ඇතැම් විට …..

සිනිදු සිනා රේඛා
අතුරනා මෘදු කැලුමක
අවසන්ම මන්දහාසය
ශේෂ වු නටඹුනක් සේ
වැළලී යන්න නියමිතය
පොළෝ පපු කුහරයක
සියුම්‍ දූවිලි අංශු මත …….

වඩා දුක,
ජීවිතේ වන වදුළු
එළිපෙහෙළි කර දුන් සඳක්
මහ පොළොවේ නිදියෑමය …….

බැස යන්නට මත්තෙන්
සිනහ රේඛා දෙක තුනක්
අලවමින් ⁣
බිම හෙලූ බැල්ම
දුවෙකුට උහුලන්න බැරි තරම්‍ සිනිඳුය ……

ඉතිං හෙට සිට,
හෝරා යතුරක
කිනම්‍ හෝ කණිසමකට
වැඩබිමක මහමඟක
කම්‍කරු ගොවි සේයා රුවකට
හදෙහි ස්ථර
පහසුවෙන් ලිහිල් කළ හැකිය ……

ඇතැම් විට ,
හිරු ගිලී යළි නොහැරීම
සඳට එන්න යැයි කියන පමාවට
නිල් පාට තිතක් සේ පෙනෙන්නේ
කොහේ හෝ දුවකගේ සිත් අහසින් නික්මුණ
තාත්තෙක් වෙන්න පුළුවන …..

~ නජිලා ශේෂානි අධිකාරි