*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

මතක මංපෙත II: බොහෝ දෙනෙකුට අමතකව ගිය 95 යාල්පානමේ ගමන

රත්නපාල ගමගේ (ස්විට්සර්ලන්තයේ සිට)

1995 වසර මට අමතක නොවන්නේ කරුණු දෙකක් නිසා මගේ හොඳම මිතුරෙකු වූ උතුරු පළාත් සභාවේ වර්ධරාජා පෙරුමාල් මහ ඇමැතිවරයාගේ ඇමැති මණ්ඩලයේ සිටි ඇමැතිවරයකු වූ ජෝ සෙනෙවිරත්න දීර්ඝ කලකට පසුව වවුනියා නගර සභා පිටියේදී මුණ ගැසෙනු මතකයට එනවිටය.

ඔහු අද ජීවතුන් අතර නැත. වයන්ත සුජීව ලංකාදීපයේ සේවය කළ මිතුරෙක් විය. ජෝ මට මුණගැසෙන විට වසන්ත සිටියේ මා ළඟය. යාපනයට යන ගමන ජෝ මට විස්තර කරද්දී වසන්ත මගේ පිටට තට්ටු දමමින් කීවේ ජෝට කියා ඔහුටත් යාපනේ රැගෙන යන ලෙසය. පසුව මම එය ජෝට කීවෙමි. ජෝ එයට අනුමැතිය දුන් පසු වසන්ත මාත් සමඟ යාපනයට ගියේය. වසන්තන් අද ජීවතුන් අතර නැත. යාපනයට යන ගමන ස්ථිර වූ පසු අපි දෙදෙනත් මටත් වසන්තන් වවුනියා නගරයට ගොස් හෝටලයක උඩු මහලේ කාමරයක රාත්‍රිය ගතකර පසුදා උදෑසන වවුනියා නගර සභා පිටියට කාමරයක රාත්‍රිය ගත කර පසුදා උදෑසන වවුනියා නගර සභා පිටියට පැමිණියෙමු.

යාපනයට යන පිරිස සූදානමින් සිටිනු දැකිය හැකි විය. අපේ ගමනට වෙනත් පත්තරවල මාධ්‍යෙව්දීන් ද පැමිණ සිටියහ. ඔවුන් අපේ මිතුරන් වූහ. එනිසා ගමන නීරස නොවීය. දිවයින පුවත්පතින් චන්ද්‍රසිරි කටුදෙණිය සහ ඡායාරූප ශිල්පී සරණපාල පමුණුව, ලංකාදීපයෙන් මමත් වසන්ත සුජීවත්, දිනමිණෙන් රංජිත් පද්මසිරිත් සමඟ ඡායාරූප ශිල්පී සරත් අමරණායක, තිනකරන් පත්ත්‍රයෙන් එස්. ගනේෂන්, (නිදහස්) බුද්ධික වීරසිංහ ටී.එන්.එල්. රූපවාහිනියෙන් සද්ධාමංගල සූරියබණ්ඩාරත්, පූජ්‍ය බද්දේගම සමිත හිමි සහ පූජ්‍ය මාමකන්දේ පියරතන හිමි සහභාගි වූ බව මට හොඳට මතකය. මිස් චන්ද්‍රසිරි කටුදෙණිය දැන් අමෙරිකා එක්සත් ජනපදයේ ස්ථිර පදිංචිකරුවෙකු වන අතර සරණපාල පමුණුව මොලොව හැර ගොස්ය. කටුදෙණිය හෙවත් කට්ටා ඊයේ පෙරේදා මට දුරකතනයෙන් කථා කළේය. මා ඔහුගේ සුවදුක් විමසා අපි එදා යාපනේ ගිය ගමන තැන ලියනවා යයි කියූ විටලියපන් ලියපන් යයි කියමින් එය අනුමත කළේය.

මාධ්‍යවේදීන් සියල්ලටම හොඳ පහසුකම් ඇති හයිඑස් වාහනයක් වෙන්කර තිබුණි. අපි ඊට ගොඩවීමු. යානයට කෑම සඳහා දේශපාලන නියෝජිත පිරිසක් සහ කලාකරුවන් ද වූහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර යන මහත්වරු ඒ අතර වූහ. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක වයි.පී. ද සිල්වා මහතා සහ එම මැතිණිය පළාත් සභා මන්ත්‍රීව සිට අපවත්වී වදාල පූජ්‍ය බද්දේගම සමිත,පූජ්‍ය මාමංකඩ පියරතන, මහාචාර්ය ජයදේව උයන්ගෙඩ කලාකරුවකු වන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාරයන් ද වූහ.

සියළුම දෙනා වවුනියා නගර සභා පිටියේ සිට යාපනය බලා පිටත්ව යෑම සඳහා ඒ 9 මාර්ගය ඔස්සේ තාණ්ඩිකුලම් මුරපොළටත් එතනින් ශ්‍රී ලංකා රජයේ අන්තිම සීමාව ලෙසට සළකුණු කර තිබූ නොච්චිමුවෙයි යන ප්‍රදේශය දක්වා පැමිණියෙමු. එවිට වේලාව පෙරවරු 9ට ආසන්න වී නිසා විනාඩි කීපයකින් පසු රථ පේලියක් ආරක්ෂක මුරකාවල් සහිතව පැමිණි අතර, ඉන් පැමිණියේ එවකට වන්නි ආරක්ෂක මූලයේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් ලයනල් ලයනල් බලගල්ල ප්‍රමුඛ හමුදා නිලධාරීන් සහ යුද හමුදා මනෝ පරීක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂව සිටි එදා කර්නල්ව සිටි මේජර් ජනරාල් සාලිය කුලතුංගයි. ජෙනරාල් බලගල්ල, සුදේව නානායක්කාර හා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්දු යන මහත්වරුන් සමඟ කෙටි පිළිසඳරක යෙදී හමුදා නිලධාරියකුගේ ගමන් කථනය ගෙන ඈත පෙනෙන එල්.ටී.ටී.ඊ. මුරපොළට කථා කළේය.

ප්‍ර: නියෝජිත පිරිස සූදානමින් ඉන්නේ ගමනට එවන්න ද?

පි: එන අයගේ ලිස්ට් එකක් එවන්න.

ප්‍ර: හරි දැන් එවනවා.

යන අයගේ ලිස්ට් එක යැවීය.

ප්‍ර: සාමි හැර අනිත් අයට එන්න පුලුවනි. සාමි යනුවෙන් කීවේ සමිත හිමියන්ටය.

ප්‍ර: අයියෝ එතකොට මොකක්ද ඔයගොල්ලන්ගේ සාමය. සාමි මේ ගමනට ලෑසතිවෙලාමයි ආවේ.

ප්‍ර: උඩින් අහල කියන්නම්. විනාඩි 10කින් පමණ දුරකතනය නාදවේ.

ජෙනරල් යස් : නියෝජිත පිරිස බලද්දී එන්න පුළුවන්.

නියෝජිත පිරිස ගමනට සූදානම් වූහ. යුද මුක්ත කලාපය මීටර් 500ක් පමණ වන නිසා සියල්ලෝම එල්.ටී.ටී.ඊ. මුරපොළ වෙත පයින් ගමන් කළහ. යුද මුක්ත කලාපය අවසාන වනවාත් සමඟම ICRC යනුවෙන් රතු පැහැති අකුරින් යුත් සුදු කොඩියක් අතැතිව සිටි අන්තර්ජාතික රතුකුරුස සංවිධානයේ සුදු මහතෙක් අපට එල්.ටී.ටී.ඊ. මුරපොළ වෙත කැඳවාගෙන ගියහ.

වන්නි එල්.ටී.ටී.ඊ. නායකයා එහි පැමිණ සිටි අතර, නියෝජිත පිරිස පිළිගත්තේ ඔහු විසිනි. ජෙනරල් බලගල්ලේ නියෝජිත පිරිස හඳුන්වා දුන් පසු ඔවුන් අප භාරගෙන එතැන් සිට ගමනට සූදානම් වූයෙමු. අපි අපේ වාහනවලට නැගගත් අතර, නියෝජිත පිරිස ඔවුන් පැමිණි වාහනවලින්ම ගමන් ගත්හ. අපේ වාහන පෙළ VVIP ස්වරූපයක් ගත්තේය. යුද හමුදාවෙන් පැහැරගත් (පුනරින් කඳවුරින්) එම්.බී.ටී. වර්ගයේ යුද ටැංකියක නැගගත් එල්.ටී.ටී.ඊ. භටයින් 20ක් පමණ ඉදිරියෙන් ගමන් කරයි. මෝටර් සයිකලයක නැගගත් තරුණයින් දෙදෙනෙක් රූපවාහිනී කැමරාවකින් විදර්ශන් නැමැති එල්.ටී.ටී.ඊ. රූපවාහිනිය ඔස්සේ සජිවී විස්තර ප්‍රචාරයක් ගෙන යයි. කොටි හඬ ගුවන් විදුලියෙන් සජීවී ගුවන් විදුලි ප්‍රචාර අරඹා තිබුණි. පාර දෙපස ඇති විදුහල්වල මැද එල්.ටී.ටී.ඊ. කොඩිය ඔසවා තිබුණි. පාසල් ළමයින් අතට කොඩියක් දී විශේෂ අමුත්තන්ට ආචාර කිරීමට සලස්වා තිබූ අතර, ළමුන් අව්වේ වේලෙමින් සිටි බව පැහැදිලිය. ගුරුවරුන් එසේය. පැයක පමණ වේලාවකින් පසුව අපි කිලිනොච්චියට ළඟා වූයෙමු.

එහිදී එල්.ටී.ටී.ඊ.ය වෙනුවෙන් උපවාසකර මියගිය තිලීපන්ගෙ අනුස්මරණ උත්සවයක් තිබුණු අතර, තිලීපන් සමරු ගීය ජයතිලක බණ්ඩාර විසින් කරනු ලැබීය. එම උත්සවයෙන් පසු දහවල් ආහාරය පිළියෙළ කර තිබුණි. දහවල් ආහාරය ගැනීමෙන් පසු පූනරින් තොටුපොළ දක්වා ගියෙමු. එහිදී අපට කිලාලි කලපුව හරහා ගමන් කළයුතු විය. අප සිටින තැනටම මෝටර් බෝට්ටුව ළඟාවිය හැක. ඒ කළපුව හාරා අවශ්‍ය ගැඹුර සකස් කර තිබීමය. මෙය කළේ කෙසේ දැයි ඇසූ විට ඔවුන් දුන්නේ ගිනි විසිවෙන පිළිතුරකි.

උදළුවලින් රාත්‍රී කාලයේ එය කළ බවය. දහවල් කාලයේ කළේ නම් හෙලිකොප්ටර් ප්‍රහාර එල්ල වන නිසා රාත්‍රී කාලය ඒ සඳහා යොදාගත් බව ඔවුන් කීය. විශ්වකර්ම වැඩක් බව නම් පෙනුණි. ඉන්පසු අපට නියමිත බෝට්ටුව පැමිණි පසු ඊට ගොඩවීමු. ඒකේ වසන්තන් ආචාර්ය උයන්ගොඩත් අපේ ආරක්ෂාවට සපයා තිබූ එල්.ටී.ටී.ඊ. භටයෙක් වූ විග්නේශ් එහි වූහ.

බෝට්ටුව කිලාලි කලපුව ඉදිරියට ඇදී හරි මැදක් ගියවිට අපට මුහුණ දීමට සිදුවූයේ බරපතල සිදුවීමකටය. මෝටර් බෝට්ටුව කැඩී කලපුවේ ඒ මේ අත පැද්දෙන්නට විය.

කලපුව මතට පාත්වන දැඩි හිරු රශ්මිය කෙසේවත් දරාගත නොහැක්කේ බෝට්ටුව එක තැන පැද්දෙමින් තිබෙන නිසාය. පැය 1½කට පමණ ආසන්න කාලයක් අපි කලපුව මැද සිරවී සිටියෙමු. අපේ ප්‍රමාදය කුමක්දැයි සොයා බලන්නට එල්.ටී.ටී.ඊ.ය බෝට්ටුවක් එවා ඇති බව පෙනුණි. බෝට්ටුවේ කකුල් දෙක දෙපසට තද කරගෙන සිටි පුද්ගලයෙක් සිටින බව පැහැදිලිය. බෝට්ටුව ඉදිරියට පනිමින් ද (මගඩිආර) අප වෙතට ලංවුණි.

වාංග යයි ඔහු අපට අඬගැසුවේ ඔහුගේ බෝට්ටුව අපගේ බෝට්ටුවට ලංකරමිනි. අපි වහා ඊට ගොඩවූයෙමු. එහි විදුලි වේගයෙන් කිලාලි තොටුපල වෙත අප රැගෙන ගියේය. එම බෝට්ටුව ඉංග්‍රීසි අකුරින් රූබන් යයි නම් කර තිබුණි.

කිලාලි තොටුපලේදී අපව පිළිගන්නා ලද්දේ එල්.ටී.ටී.ඊ. මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් විසිනි. ඔහු එහිදී අප ආ ගිය විස්තර කතා කොට අපේ බෝට්ටුවට සිදුවූයේ කුමක් දැයි අපෙන් විමසා සිටියේය. පසුව එහි කාර්මික දෝෂයක් නිසා එය අතරමග අවහිර වූ බව ඔහුට දැනුම් දුන් විට, ඔහු කියා සිටියේ අපේ බෝට්ටුවේ ප්‍රමාදය නිසා ඔහු බියට පත්වූ බවය. මාධ්‍යවේදීන්ට යෑමට බසයක් නවත්වා තිබුණි. එය කොඩි හඬ ගුවන් විදුලියේ ජංගම විකාශන බස් රථයක් විය යුතු යැයි සිතුණි.

බස් රථයේ සවිකර තිබූ ශබ්ද විකාශන යන්ත්‍රවලින් මධුර තනුවලින් යුත් දෙමළ ගීත ප්‍රචාරය විය. එම දෙමළ ගීතවල තේරුම බසයේ මා ළඟින් වාඩිවී සිටි විග්නේෂ්ගෙන් අසා දැනගත්තෙමි. එම පදමාලාවන් අතිශයින්ම මදුර මනෝහරය. ඒවාට කරනාටක සංගීතය මිශ්‍ර කිරීම නිසා සිත්ගන්නාසුළු නාදයක් එම ගීතවල ගැබ්ව තිබුණි. යුද්ධයේදී දිවි පිදූ එල්.ටී.ටී.ඊ. භටයින් ගැන ඒවා සකස් කර තිබුණි. විශාල පොල් වත්තක් මැදින් ගොස් බස් රථය යළිත් A9 මාර්ගයට අවතීර්ණ විය. චාවාකච්චේරි ප්‍රදේශයට පැමිණි  පලෙයි කොඩිකාව හරහා අපි යාපනයට පැමිණියෙමු. යාපනයේ අපට නවාතැන් ගැනීමට සූදානම් කර තිබුණේ ප්‍රභාෂ් හෝටලයේය. වසර 20කට පමණ ඉහත මගේ මිතුරකු සහ ඔහුගේ බිරිඳ සමඟ යාපනයට ගිය ගමනකදී අපි රාත්‍රී නවාතැන් ගත්තේ ප්‍රභාෂ් හෝටලයේය. එකල තරු පන්තියේ හෝටලයක් වූ ප්‍රභාෂ්හිදී අපි රාත්‍රී ආහාරයට ගත්තේ ඉඳිආප්ප සමඟ තලපය.

ප්‍රභාෂ් හෝටලය ඉදිරිපස අපගේ යුද ටැංකිය අපේ වාහන පෙළට ඉදිරියෙන් පැමිණි එකක් වූ අතර, එය අපේ ආරක්ෂාවට යොදා තිබිණි. රාත්‍රී 10න් පසු විදුලිපංකා නිවා දමන බව කීවත් අලුයම තරු රැස් වැටෙන තෙක්ම විදුලිපංකා ක්‍රියාත්මක විය. ගමන් වෙහෙස නිසා අඩියක් ගන්නට තැනක් සෙවීමේ කාර්යයේ පෙරමුණ ගත්තේ සරණපාලයි. ඥානම් හෝටලයේ මත්පැන් තිබෙන බවත්, තමන්ගේ මුදලින් බීමට එල්.ටී.ටී.ඊ.ය අකමැත්තක් නැති බවත්, ප්‍රකාශ කළ නිසා බොහෝ දෙනෙක් ඥානම් හෝටලයට යන්නට සූදානම් වූහ. ලියුම්කරුගේ  තිබුණු හිසරදයක් නිසා ඇඳේ හාන්සිවී සිටි අතර ඥානම් හෝටලයට ගිය අපේ මාධ්‍ය සගයින් සමඟ එල්.ටී.ටී.ඊ. ගැටව් දෙදෙනෙක් (අවිවලින් සන්නද්ධව) ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ගමන් කළහ. දොරවල් සියල්ලම අඟුල් කැඩී තිබුණ අතර, මිල මුදල්, රත්රන් බඩු වැනි ඒවා වුණත් කාමරයේ තබා එළියට ගියාට ප්‍රශ්නයක් නැති බව එල්.ටී.ටී.ඊ. භටයින් කීහ.­

අඩනින්දේ පසුවූ මා ඇහැරුනේ ටොක් ටොක් යන සපත්තු හඬටය. දෙමළෙන් යමක් මගෙන් ඇසූමුත් එය නොතේරෙන බව කී විට ඔහු ආපසු හැරී ගියේය. ටික වේලාවකින් තවත් එල්.ටී.ටී.ඊ. භටයෙක් සමඟ ඔහු මා ඉදිරියේ පෙනී සිටියහ.

සනීප නැද්ද? අසනීප නම් කියන්න අපි ඩොක්ටර් අරන් එන්නම්. පසුව එල්.ටී.ටී.ඊ. භටයා සිංහලෙන් මා අමතමින් කීය. අවි අතදරා තිබුණත් අවි අල්ලා සිටින අත දිගේ පපුවට ගොස් හදවතට යන ලේ බිංදුව තුළ මනුෂ්‍යත්වය තැන්පත් වී තිබෙන බව දෑසින් දුටුවේ ඒ පොහොසතය. නෑ මට අසනීපයක් නෑ. මම කීවෙමි. අසනීප නම් කියන්නම් ඕන වෙලාවක. ආ වෙනද රෑ 10ට කරන්ට් එක ඕෆ් කරනවා. කරන්ට් දෙන්නේ ජෙනරේටර් එකකින්නේ. අද එහෙම එලිවෙනකම් කරන්ට් එක ඕෆ් කරන්නේ නෑ ඕගොල්ලෝ නිසා ඔහු කීය.

සියල්ලෝම මත්පැන් බී ආපසු ආවේ රාත්‍රී 9ට පමණි. ඔවුන්ගේ පැමිණීමත් සමඟ අපි රාත්‍රී ආහාරය සඳහා ගියෙමු. අපි ප්‍රමාද නිසා දේශපාලන නියෝජිතයින් පිරිස වේලාසනින්ම රාත්‍රී ආහාරය ගෙන තිබුණි. රාත්‍රී ආහාරය සඳහා ඉඳිආප්ප, අල හොදි, පොල් සම්බෝල තිබුණු අතර, ඊට ඩෙවල් කරනු ලැබූ චිකන්ද ඇතුළත් වූහ. රාත්‍රී ආහාරය ගෙන අවසන් වීමෙන් පසු අපි නින්දට ගියෙමු. සුවදායක නින්දක් අවසානයේ යාපනයේ පළමු රාත්‍රිය ගෙවා පසුදින උදෑසන ආහාරයට කිරිබත් සමඟ හොඳ ලුණු මිරිසක් සපයා තිබුණි.

උදේ ආහාර ගෙන අප හෝටලයෙන් එළියට එනවිට එහි මිදුලේ අව් රස්මිය රහිත සෙවණක පුටු පේලි 4ක් පමණ තබා තිබුණේ අපට එහි වාඩිවීමටය. දේශපාලන නියෝජිතයන් සහ මාධ්‍යවේදීන් වාඩිවූ පසු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක ප්‍රභාකරන් හැර අනිත් සියලුම නායකයින් අප හමුවීමට පැමිණ සිටියහ.

න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්, ඔහුගේ බිරිඳ ෂැඩෙලා බාලසිංහම්, දේශපාලන නායක තමිල් චෙල්වම්, නියෝජ්‍ය නායක කරිකාලන්, කොටි පොලිස්පති නඩේසන් යන පිරිස ඒ අතර සිටි බව මගේ මතකයට නැගේ. කොටි පොලිස්පති නඩේසන් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ළඟට පැමිණෙන විට නානායක්කාර මහතාත් නැගිට ඔවුනොවුන් වැළඳගත්තේ හද පිරි මිතුරකු ලෙසටය. නඩේසන් කිරුලපන පොලිසියේ කොස්තාපල්වරයකු ලෙස සේවය කරද්දී හඳුනාගත් මිතුරු බව ඔවුන් මෙහිදී සිහිපත් කළේ සෙනෙහසිනි. සෑහෙන වේලාවක් ඔවුන් සමඟ පිළිසඳරේ යෙදී සිට අප යාපනය නගරය බලන්නට පිටත්ව ගියෙමු. සන්නද්ධ එල්.ටී.ටී.ඊ. භටයින් සහිතව දැඩි ආරක්ෂාවක් යොදා තිබූ අතර, එල්.ටී.ටී.ඊ. පොලිස් භටයින් සෑම මංසන්ධියකම යොදවා සියළුම රථවාහන අපේ වාහන පෙළ ගමන් ගන්නා තෙක් නවතා සිටිනු දුටු විට අපට සිහිවූයේ කොළඹදී අප නිතර දෙවෙළේ අත්විඳින අත්දැකීමය. අපි යාපනය නගරයේ සංචාරය කරද්දී කඩසාප්පු විවෘත කර ඇති අන්දමත්, ඒවාට ජනතාව ගමන් ගන්නා අයුරුත් අප දුටුවෙමු. ඔවුන් අපට රැගෙන ගියේ කිට්ටු ළමා අනුස්මරණ ක්‍රීඩාංගණයටය. එහිදී ළමුන්ගේ මනසට යුද්ධය ගොදුරු වන අන්දමින් දර්ශන පෙළක් සකසා තිබුණි. එහි යුද ටැංකිවල අනුරූ යොදා මියගිය සෙබලුන්ගේ ඡායාරූප ද එහි ප්‍රදර්ශනය කර තිබිණි.

ළමා උද්‍යානය සංචාරය කිරීමෙන් පසු ඔවුන් අප රැගෙන ගියේ නෙල්ලිඅඩි ප්‍රදේශයටය. එහි නගරයේ සමිත ප්‍රදේශයක අපට නිදහසේ සංචාරය කරන්නත් ජනතාව හමුවී කථාබස් කරන්නත් අවස්ථාව සලසා දී තිබුණි. ඒ අනුව අපි නෙල්ලිඅඩි මාළු වෙළෙඳසලට ගියෙමු. එහිදී හමුවූ බොහෝ දෙනකු දෙමළ බසින් කීවේ මෙතෙක් තහනම් කර තිබූ භූමිතෙල්, පැට්‍රල්, සිමෙන්ති, යකඩ, ආහාර ද්‍රව්‍ය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීම හොඳ බවත් ඉක්මනින් සාමය ඇති කර ගැනීමත් යුද්ධය අවසන් කිරීමත් කළ යුතු ඉක්මන් කාර්යයක් බවත් ඔවුන් හැමදෙනාගේම අදහස විය.

නෙල්ලිඅඩි ප්‍රදේශයේ දහවල් ආහාරය ගැනීමෙන් පසුව ඔවුන් අපව රැගෙන ගියේ නෙල්ලිඅඩි ප්‍රදේශයේ බීම සාදන කම්හලකටය. යාපනයේ වැවෙන මිදි අස්වැන්න මිලට ගෙන මිදිවලින් පෝටෙලෝ බීම සාදන අන්දම ඔවුන් පියවරෙන් පියවර පෙන්වා දුන්නේය. පෝටෙලෝ වීදුරුවක රස බලන්නට දුන් විට අපට සිහිවුණේ කොළඹදී රස බලන බහුජාතික සමාගමක් නිපදවන පෝටෙලෝ රස එයමය. කොකාකෝලාවලට සමානවත් පැන්ටාවලට සමානවත් ඔවුන් බීම සකස් කර ඒවා බෝතල්වල අසුරා තිබිණ. අපට මොනතරම් දේ කළ හැකිදැයි ඔවුන් අපට පෙන්වා දී තිබුණේ ඔවුන්ට ලැබෙන පහසුකම් කප්පාදු කර තිබූ යුගයකය.

අපේ එදින සංචාරය අවසන් කිරීමෙන් පසුව අප නවාතැන් ගෙන සිටි සුභාෂ් හෝටලයට පැමිණියෙමු. රාත්‍රිය එළඹෙමින් තිබුණු නිසා ඇඟපත සෝදා විවේක ගෙන රාත්‍රී ආහාරය ගත්තෙමු. ඉන්පසු නින්දට ගියෙමු. පසුදින උදෑසන අවදිව අපි සියලු දෙනා උදෑසන ආහාරය සඳහා වාඩිවූයෙමු. ආප්ප සහ තෝසේ සාම්බාර්, ලුණු මිරිස් එහි තබා තිබුණි. අපි සියලු දෙනා උදෑසන ආහාරය ගැනීමෙන් පසු ඇන්ටන් බාලසිංහම්ගේ මාධ්‍ය සාකච්ඡාවක් සූදානම් කර තිබිණි. එම මාධ්‍ය සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර වීරකේසරී පුවත්පතේ සේවය කළ මිතුරකු මට (ඔහුගේ නම අමතකය) දුන් විස්කි බෝතලය ඇන්ටන් බාලසිංහම්ට දුන්නේ ඔහුගේ නම සඳහන් කරමින් ඔහු දුන් බව පවසමිනි. බාලසිංහම් මගෙන් එය ලබාගෙන මා වැළඳගෙන මට ආචාර කළේය.

ඉන්පසු පුවත්පත් සාකච්ඡාව ඇරඹිණි.

පුවත්පත් සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන්ම සඳහන් වූයේ ප්‍රධාන කරුණු දෙකක් ගැනය. ඒ වකවානුව වන විට 1995 බලයටපත්ව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් එදිරිවාදිකම් අත්හිටුවීමේ ගිවිසුමක් එල්.ටී.ටී.ඊ. සමඟ අත්සන් කර සටන් විරාමයක් ප්‍රකාශ කර තිබුණි. එල්.ටී.ටී.ඊ. ය සමඟ සාම සාකච්ඡා ඇරඹීම සඳහා අවශ්‍ය කරන පසුබිම සකස් කිරීම සඳහා රජය විසින් නියෝජිත පිරිසක් ද පත්කර තිබුණි. ජනාධිපති ලේකම් කුසුම් සිරි බාලපටබැඳි ගණකාධිකාරිවරයෙකුට ආශිර්වාදී වරලත් ගෘහ නිර්මාණ ශිල්පී නවීන් ගුණරත්න සහ නාවික හමුදාවේ කපිතාන් රාජසේන යන මහත්වරු සාම සාකච්ඡා ආරම්භ කිරීමට පෙර හොඳ හිත පෙනීම සඳහා කරුණු 2ක ඉටුකළ යුතු යැයි ඔවුන් රජයට යෝජනා කළහ.

ඉන් එක් කොන්දේසියක් වූයේ පුනරින් හමුදා කඳවුර තිබෙන තැනින් ඉවත්කර ගත යුතු බවයි. අනිත් කරුණ වූයේ පුනරින් – සංගුපිටිය පාර විවෘත කිරීමය. මෙම සාකච්ඡාවලදී රජය පැත්තෙන් පෙන්වා දුන්නේ පුනරින් සංගුපිටිය පාර විවෘත කිරීමේදී යුද හමුදාව දැඩි විරුද්ධතාවයක් දක්වන බවය. පුනරින් හමුදා කඳවුර තිබෙන තැනින් මීටර් 500ක් පසුපසට ගැනීමට රජය සූදානම් බවක් ප්‍රකාශ කර තිබුණි.

ඔහු මෙම පුවත්පත් සාකච්ඡාවේදී සාමසාකච්ඡා ආරම්භ කිරීමට සුදුසු වාතාවරණය සකස් කිරීම සඳහා ඉදිරිපත් කර ඇති යෝජනා ගැන රජයේ අවධානය ලබාදෙන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය. මෙහිදී අදහස් දැක්වූ දිවයින පුවත්පත නියෝජනය කළ චන්ද්‍රසිරි කටුදෙණිය සහ දිනමිණ පුවත්පත නියෝජනය කළ රංජිත් පද්මසිරි යන දෙදෙනාම එකම ඉල්ලීමක් කළේය. එල්.ටී.ටී.ඊ.ය පාර්ශවයෙන් හොඳ හිත පෙන්වාදීම සඳහා කදිම අවස්ථාවක් නිරීක්ෂණය වී ඇති බවත්, එක් පොලිස් නිලධාරියෙක් අවට රැගෙනයෑමට හැකි වන පරිදි එල්.ටී.ටී.ඊ. අත්අඩංගුවට මුදාහරින ලෙස ඉල්ලා සිටියහ.

එයට පිළිතුරු දුන් බාලසිංහම් කියා සිටියේ එම ඉල්ලීම ඉටු කිරීමට නොහැකි බවත්, ඔබ කැමැතිනම් ඒ වෙනුවට සිටීමට එක් අයෙක් නිදහස් කළ හැකි බව කීය. එය ඔහු ප්‍රකාශ කළේ සිනා සෙමිනි. ප්‍රවෘත්ති සාකච්ඡාව අවසන් වීමෙන් පසුව අප රැගෙන ආවේ අප නවාතැන්ගෙන සිටි සුභාෂ් හෝටලය වෙතය. ඒ දහවල් ආහාරය සඳහාය. දහවල් ආහාරය සඳහා අල බැදුමක් මුකුණුවැන්න මැල්ලුමක් චිකන් සහ පරිප්පු සමඟ තක්කාලි, අල ලූනු මිශ්‍ර කළ සම්බෝලයක් සහිත රසවත් කෑමක් විය. පොත්ත කපා ඉවත් කළ රට අඹ බේසමක් ගෙනැවිත් තිබුණේ අතුරුපසමය. එය ඉතා රසවත්ය.

දහවල් ආහාරයෙන් පසු කෙටි විවේකයක් ලැබුණු අතර, සවස් භාගය සූදානම් කර තිබුණේ යාපනේ කොටුව සහ විනාශ කරන ලද යාපනේ පුස්තකාලය නැරඹීමටත්ය. ඉන්පසු ඔවුන් අප රැගෙන ආවේ යාපනය දිසාපති කාර්යාලයටය. දිසාපතිවරයා මුණගැසී දිසාපති කාර්යාලයේ වැඩ කටයුතු අසා දැනගැනීමෙන් පසු අප කලින් නවාතැනට පැමිණියෙමු. රාත්‍රිය වේගයෙන් පැමිණෙමින් තිබූ අතර, අවේලාවේ පාරේ ඇවිද නොයන ලෙස උපදෙස් දී තිබුණි. එදින රාත්‍රිය ද අප ගත කළේය.

පසුදින එල්.ටී.ටී.ඊ. සංවිධානය කර තිබූ හර්තාල් දිනයක් විය. සියළුම රජයේ කාර්යාල වසා දමා එදින සියලුම සේවකයින් යාපනය කන්දීර්මඩම් හි පිහිටි විශ්වවිද්‍යාලය වෙත පැමිණෙන ලෙස නියෝග කර තිබිණි. අපව රැගෙන ගියේ විශ්වවිද්‍යාල භූමියටය. සරසවි භූමියෙන් ආරම්භ වී ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ක්‍රීඩාංගණයේ ජනතා රැස්වීමක් සඳහා පෙලපාලියක් ද සූදානම් කර තිබිණි. මිනිසුන් බොහෝ දෙනා අත තිබුණේ ‘වෙන්ඩුම් මානා’ වැනි වදන් සහිත පුවරුය. ලොරියක දෙපැත්තේ විශාල චිත්‍ර ප්‍රදර්ශනය කරමින් තිබූ අතර, එහි දක්නට ලැබුණේ චන්ද්‍රිකා එක අතකින් සුදු නෙළුමක් තබාගෙන සහ අනිත් අතින් අවි දරාගෙන සිටින ආකාරයයි. තවත් පෝස්ටරයක චන්ද්‍රිකා නැවෙන් ආයුධ ගොඩබාන අයුරු දැක්වෙන චිත්‍ර ප්‍රදර්ශනය කර තිබිණි. පැමිණ සිටි දේශපාලන නියෝජිත පිරිස ද යුද්ධම් වානා කියමින් පෙලපාලියේ ගමන් ගත්හ.

අපි මිනිසුන් සමඟ කථාබහ කළෙමු. ඒ අතරතුර බී.බී.සිය වෙනුවෙන් එම රැස්වීම ආවරණය කරමින් සිටි නිමලරාජන් මට හමුවිය. ඊට කලින් නිමලරාජන් මට කොළඹදී හමුවූ හොඳ මාධ්‍ය මිතුරෙකු විය. පෙලපාලියේ ගමන් ගත් වාසුදේව නානායක්කාර මහතාට ලැබුණේ ඉතා ඉහළ උණුසුම් පිළිගැනීමකි. ඒ ඔහුගේ රැඩිකල් ගතිය නිසාය. රැස්වීමෙන් පසු ආපසු නවාතැනට පැමිණයෙමු. පසුදින දවල් ආහාරයෙන් පසු අපේ සංචාරය අවසන් කර පැමිණීමට නියමිතව තිබුණි.

උදෑසන අපි කරුණු සෙවීම සඳහා ඒ අසලම තිබූ යාපනය රෝහලට ගියෙමු. වහලවල් කැඩී දොරවල් ගැලවී තිබුණත් අපහසුවෙන් රෝහල පවත්වාගෙන යන ආකාරය දක්නට ලැබුණි. රෝගීන් කීපදෙනෙක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අතර, වෛද්‍යවරු තුන්දෙනෙක් සේවයේ යෙදී සිටියහ.

දහවල් ආහාරයෙන් පසු පැමිණි බස්රථවලින් කිලාලි වෙත යන්නට සූදානම් වූ අතර, අප සමඟ ආරක්ෂාවට දී සිටි මිතුරා එල්.ටී.ටී.ඊ. සෙබලා අපිට සමුදෙන්නට සූදානම් විය. එවිට අප ඔවුන් භාරව සිටි සුදාමාස්ටර් නැමැති එල්.ටී.ටී.ඊ. නායකයාට පවසා විග්නේෂ් නොච්චිමුවෙයි දක්වා කැටුව යාමට අවසර ලබා ගත්තෙමු.

කිලාලි කලපුවේ ගමන අවසන්වී පුනරින් තොටුපලට පැමිණෙනවිට වවුනියාවේ සිට අපි පැමිණි වාහන සියල්ලම යළි සූදානමින් රඳවා තිබුණි. අපි කලින් පැමිණි වාහනවලට ගොඩවී කිලිනොච්චි ප්‍රදේශයට එනවිට රෑ බෝවී තිබුණි. නොච්චිමුවේ එල්.ටී.ටී.ඊ. මුරකපොල්ල වෙත පැමිණෙන විට රාත්‍රී 11 පසුවී තිබුණි. අපි සමඟ පැමිණි එල්.ටී.ටී.ඊ. නියෝජිත පිරිස අපිට සමුදෙන්නට සූදානම් වූහ.

අපේ ආරක්ෂාවට පැමිණි විශ්නේෂ් අපේ අත්වලින් අල්ලා ගත්තේය. දිග හුස්මක් හෙලූ දැන් ඉතින් මෙහාට අපිට යන්නට බෑ. දැන් සතුටින් යන්න අපේ හොඳ හිතත් අරන් ආයිත් දවසක යාපනයට එන්න. මං සමහරවිට නොසිටින්නටත් පුළුවන්. සිටින්නටත් පුළුවන්. ඒ කොහොමවුණත් යාපනය අමතක කරන්න එපා, ඇවිත් යන්න එන්න. කීවේ ඔහු අපව වැළඳගෙනය. ජාතිවාදය මිනිස් සිත් හදවත් කොතෙක් දුරට ඈත් කර තිබේ ද යන්න කීමට හොඳම නිදසුන විග්නේෂ්ය. ඒ දින 8දී ඔහු අපේ ළඟට මිතුරෙක් ඥාතියෙක් වුණා යැයි කීවත් නිවැරදිය.

සුදා මාස්ටර් ඔහු අත තිබූ ගමන් කථනයෙන් නොච්චිමුවේ මුරපොළ අමතා අප ආපසු එන බව කීය. මේ පිරිස භාරගන්නා ලෙසත් කීය. අපිට කොළ එලිය ලැබුණු පසු අපි කොච්චිමුවේ නෝමෑන්ස් (යුද මුක්ත කලාපය) ආරම්භ වන තැනට යන විට අපේ පැමිණීම අපේක්ෂාවෙන් අන්තර් ජාතික රත් කුරුස ආයතනයේ නිලධාරියා අපේ පිරිස නිවැරදිව ආපසු පැමිණ ඇත්දැයි තහවුරු කර ගැනීමෙන් පසු අපට යන්නට පවසා ඔහුගේ කාර්යාලය වසා දැම්මේය.

ඉන්පසු අපි නොච්චිමුවේ මුරපොළට පැමිණියෙමු. එහිදී අපේ වාහනවල පිරිස නිවැරදිව ගණනය කිරීමෙන් පසු අපට යන්නට අවසර දුන්නේය. කොළඹ පැමිණි පසු අපි පුවත්පත්වල ලීවේ යළිත් යුද්ධය අරඹෙන ලකුණු පහලවී ඇති බවය. එය එලෙස සිදුවිය.

ඡායාරූප – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රංජිත් පද්මසිරි මහතාට ස්තූතිය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan