වරෙන්තුවකට අනුව ඔහුව පසුගිය මැයි 26 වැනි දින ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සැකකරුවන් පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන යාමට නියමිත අතර ඒ වෙනුවෙන් දැඩි ආරක්ෂක විධිවිධාන යොදවා ඇතැයි සඳහන්.
දෙහිවල, කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති ඔහු 48 හැවිරිදි වියේ පසුවන්නෙකි.
ශිරාන් බාසික් ඉරානය මත්ද්‍රව්‍ය ජාලය සමග ඍජු සබඳතා පැවැතීම හේතුවෙන් ඔහු අමෙරිකාවට පවා අවශ්‍යව සිටින තැනැත්තෙකු බව ද වාර්තා වේ.


