රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW :
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ DNA පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීම සඳහා නවීන උපකරණ කිහිපයක් එම දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.
ශ්‍රී ලංකාවේ UNDP නේවාසික නියෝජිත අසුසා කුබෝටා (Azusa Kubota) විසින් රජයේ රස පරීක්ෂක කමනි පෙරේරා වෙත මෙම උපකරණ භාර දුන් බව අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
මෙම උපකරණ සඳහා මූල්‍ය ආධාර කැනඩා රජය විසින් සපයන ලදී. මෙම පරිත්‍යාගයට RT-PCR යන්ත්‍රයක්, PCR පද්ධතියක්, අපරාධ ස්ථානවල සහ රසායනාගාරවල සාක්ෂි සෙවීම සඳහා භාවිතා කරන ‘Crime-Lite’ නම් අති නවීන විශේෂිත ආලෝක ප්‍රභව පද්ධතියක් සහ රුධිරය හා අනෙකුත් ශරීර තරල පරීක්ෂා කිරීම සඳහා අධිකරණ වෛද්‍ය විද්‍යාවේදී භාවිතා කරන සෙරොලොජිකල් (serological) උපකරණ ඇතුළත් වේ.
උපකරණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව, නිල වශයෙන් භාර දීම තහවුරු කරන ගිවිසුම්වලට රජයේ රස පරීක්ෂක කමනි පෙරේරා සහ UNDP නේවාසික නියෝජිත අසුසා කුබෝටා අත්සන් තැබූ බව අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කළේය.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර ද මෙම අවස්ථාවට සහභාගී විය.
උත්සවයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍යවලට අදාළ අධිකරණ වෛද්‍ය වාර්තා මාස තුනක් ඇතුළත නිකුත් කිරීමට දැනටමත් පියවර ගෙන ඇති බවයි.
අතීතයේදී ප්‍රධාන ගැටලුවක්ව පැවති අධිකරණ වෛද්‍ය වාර්තා නිකුත් කිරීමේ දැඩි ප්‍රමාදයට විසඳුමක් ලෙස, දෙපාර්තමේන්තුවේ පැවති පුරප්පාඩු 118න් 70ක්ම මේ වන විට පුරවා ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



