සරච්චන්ද්‍රගෙ එළිමහන් රඟහලේ කළුවර පිරෙනවා
එදා ගල්ලෙන බින්ද සද්දේ තාම ඉඳහිට ඇහෙනවා
නින්ද ගිය රොබරෝසියා ගස් හීතලට හිරිවැටෙනවා
සිංහයාගේ සොහොන් කොත නම් මහයියාවේ තියෙනවා
අනේ මන්දා සොහොන අද්දර තාම කේශර වැවෙනවා
ශිලා ලේඛන හිරිවැටෙනකොට පුංචි කුරුමිණි නටනවා
සිංහ ලොම් ටික දිරාපත් වී ඛනිජ පෝෂක හැදෙනවා
උරාගෙන ඒ ලවණ ධාතුව හොඳට තුත්තිරි වැවෙනවා
නින්ද නොගියම හංදි ගානේ බල්ලො නං උඩුබුරනවා
කන්ද උඩරට තුංග කඳුවැටි කොන්ද රිදිලා බලනවා
අන්න එතකොට පත්තිරිප්පුව උඩින් අඩසඳ එබෙනවා
බැන්ද පඬුරක ගැටේ ලිහිලා කාසියක් බිම වැටෙනවා
තුංග හුන්නස්ගිරිය පාමුල වේදනා කැටිගැහෙනවා
කන්ද පාමුල නහර පුපුරා සෛල කනපිට හැරෙනවා
ඉන්ද්‍රචාපය දෙකට නැමුණම කඳුළු එළියට පනිනවා
භංග අංකුර හුස්ම ගන්නට බැරුව වෙව්ලා බලනවා
තම්බපණ්ණී වෙරළ තඹවන් වැල්ල කකියා දැවෙනවා
කුවේණියගේ කෙස් ගහක් උඩ කප්රුකක් ඉකිබිඳිනවා
දන්ත ධාතුව වන්දනාවේ සාදුකාරය ඇහෙනවා
අම්මපල්ලා මොකද මන්දා මගේ පපුවත් රිදෙනවා
පොතේ ගුරුගේ ගැඹුරු කටහඬ රෑට ඉඳහිට ඇහෙනවා
අන්න එතකොට තෘණ පඳුරු යට ගෙම්බො බක බක ගානවා
නින්ද ගිය හන්තාන පාමුල රෑ බදුල්ලන් නිදනවා
කොත්තු රොටියක් ගහන සද්දෙට ඩිමෝ බට්ටෙක් නටනවා
සිංහ සීවලි හොරෙන් ස්පා එකක ඩියුටිය කරනවා
හුඟක් පැන්ෂන් ගිය මහත්තුරු ඇගේ සේවය ගන්නවා
ඇතැම් නිලමේවරුත් ඇවිදින් හෙණ්ඩුවෙන් දිය කපනවා
සිංහබාහුත් නුවර ටවුමේ ෆෝන් කඩයක් කරනවා
නින්ද ගිය නිදිකුම්බ තුරුලේ පින්න ඉහිරී මිදෙනවා
චණ්ඩ මාරුත ආපු ජාමෙට නිම්නයක ළය රිදෙනවා
රංග භූමිය පුරා මව්කිරි සුවඳ තාමත් ගලනවා
සිංහයාගේ සොහොන් කොත නම් මහයියාවේ තියෙනවා
කොන්ද කකියන සිංහබාහුගෙ වේදනා ගොජ දමනවා
සිංහයාගේ වියොව සිහිවී බඩ පපුව ගිනි ගන්නවා
බින්දෙ මොකටද එදා ලෙන්දොර කියා හදවත හඬනවා
ඉන්න හැංගී ගල්ගුහාවක් ගූගලෙන් අද සොයනවා
~ කුමාර හෙට්ටිආරච්චි


