*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

අරාජික රටක බලශක්තිය අපම සපයා ගනිමු

ගෑස් සිලින්ඩරයක් ගන්න,… භූමිතෙල් ටිකක් හොයාගන්න,… ළමුන් කරුවලේ නොතියා ඔවුන්ට ඉගෙන ගන්නට ආලෝකයක් සපයා දෙන්න,… නොනවතින ධාවන තරඟයකට අපි මේ කාලේ එකතු වී සිටිනවා. එහෙත් මේ සඳහා වෙන විකල්ප ක්‍රම ඇති බව බොහෝ අය දන්නේ නැහැ

මේ ලිපිය ඉතාම සාමාන්‍ය අයට පමණි. හුදෙක් නිවසේ විදුලි අවශ්‍යතාවය පහන් දෙක තුනක් අවශ්‍ය අයට පමණි. මක්නිසාදයත් ඒ වැඩියෙන්ම දුක් විඳින අයට ඇත්තේ උපරිමයෙන් සාලයට, කාමරයකට සහ කුස්සියට ලයිට් පමණි. අද විදුලි අරගලයේදී මධ්‍යම පාන්තික අය වුවද දල්වන්නේ කුඩා විදුලි බල්බ ප්‍රමාණයකි. සමහරවිට ඊට හේතුව යම් මුදලක් ඉතිරි කරන්නට විදුලිය අරපරිස්සමෙන් භාවිතා කිරීම වන්නට හැක.

ඒ විදුලි බල්බ කීපයේ එළියත් දිනකට දෙවතාවක් පැය ගණනක් විසන්ධි වන විට, ඇත්තටම ඉන් ඇති ප්‍රයෝජනය කුමක්ද ? මුදලුත් ගෙවා මණ්ඩලයෙන් එසේ ලැබෙන ප්‍රතිලාභයේ වටිනාකම කුමක්ද ? …. “ඕක ලමේකුට දීපිය”… හෝ “අකුලෝලම පල !.. හෝ …තොපි කුඩු ගහලද ?…. කියා අසමින් ඒ “අම්මා” අද කොහේ හෝ සිටිනවා ඇත. මේ කතාව කලකට පෙර ලැව් ගින්නක් මෙන් රටවටා ගියා ඔබට මතක ඇත.

අනෙක් අතට කියන්න ඇත්තේ, ලංකාවේ වර්තමානයේ ඇති වී තිබෙන බල ශක්ති අරගලය ගැන චෝදනා කිරීම, දුක් වීම, තම කටයුතු අතපසු කර ගැනීම වැනි දෑ හුදෙක් කාලය අපතේ යන දේ පමණි. ඒ ගැන සිතිය යුත්තේ,…”රොබින්සන් කෲසෝ” මෙන් පාළු දූපතක සිරවුනහොත්, කුමක් කරන්නේද යන්නය.

එහෙත් එය අරාජික විය. ඔහුගේ දූපතේ රජයක් නොතිබිණ. විදුලි බල මණ්ඩලයක් නොතිබිණ. රජයක් නැති නිසා රට අරාජික විය. එහෙත් ඔහු ජීවත් විය. ඔහු අනෙක් අතට මාර ෆන් එකක් ගත් තැනක් විය. අප සිතිය යුත්තේද, කෲසෝ සිතූ ආකාරයටය. දමා ඇති පින්තුරයේ අයුරෙන් ඉතාම දුගී දුප්පත් අප්‍රිකාවේ මෙය කෙරෙන්නේ නම්, අපට එය කල නොහැක්කේ මන්ද ? ඒ නිවාස වල මගේ මිතුරන් සිටී. ඔවුන් සතුටෙනි. ඉතාම සතුටෙනි. සරල මිනිසුන් කොහොමත් සතුටෙන් සිටී.

නමුත් ඒ තත්වයට එකවරම අනුගත නොහැකි ,… උදාහරණයක් සේ රෝගී කෙනෙක් සහ කුඩා දරුවෙක් සිටින දුගී පව්ලක් සිටින නිවසක අඩුම වශයෙන් රාත්‍රී ආලෝකය පැය කීපයක් නොමැති වුවහොත් තත්වය කුමක් වේද? මෙන්න මේ තත්වය සෑහෙන දුරකට වලක්වා ලීම සඳහා, මේ වන විට ඉතා කුඩා සහ සරළ විදුළි ඇටවුම් පණහක් පමණ නොමිලයේ තනා දුන්නෙමි. ඒවා කොපි කර තම තමන්ට ඒ ඇටවුම් තනාගත් අය එමෙන් කීප ගුණයකි.

මෙම ලිපිය ලියන්න හේතුව ඒ මා කල කී දේ පෙන්වීමට නොව, අවශ්‍ය කෙනෙක්ට එය කර ගැනීම ක්‍රමය පෙන්වා දීමය. මේ සඳහා, “නිවැරදිව බිත්තියකට ඇණයක් ගැසීම” සහ “බැටරියක ධන සෘණ දැන ගැනීම” හැර කිසිම ආකාරයේ කාර්මික අවබෝධයක් අනවශ්‍ය වේ.

කියන්න යන ඇටවුම නිසා අනතුරක් සිදුවීමට ඇති ඉඩ කඩ ඉතාම අවම වේ. මක්නිසාදයත් මෙහි භාවිතා වන වෝල්ටීයතාවය හුදෙක් කාර් බැටරියක, කුඩා සූර්ය පැනලයක ඇති වෝල්ට් 12-20 ක් පමණක් හෙයිණි. ඒ කුඩා වොල්ටීයතාවයෙන් මිනිසුන් සාමාන්‍ය තත්ත්ව යටතේ මිය යන්නේ නැත. කියන දේ එසේ පිළිගෙන මෙය කරන්නට ගොස් වුවද, කිසියම් සාධාරණ හේතුවක් නිසා අනතුරක් වුවහොත්, ඒ සඳහා කියන ඕනෑම ගාණක වන්දියක් ගෙවමි. එහෙත් ඒ සඳහා ඔබේ ගැටලුව මෙතන ඇසිය යුතුය.

ඒ කතාව කිව්වේ, සමහර නොදන්නා අය විදුලි පන්දමට දමන බැටරි වලටත් බිය හෙයිණි. කුඩා දැනුමක් ජීවිතයට එකතු කරගන්නේ නම් ඉන් ලැබෙන පලය අපමණය.

කරන ක්‍රමය:-

මේ සඳහා “චාර්ජ් කොන්ට්‍රෝලර් එකක්, [Solar Charge controller, මේවා කොළඹ පලවන හරස් වීදිය වැනි තැනකින් මිලට ගත හැක. ලෙහෙසිම ක්‍රමය වන්නේ, “ඩරාස් ඔන් ලයින්”, “අලි එක්ස්ප්රෙස්” වැනි තැනකින්, “ඔන් ලයින් ඕර්ඩර් කිරීම” වේ. එය එවිට වඩා ලාභයට මිළදී ගත හැක. වේ.], ඇති තරම් වයර්, [වෙළඳ පොළේ ඇති ලාභම වයර් හෝ පැරණි භාවිතා කල වයර් සෑහේ. මිළ වැඩි මේන්ස් වයර් අනවශ්‍ය වේ. ], සවි කරන්නට බලාපොරොත්තු වන බල්බ ප්‍රමාණයට අවශ්‍ය ස්විච් කීපයක්, [ස්විච් ඩබල් ගෑන්, ත්‍රී ගෑන්,… සේ හැඳින් වේ. එනම් උදාහරණයකට “ෆයිව් ගෑන්” යනු එක ස්විච් පූවරුවක ස්විච් පහක් තිබීමය. එනම් ඉන් බල්බ පහක් ක්‍රියාත්මක කල හැක.]

බල ශක්තිය ලබා ගැනීම සඳහා වොට්ස් 50- 70- 100 වැනි සූර්ය පැනලයක් සොයා ගන්න. මේවා එක් එක් මිළ ගණන් වලට ගත හැක. ආරම්භය සඳහා වොට් 25 වුවද කම් නැත. ගණන් නම් දිනපතා වෙනස් වන නිසා ඒ ගැන කුමක්වත් කිව නොහැක. ලාභම එකක් රුපියල් අට දාහක් පමණ වේ යයි සිතමි. පැරණි සූර්ය පැනලද ගැනීමට හැකිය. එහි ධන සහ සෘණ අග්‍ර නිරීක්‍ෂණය කරන්න. ඒ අනුව ඒ අග්‍ර, “නිවැරදිව” “චාර්ජ් කොන්ට්‍රෝලයට” සම්බන්ද කරන්න.

ඊළඟට අවශ්‍ය වන්නේ බැටරියයි. ඒ සඳහා බැටරි කඩේක පිහිට ලැබිය යුතුය. වාහනයක් පණ ගැන්වීමට පමණක් නොහැකි, භාවිතා කල බැටරියක් අඩු ගානකට ගන්නට ලැබේ නම් ඔබ වාසනාවන්තයෙකි. සාමාන්‍යයෙන් පාවිච්චි කල කුඩා කාර් බැටරියක් රුපියල් 1000 – 2000 කට පමණ මිලකට ගත හැක. ඒවායේ මිළ ද වෙනස් විය හැක. බැටරියේ ධන සහ සෘණ අග්‍රද නිරීක්‍ෂණය කරන්න.

බැටරි අග්‍ර පින්තුරයේ පරිදි “චාර්ජ් කොන්ට්‍රෝලයට”, “නිවැරදිව” සම්බන්ද කරන්න. වඩාත් සුදුසු ක්‍රමය වන්නේ “ෆියුස්” එකක් හරහා එම බැටරිය චාර්ජ් කොන්ට්‍රෝලයට සවි කිරීමයි. [මේ ෆියුස් එකක් සහිත ඇටවුම ඔබට මෝටර් සයිකල් කඩයකින් මිලට ගත හැක. “හොණ්ඩා සී 90” බයිසිකලයට එන බැටරියේ ෆියුස් එක ඇති බටය සහ, දෙපස ඇති වයර් දෙක හොඳ විසඳුමකි. කොහේ හෝ පරිපථයේ ධන සෘණ එකට ගැටුණු හොත්, ෆියුස් එක පමණක් පිච්චී යනු ඇත. මෙය බලන කෙනෙක්ට කිසිම ආකාරයේ දැනුමක් නැති නම්, කාර්මිකයෙක් ගේ පිහිට ලබා ගත්තද වරදක් නැත.

සූර්ය පැනලයට සහ බල්බ වලටද ෆියුස් දැමීම, ඇටවුමේ ආරක්ෂාව තවත් තහවුරු කරයි.

ලබා ගත් වයර්, ඒ වයරයේ ප්‍රමාණයට ගැලපෙන “වයරින් ක්ලිප්ස්” වලින් බිත්තියට සවි කර ගන්න. නිවසේ බිත්ති වල ඒවා සවි කරන විට තරමක් කල්පනාවෙන් එය කළහොත්, ඒවා අඩුවෙන්ම පෙනෙන ආකාරයට සවි කර ගත හැක. මේ වයර් නිවසේ ඇති 230 V වයර් සමඟ නොගැටෙන සේ සකස් කිරීම ඉතා වැදගත්ය. මුලින් වයරින් ක්ලිප්ස් වලින් සවිකරගත් වයර්, පසුව මුළු ඇටවුම දෝෂ රහිතව වැඩ කරන බව දැනගත් පසු, එම වයරින් ක්ලිප්ස් ගලවා, වයර් යම් ආකාරයේ ගම් එකකින් බිත්තියට අලවා දැමුවොත් අලංකාරය තවත් තහවුරු වේ.

බල්බ සඳහා එල්. ඊ. ඩී. බල්බ [LED bulbs] ඇති දිග තීරු ගත යුතුය. ඒ තීරු වර්ග දෙකක් ඇත. අපට අවශ්‍ය වන, “එල්. ඊ. ඩී. තීරුව” මෙසේ හඳුනාගත හැක. එනම් එක එක ප්‍රමාණයට, “වෙන් කල හැකි” සහ “නොහැකි” සේ වේ.

අපට අවශ්‍ය වන්නේ, එසේ වෙන් කල හැකි බල්බ තීරු වේ. ඒ තීරුවේ තමාට අවශ්‍ය තරමට බල්බ ප්‍රමාණයට කපා ගත යුතුය. උදාහරණයක් සේ ඔබේ වැසිකිළියට විශාල ආලෝකයක් අනවශ්‍ය වේ. හුදෙක් ඉටිපන්දමක් වැනි ආලෝකයක් පමණක් අවශ්‍ය වේ. ඊට ඉහත කී බල්බ තුනක් පමණ සෑහේ. සමහරවිට එය වැසිකිළියක්ද සහිත නාන කාමරයක් නම්, රැවුල කපා ගන්නා හෝ මේක් අප් දමන කන්නාඩියක් ඇත්නම්, මේ කියන බල්බ හයකින් පමණ ඇතිවන ආලෝකය ප්‍රමාණවත් වේ.

මෙසේ අවශ්‍ය ආකාරයෙන් ආලෝකය පාලනය කිරීමෙන් රාත්‍රී කාලයේ බැටරියෙන් අදින අනවශ්‍ය බලය කළමනාකරණය කල හැක.

සැළකිය යුතු කරුණක්:- සූර්ය පැනලය, බැටරිය මෙන්ම බල්බ වලද ධන සෘණ අග්‍ර ඇත. ඒවා ඒ අයුරෙන් පින්තුරයේ අයුරෙන් “චාර්ජ් කොන්ට්‍රෝලයට” සවි කරන්න. සවි කිරීමට පෙර ඔබ ඒවා නිවැරදිව සවි කරන්නේද යන්න ගැන දෙවතාවක් සිතා බලන්න.

මේ මගින් බල්බ දැල්වීම පමණක් නොව ඔබට USB හරහා ස්මාර්ට් දුරකථනයක් වැනි දෙයක් වුවද ආරෝපණය කරගත හැක. බැටරියේ ධාරිතාවය සහ ගන්නා චාර්ජ් කොන්ට්‍රෝලය අනුව ඒ ඒ අවශ්‍ය, වෝල්ට් 12 න් ක්‍රියාත්මක වන විදුළි උපකරණ ඔබට මෙයට සවි කල හැක. ගන්නා චාර්ජ් කොන්ට්‍රෝලයේ “සේවා පොත” කියවා බැලූ විට ඉන් කල හැකි දෑ ඔබට අවබෝධ වනු ඇත.

මුලින්ම නිවසට ආලෝකය වැඩියෙන්ම අවශ්‍ය තැන් හඳුනාගන්න. පාලක පරීක්ෂණයක් සේ බැටරිය, සූර්ය පැනලය, එක බල්බයක් පමණක් “නිවැරදිව” සවි කර එහි ක්‍රියාකාරීත්වය සහ ආලෝකයේ ප්‍රමාණය ගැන අවබෝධයක් ලබා ගන්න. පින්තුරයේ ආකාරයට ඒවා සවි කරන්න. වඩා සරල ක්‍රමයක් වන්නේ නිවසේ විවිධ ස්ථාන වල සවි කර ඇති බල්බ වලින් එන වයර් එකම ස්ථානයකට ගෙන, එතන ඒ සඳහා ස්විච් සවි කිරීම වේ. එහෙත් මෙහි ඇති එක අඩුපාඩුවක් වන්නේ, ඈත ඇති ලයිට් එකක් දැල්වීම සඳහා ඔබට එම ස්ථානයෙන් ඈත ස්විච් එකක් අසළට ඇවිද ඒමට සිදු වීමය.

උදාහරණයක් සේ නිවසේ ලයිට් නැතිවූ මොහොතක, මුළු තැන් ගේ බල්බය දැල්වීමට සාලයට කරුවලේ ඇවිද යායුතු වනු ඇත. ආරම්භයේදී, එය වුවද කම් නැත. අවශ්‍ය වන්නේ අඳුරෙන් මිදීම වේ. කිසියම් ආකාරයේ ගැටලුවක් තිබේ නම්, මෙතනම අහන්න. ඒත් අවබෝධ වෙන්නේ නැතිනම් අටේ පන්තියේ විද්‍යාව කල ඔබේ පුතාගෙන් හෝ දියණියගෙන් විස්තර විමසන්න.

“කරන ක්‍රමය” ඉවරයි…

දැන් මෙතනින් එහාට නවයේ පන්තියේ විද්‍යාව තවමත් මතක අය පමණක් අවධානය දැක්වීම මැනවි. අනෙක් අය ඉහත කී, “කරන ක්‍රමය” යටතේ ඇති විස්තර කෙලින්ම බලන්න.

සාමාන්‍ය වාහන වලට භාවිතා කරන බැටරියක් සම්පූර්ණයෙන් විසර්ජනය කිරීම හෝ එහි නාමික ධාරිතාවයට වඩා ආරෝපණය කිරීම නිසා, බැටරියේ ආයු කාලය අඩු වේ. උදාහරණයක් සේ, “ඇම්පියර් පැය 40” ක බැටරියක් වඩාත් වැඩි කාලයක් තබා ගත හැක්කේ, ඉන් තුනෙන් එකක් පමණ විසර්ජනය කළහොත් වේ. මෙය ලෙඩ් ඇකියුමුලේටර් වලට වඩාත් සාධාරණ වේ. මතක තබාගත යුතු කරුණක් වන්නේ, බැටරිය වාහනයේ සවි කර ඇති මුළු කාලයෙන් 1% ක් පමණ අඩු කාලයක් එය වාහනය පණ ගැන්වීමට විසර්ජනය වීම බවය.

ක්ෂණයකින් වාහනය පණ ගැන්වුණු පසු දිගටම වන්නේ බැටරිය ආරෝපණය වීමය. එසේ හෙයින් බැටරිය බොහෝ සේ විසර්ජනය කිරීම නිසා එහි ආයු කාලය අඩුවේ.

“චාර්ජ් කොන්ට්‍රෝලයෙන්” කරන්නේ, බැටරිය ඕනෑවට වඩා, “චාර්ජ් වීම” සහ “ඩිස්චාර්ජ් වීම” වැළැක්වීමයි. තවද එහි ඉහලම “කට් ඕෆ් පොයින්ට්” එක සහ “ලෝවර් කට් ඕෆ් පොයින්ට්” එක, සෙට් කල හැක. කඩෙන් ගන්නා විට එය සාමාන්‍යයෙන් ඒ ඒ අවශ්‍ය ප්‍රමාණයට සෙට් කර ඇත. [උදාහරණය:- 13.8 V ,11. 7V] සාමන්‍යයෙන් වැරදියට බැටරිය හෝ සූර්ය පැනලය ඊට සවි කළද, චාර්ජ් කොන්ට්‍රෝලය ක්‍රියා විරහිත වන්නේ නැති වුවද, හැකිතාක් නිවැරදිව වයර් වල ධන සෘණ ආකාරය අනුව ඊට සවි කල යුතු වේ. මක්නිසාදයත්, චාර්ජ් කොන්ට්‍රෝල් වලට වොරන්ටි නැති හෙයිණි.

නමුත් කල්පනාවෙන් සැලසුම් කර මේ ක්‍රමය මගින් ඔබේ නිවස ආලෝකමත් කර ගන්නේ නම් එය, FFP හෙවත්, “Fixed and forget project” එකක් වනු ඇත. බොහෝ කාලයක් එය ඔබට නිහඬ සේවයක් ලබා දෙනු ඇත. අනෙක් කාරණය වන්නේ, මේ කුඩා ව්‍යාපෘතියෙන් ඔබට ලැබෙන දැනුමෙන් තව දුරට ඒ ව්‍යාපෘතිය ව්‍යාප්ත කිරීමට හැකි වීමය. එමගින් බල ශක්තිය වඩාත් අවශ්‍ය නිවසේ ඇති ශීතකරණ හෝ වායු සමීකරණ යන්ත්‍ර ද ක්‍රියාත්මක කිරීමට ඔබට හැකි වනු ඇත. සමහරවිට කෙනෙක්ට මේ ක්‍රමය තවත් කෙනෙක්ට කරදී, යම් මුදලක් වුවද සොයා ගත හැකි වනු ඇත.

දැන් චුට්ටක් දැනගෙන නිවස ඒකාලෝක කරගෙන, අල්ලපු ගෙදර ඉන්න එකා කරුවලේ සිටින විට බොහෝ සතුටට පත්ව,…”ඔබේ ඉරිසියාව මගේ දියුණුවයි” … කියා වීල් එකේ හෝ ලොරියේ බෝඩ් ගහගන්නේ නැතිව, ඒකාටත් මේ ක්‍රමය කියා නොදෙන්නේ නම්, ඔබ මෙතෙක් බිහි වූ හොඳම ශ්‍රී ලාංකිකයෙක් වනු ඇත. මේ තත්වය විදුලි වාහන හිමියන්ගේද ඇත. බූලි, බෝතල් රැගෙන ඉන්ධන පෝලිමේ සිටින අය දෙස ඔවුන් බලන්නේ, එංගලන්තයේ රැජින ඇයගේ යටත් විජිත වාසීන් දෙස බලනවාක් වැනිය.

කල යුත්තේ එය නොව, අඳුරේ සිටිනවුන්ට ආලෝකය ලැබෙන ක්‍රමය ගැන කීමය. ඩීසල් පෙට්‍රල් වාහන වල යන්නන් ඉන් මීද වීමය.

කරුණාකර ශ්‍රී ලාංකික නොවෙන්න. සාර්ථක බංගලියන් හෝ ඉතියෝපියානුවන් වෙමු. 1+1>2 බව ලංකාවේ සිටින බොහෝ දෙනා දන්නේ නැත. “අපි වෙනුවෙන් තොපි” නොව,… “අපි වෙනුවෙන් අපි” වෙමු. බකන් නිලාගෙන, බට කලියාගෙන, බඩ උලාගෙන, නිකම් මැලවිලා මැරිලා වගේ ඉන්නවාද? නැත්නම් අඳුර නසන්න එක පහනක් දල්වනවාද ?

කාර්මික ප්‍රශ්ණ තිබේද ?… ඔව්, ප්‍රශ්ණ …!

ජ්‍යෝෆ්‍රී බේකන්

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan