නැගිට්ටා ….. – රුවන් බන්දුජීව

මල් නටුව අල්ලගෙන මලේ පෙති නැගිට්ටා
මලේ පෙති අල්ලගෙන මල් රේණු නැගිට්ටා

විවිධ වූ පාන්තික සමනල්ලු නැගිට්ටා
ගිනි ගලින් ගල ගැටී ගෑස් ලිප් නැගිට්ටා

ලුනු දියෙන් ඇනි ඇනී පාන් පිටි නැගිට්ටා
උනුන් මත වැටී හුන් පාන් තැටි නැගිට්ටා

ටාර්සන් තවම නිදි
එඩ්ගර් රයිස් බරෝස් සමගින්
නොවිසඳුණු අභිරහස් පේළියට නැගිට්ටා

දිගින් දිගටම වීර ක්‍රියා කළ හෙයින්
ටින් ටින්ට මහන්සියි
ටින් ටින් තවම නිදි
ස්නෝවි නැගිට්ටා

සකලවිධ තුර්ය වාදක කණ්ඩායම් නැගිට්ටා
දේශාභිමානී ගීත
හොය හොයා ඇවිද්දා

බාලදක්ෂ රෑන් පිටින් ජම්බෝරිය නැගිට්ටා
දෙපට කොස්පට්ටා ගැටය
වටයක් පැටලැ වූ වළලු දෙකේ ගැටය
ගිනි නිවන්නාගේ පුටු ගැටය වැනි
ගැට වර්ග නැගිට්ටා

සකලයන් අඹන්නා නැගිට්ටා
ඔහුගේ ඝෝෂා නාදයට බිය වී
‘ගොයමෙහි වැද හුන්
වී කුරුලු පොදියක් ලිහී
ආකාසයේ විහිදී
ඒ යායෙම තව තැනකින්
යළිත් ගොයමට වදින’ දර්ශනය නැගිට්ටා

වනජීවී නාලිකා සමග ඇති කරගත්
අවබෝධතා ගිවිසුම් ප්‍රකාරව
චීටා සහ ඇන්ටිලෝපයා නැගිට්ටා

ආහාර දාමයක අගට වී
එකම ගහේ අතු දෙහෙක වසා සිටි
‘ ඊ ‘ වලින් උන්නු ඊගල් හා
‘උ’ යන්නෙන් හුන් උකුස්සා
” ක්‍රෑස් ” ගාගෙන නැගිට්ටා
නගර අයිනේ පිහිටි
ආර්ථික විද්‍යා පන්ති පෙළ නැගිට්ටා

එකී ආර්ථික විද්‍යා පන්තිවලට එපිටින්
අර්ථ ක්‍රමය
වරින්වර තම මෛථුන්‍ය ඉරියව්ව වෙනස් කර
පුරවැසියන්ට යන්න දෙන විට දෙපිටින්,
දෛනිකව පාසල් විවාද කණ්ඩායම් අතින්
බිඳ වැටෙන්නට නියමිත
තර්ක ටික නැගිට්ටා

යන්ත්‍රානුසාරයෙන් උඩ පැන
ජයග්‍රාහකයන් තෝරා විඩාපත් වුණ
ඉලක්කම් හා ඉංග්‍රීසි අක්ෂර පැලඳි
පිංපොං බෝල වගයක්
‘නයිට්’ එක ඇද දමා
යන්ත්‍රයේ මුවවිටින් නැගිට්ටා …!

~ රුවන් බන්දුජීව

RN