*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

NPP මාතර දිස්ත්‍රික් කාන්තා සමුළුව ඇමතූ NPP කාන්තාවෝ!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 01 කොළඹ (LNW): මාතර දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, අයිතීන් උදෙසා කාන්තා සංවිධානයේ සභාපති සරෝජා පෝල්රාජ් මහත්මිය කියා සිටියේ, මුහුදු සුනාමි අනතුරු ඇඟවිමකින් වත් නවතන්න බැරි වූ ජාතික ජන බලවේගයේ ජන සුනාමිය දැන් ආරම්භ වී ඇති බවයි. මෙහිදී ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, අයිතීන් උදෙසා කාන්තා සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියද තම අදහස් මත ප්‍රකාශ කළාය.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, අයිතීන් උදෙසා කාන්තා සංවිධානයේ සභාපති සරෝජා පෝල්රාජ් ,

” මුහුදු සුනාමි අනතුරු ඇඟවිමකින් වත් නවතන්න බැරි වූ ජාතික ජන බලවේගයේ ජන සුනාමිය තමයි මේ ඉන්නේ. මේ රටේ බලය ඉල්ලපු සහ බලය අල්ලපු දේශපාලන පක්ෂ මේ රටේ කාන්තාවන්ව කතිර ගහන යන්ත්‍ර බවට පත් කළා පමණයි. පුරවැසි හිමිකම්, මානව අයිතිවාසිකම් අහිමිකර මිනිසුන්ව පාගා දමමින් මර්දනය කරමින් තිබෙනවා. ඉතාමත් ඛේදනීය ආර්ථික වටපිටාවක සමාජ හා සංස්කෘතික ජීවිතය අහිමි කළ මෑනිවරු, සහෝදරියෝ, දූවරු, වෘත්තීය ජීවිත ඇතුලේ ජීවිතයේ වටිනාකම් සියල්ල බිලිදෙමින් දැඩි වේදනාවකින් ගතකරන කාලයක් මේක. ඒ නිසා ජාතික ජන බලවේගය හැටියට අපි 52%ක් වූ රටේ කාන්තා බලය, 56%ක් වූ ඡන්ද දායක බලය නියෝජනය කරන කාන්තාවන්ගේ බලය ආර්ථික සූරාකෑමට හා සමාජ සංස්කෘතික ගිල ගැනීමට එරෙහිව තර්ජනාංගුලියක් බවට පත්කරන්න තීරණය කළා. මේ දුර්දාන්ත පාලනයට එරෙහිව, කොල්ලකාරී ආර්ථික ක්‍රමයට සහ දූෂිත දේශපාලන සංස්කෘතියට එරෙහිව කුළුගෙඩි පහර එල්ල කරන්න ගැහැනු අපි එක මිටට මාලිමාවට එකතුවී සිටින බව ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා.

මාතර ග්‍රාම සේවා වසම් 650ටම කාන්තා සමිතියක් මාස දෙකක් වැනි කාලසීමාවක් තුළ පිහිටුවා හැකියාවෙන් පිරුණු කාන්තාවන්, අලුත් සංවිධායිකාවන්, ධෛර්යමත් ගැහැනුන් ගම්දනව්වලදී අපට හමුවුණා. නිවෙස්වල මුළු ගැන්වී සිටි අපේ කාන්තා විභවය සමාජ ශ්‍රමය බවට පත්කරන්න හැකිවීම අපේ විශාලතම ජයග්‍රහණය බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ රට ගොඩනැගීමේ සමාජ, ආර්ථික, සංස්කෘතික වැඩපිළිවෙළට නිසි දැක්මක් සහ නායකත්වයක් ඔස්සේ පෙරමුණ ගන්න සියලුම කාන්තාවන් සූදානම් බව මේ මාතර සමුළුවේදී තහවුරුකර තිබෙනවා”

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, අයිතීන් උදෙසා කාන්තා සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ,

“අරගල නොකරන්නන් තමන් බැඳි යදම් නොදකී” කියලා රෝසා ලක්සම්බර්ග් සහෝදරිය මෙසේ තිබෙනවා. සාම්ප්‍රදායික දේශපාලනය තුළ මෙපමණ කල් ගැහැනු අපට අරගල කරන්න ඉගැන්නුවේ නිවෙස් ඇතුලේ සහ කුස්සිය ඇතුලේ. අපේ පුංචි පැටව් තුරුල් කරගෙන නොකා නොබී අපි ඒ අරගලය කුස්සියේ සහ තමන්ගේ ගේ ඇතුලේ කළා. ජාතික ජන බලවේගයේ සහෝදරියන් ගෙයක් ගානේ ගිහින් කුස්සිය ඇතුලේ අරගලය පාරට ගෙනත් දේශපාලන අර්ථයක් දීලා ගැහැනියට නිදහස් ලෝකයක් ගොඩනගන්න සූදානම කියන පණිවිඩය ඉතා ඉහළින් ලබාදී තිබෙනවා.

ප්‍රභූ දේශපාලනයේ සිටි අය එදා කීවේ ගැහැනුන්ට ඡන්ද අයිතිය දෙන්න එපා කියලා. නමුත් 1931 සිට ඡන්ද අයිතිය අපි පාවිච්චි කළත් අපේ දරුවන්ට නිසි ලෝකයක් ගොඩනඟන්න අපිට බැරිවුණා. නිදහස, ආදරය, මනුස්සකම තිබෙන ලෝකයක් ගොඩනගන්න අපට බැරිවුණා. නමුත් අද වෙනකොට ඡන්ද අයිතියට දේශපාලන වටිනාකමක් දී කුස්සියට සිරකර සිටි නිර්මාණශීලී, ධෛර්යවන්ත, දේශපාලන ගැහැනිය එළියට ඇවිත් මුළු රටම අවදිකරන පණිවිඩය අද මාතරින ගත්තා. එයට මේ රටේ සාම්ප්‍රදායික දේශපාලනඥයෝ බයවී සිටිනවා. ඔවුන් බයවිය යුතුයි තමයි. ඉදිරියේ එන ඕනෑම මැතිවරණයකදී එකට අත්වැල් බැඳගෙන සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ එකට තබා පරාද කොට අපේ ලෝකය දිනාගන්න අපි සූදානම්. එය කළ හැකි වන්නේ නිෂ්පාදනයට මුල්තැන දෙන ජාතික ආර්ථිකයක් ගොඩනැගීමෙන් පමණයි. අවශ්‍ය වෙනස දේශපාලනිකව අවබෝධ කරගෙන එයට නායකත්වය දෙන්න කිසිම සුනාමියකට ගහගෙන යන්න බැරි යෝධ පවුරක් ගොඩනඟා ඒ පවුරෙන් අපි මේ රට වෙනස් කරමු.


සමාජවාදී තරුණ සංගමයේ මාතර දිස්ත්‍රික් කමිටු සාමාජිකා මල්ෂා අමාෂා


තරුණ තරුණියන් කියන්නේ ඉතාමත් උද්යෝගයෙන් ජීවිතය ගත කරන්න කැමති පිරිසක්. ඔවුන් ලස්සට අඳින්න, ඇවිදින්න යන්න, ආසා වුණත්, අවම ආශාවන් පවා හීනයක් වෙලා තිබෙන්නේ. උගත් නුගත්, වයස් භේදයකින් තොරව, සියලු දෙනාම ඉන්නේ අර්බුදයක. සිහින අත්හැරදමා අද දවසේ පමණක් ජීවත් වෙනවා කියන ඉතාමත ඛේදජනක සිතුවිල්ලක ඉන්නේ. මීට හේතුව හැටියට දකින්නේ වසර 75ක් පුරා අපේ වැඩිහිටි පරම්පරාව පාලකයින් හා ආණ්ඩු පත්කරගෙන තිබුණත්, තරුණ පරම්පරාව වෙනුවෙන් ඉදිරි ගමනක් නිර්මාණය කළේ නැහැ. වෙන රටවල තරුණයන් හඳට යන්න සිහින දකිද්දී, අපේ රටේ තරුණයන් ගෙයක් හදා ගන්න හෝ වාහනයක් ගන්න හීන දැක්කා. ඒ හීන පවා අත්හැර දමන්න දැන් සිදුවෙලා. වැඩිහිටියන් වෙත තරුණයන්ගෙන් එල්ලවී තිබෙන චෝදනා බොරු බවට පත්කරන්න අපේ මව්වරු සහ පියවරු රොද බැඳගෙන ඉන්නවා. ඒ ඔබ සියලු දෙනාට ඉතා ආදරයෙන් ස්තුති කරනවා. තරුණයන් ලෙස අපි සියලු දෙනා ඔබත් සමග එක්වී මේ රට වෙනස් කරන බව ප්‍රකාශ කරනවා”

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය,

” අද අපි එකතුවී සිටින 2023 දෙසැම්බර් 30 දිනය අමතක කරන්න එපා. අද අපි ලකුණු කරන මේ දිනය ලාංකික ඉතිහාසයේ පමණක් නොවෙයි, ගෝලීයව පවා ස්ත්‍රී දේශපාලනයේ හැරවුම් දිනයක් වෙන බව මම තදින් විශ්වාස කරනවා. මේ දිනය ඔබේ හදවතේ තියාගන්න. 2024දී අපේ රට පරිවර්තනය කරන පෙරළිකාර යුගයේ පළමු වෙඩි මුරය මාතර දිස්ත්‍රික්කයේ කාන්තා සමුළුවෙන් අපි ආරම්භ කර තිබෙනවා. අපි මේ ගමන ජයග්‍රහණයෙන් තොරව නතර කරන්නේ නැහැ. අපේ ඉතිහාසයේ සෑම තීරණාත්මක මොහොතකදීම ගැහැනුන් එළියට බැහැලා තිබෙනවා. මෑත ඉතිහාසයේ වුණත් නිර්භීත, එඩිතර ශක්තිමත් ගැහැණුන් එළියට බැස්ස නිසයි සමාජ පෙරළිවල ආරම්භය ඇතිවී තිබෙන්නේ. අසූ ගණන්වල භීෂණයට එරෙහිව මනෝරානී සරවණමුත්තු වැනි අම්මාවරුන්, කුමාරි ජයවර්ධන, සුනිලා අබේසේකර, උතුරේ රාජනී තිරානගම වැනි ශ්‍රේෂ්ඨ නායිකාවන් හමුවෙනවා. අපිට මතක තිබෙන ප්‍රසිද්ධ ඒ නම්වලට අමතරව මේ රටේ ගැහැනුන් දහස් ගණනක් තම ජීවිත පුදකර තිබෙනවා. ගැහැනුන් මේ රට ගොඩනගන්න තමන්ගේ ශ්‍රමය දී තිබෙනවා. නමුත් ඔවුන් ගැන ඉතිහාසය ලිීවේ අපි නොවෙයි. 2024 ඇති කරන පෙරළිය තුළින් අපේ ඉතිහාසය අපි ලියන්න ඕනෑ. ඉතිහාසය ලිවීමේ බලය අපි අතට ගත යුතුයි. අපි මේ ආරම්භ කර තිබෙන්නේ එම තීරණාත්මක ගමනයි.

අපි මේ ගත කරන්නේ තවත් එක් දේශපාලන මොහොතක් නොවෙයි. සමාජ පෙරළියක් කරන්න යන මොහොතක්. මෙතෙක් කල් ඡන්දදායකයින් හැටියට පාවිච්චි කළ ගැහැනුන් මේ සමාජය වෙනුවෙන් විශාල දායකත්වයක් දරා තිබෙනවා. ශ්‍රී ලාංකික ගැහැනිය මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න වැඩිම පංගුව දරා තිබෙනවා. අපේ රටට ඩොලර් උපයන ප්‍රධානම මාර්ගවල වැඩිම පංගුව දරන්නේ කාන්තාවන්. ගැහැනුන් අමාරුවෙන් හම්බකළඩොලර් පාලකයන් නාස්තිකාරී ලෙස විනාශ කළා. ආර්ථිකයට අමතරව ගෘහය තුළ ඇය ඉටුකරන කාර්යභාරයෙන් තමයි මානව සම්පත රැකෙන්නේ. අම්මාගේ කාර්යභාරය කියන්නේ ඒ මානව සම්පතට ලබාදෙන ගොඩනැගීම සහ රැකබලා ගැනීමයි. ඒ ගැහැනියට මේ රටේ පාලකයන් දී තිබෙන ගෞරවය මොකක්ද? ගෙදර ඉන්නත් බැරි අනාරක්ෂිත තත්වයට පත්කර තිබෙන්නේ. මැතිවරණ කාලයේදී පොරොන්දු දී රවටා ගත හැකි පිරිසක් ලෙසයි, ගැහැනුන්ව හඳුනාගෙන තිබෙන්නේ. මේ සමාජයට ලබාදී තිබෙන දායකත්වය සහ කැපවීම වෙනුවෙන් ගෞරවයවත් මේ පාලකයින් ලබාදී නැහැ. ජාතික ජන බලවේගය මේ ගමන පටන් ගත්තේ ඒ තත්වය වෙනස් කරන්නයි. අපට ඔබේ ඡන්දය පමණක් නොවෙයි, ඔබේ නායකත්වය, සමාජ පෙරළියේ කොටස්කාරියක් බවට පත්වීම, සමාජ පෙරළියේ අයිතිකාරියන් බවට පත්වීම, ඔබට අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කර ගැනීම, සහ තීන්දු තීරණ ගැනීමේදී දායකවීමේ අවස්ථාව ලබාදීම යන සියල්ල තුළින් රටේ නායකත්වයත් අපට අවශ්‍යයි.

මේ වන විට අපට මැතිවරණ නොවෙයි අභියෝගය, අපි මැතිවරණ දිනලා ඉවරයි. අපට තිබෙන අභියෝගය මැතිවරණ දිනලා අපි හදන පාලනය තුළ මොනවගේ පරිවර්තනයක් ද කරන්නේ? කියන අභියෝගයට මුහුණ දෙන්නයි, අපි ඔබ සියලු දෙනා එකතු කරන්නේ. ඒ පාලනයේ ශක්තිමත් කොටස්කරුවන් ඔබයි. මෙපමණ කල් වැඩ තුළ හිරකර අපේ සමාජමය කාර්යය අසුරාදමා තිබුණා. නමුත් ජාතික ජන බලවේගයේ සියලු දෙනා ක්‍රියාකරන්නේ ඒ වෙනුවෙන්.

අවුරුදු තුනකට ඉස්සර ජාතික ජන බලවේගයට ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාදුන්නේ පෞද්ගලිකවම මට නොවෙයි. අපේ රටේ ගැහැනුන්නටයි. මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය දෙන්න සුදුසු පිරිමි ඕනෑ තරම් මේ ව්‍යාපාරය තුළ ඉන්නවා. නමුත් මම වැනි කිසිම දේශපාලන අත්දැකීමක් නැති කෙනෙකු තේරුවේ මේ රටේ ගැහැනුන්ට දුන්න තැන සහ පිළිගැනීම ගැන කියන්නයි. අමාරුම අවස්ථාවකයි මේ දේ කළේ. 3%ට වට්ටවා කිසිම පිළිගැනීමක් නොතිබුණු දේශපාලන මොහොතක අපිට ලැබුණු අවස්ථාව තුළින් මේ දේශපාලන වේදිකාව මොකක්දැයි මනාව පැහැදිලි වෙනවා. මට ඒ ශක්තිය ලැබුණේ මගේ පිටුපසින් සිටි සමන්මලී සහෝදරිය ඇතුළු සහෝදරියන් නිසයි. කිසිම දේශපාලන අත්දැකීමක් නැති මට මන්ත්‍රී ධුරය බාරගෙන ඔබව නියෝජනය කරන්න හැකියාව ලැබුණේ නම් ගම් කිව නොහැකි අසීමිත සහෝදරියන් නිසයි. ආණ්ඩුව පැනලා ගිය පළාත් පාලන මැතිවරණයට නායිකාවන් හැටියට පත්කර ගන්න විශාල කාන්තාවන් පිරිසක් මේ ව්‍යාපාරය තුළ සිටියා. එහි ප්‍රතිඵල තමයි අද මෙතනදී පෙන්න තිබෙන්නේ. සෑම දිස්ත්‍රික්කයක් තුළම මේ ආකාරයෙන් ගැහැනු බලය ගොඩනඟන්න අපිට පුළුවන්. ගැහැනු අපට ආදරය කරන්න පුළුවන්. මෙතන ආදරයෙන් පිරිලා. ආදරය වෙනුවෙන් ඕනෑම දෙයක් කැපකරන්න ගැහැනුන්ට පුළුවන්. අපේ පවුලට, ළඟම අයට මෙපමණ කල් සීමාකර තිබුණු ඒ ආදරය මුළු මහත් සමාජය වෙනුවෙන්ම කැපකළ යුතු ඓතිහාසික මොහොතක් මේක. ස්ත්‍රී දේශපාලනය තුළින්, මේ සමාජයට අවශ්‍ය ආදරය, සුවපත් කිරීම, රැකබලා ගැනීම සහ වෙනස් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම වෙනුවෙන් අපි සියලු දෙනා කැපවෙමු. මේ ආරම්භ කළ ගමන ජයග්‍රහණයෙන් තොරව නතර කරන්නේ නැහැ කියන අධිෂ්ඨානය ඇති කර ගනිමු”ලෙස පවසා සිටියාය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan