Wednesday, November 30, 2022
spot_img

Latest Posts

පොලිස් කොමිසමේ ලොක්කාගේ චරියාව සහ ශානි අබේසේකර තවමත් ගෙවන වන්දිය

ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය සහ ලංකාවේ දේශපාලන සංස්කෘතිය අතර නොපෑහෙන ගතියක් කොහොමත් තිබේ. ‘ස්වාධීන’ යන චවනය අර්ථවත් වන්නේ, ශිෂ්ට සමාජ සම්මුතියක් මත එය පදනම් වුණොත් ය. මෙවැනි සමාජ සම්මුතියක ප්‍රධාන ලක්ෂණය වන්නේ, පුරවැසියන් විසින්ම ඒ සම්මුතිය භාරගෙන නොකඩවා නඩත්තු කරනු ලැබීමයි. ගුරුවරුන්ට සැලකීම එවැනි සම්මුතියකි. එය, නීතියකින් පනවන ලද්දක් නොවේ.
ආයතනික ‘ස්වාධීනත්වයත්’ එසේම විය යුතුය. එනම්, පුරවැසියන් විසින් ඒ වචනයේ වටිනාකම භාරගෙන, ඊට ගරු කිරීමේ සහ එම ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ පුරවැසි සම්ප්‍රදායක් සමාජයේ මුල්අදින තෙක් නඩත්තු කළ යුතු බව ය. එහෙත්, පොලීසිය, අධිකරණය සහ රාජ්‍ය සේවය වැනි ආයතන තුළ තිබිය යුතු ‘ස්වාධීනත්වය’ ලංකාව වැනි රටක එවැනි සම්භාව්‍ය පුරවැසි ශිෂ්ටත්වයක් විසින් එක දිගට නඩත්තු කෙරෙන්නේ නැති නිසා, වෙනත් ශක්තිමත් නෛතික සහ ආයතනික ව්‍යුහයන් විසින් ඒවා ස්ථාපිත කළ යුතුව තිබේ.

පොලිස් කොමිසම වැනි ආයතනයක් උදාහරණයට ගත්තොත්, එවැනි කොමිසමක් ස්ථාපනය කෙරෙන ක්‍රියාවලියේ ස්වභාවය සහ එවැනි කොමිසමක සංයුතියේ ස්වභාවය වැනි කරුණු, කෙලින්ම එහි ‘ස්වාධීන’ ක්‍රියාකාරීත්වයට බලපාන්නේය. පොලිස් කොමිසමට සාමාජිකයන් පත්කෙරෙන්නේ ජනාධිපතිවරයා විසින් නම්, එම කොමිසමේ සාමාජිකයන් ජනාධිපතිවරයාගේ සිතැඟියා පරිදි කටයුතු කිරීමට පෙළඹීම නොවැළැක්විය හැකිය. එසේම, එම කොමිසමේ සාමාජික සංයුතිය හැදෙන්නේ දේශපාලන පක්ෂවලට මුල් තැන දෙමින් නම්, එම කොමිසමේ සාමාජිකයන්ද පක්ෂ-පාට අනුව කටයුතු කිරීමට පෙළඹීම නොවැළැක්විය හැකිය. වත්මනේ අපේ ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත්කිරීමේ කාර්යය භාරව තිබෙන ‘ව්‍යවස්ථා සභාවට’ දේශපාලන පක්ෂ නියෝජනය නොකරන සිවිල් පුරවැසියන් කිහිප දෙනෙකුත් ඇතුළත් විය යුතු බවට මේ වන විට යම් සමාජ සම්මුතියක් ඇති කරගෙන ඇත්තේ එබැවිනි.

මේ වැදගත් සිරිත අවස්ථා දෙකකදී රාජපක්ෂලා අතහැර දැමූහ. 18 වැනි සහ 20 වැනි ව්‍යවස්ථා සංශෝධන තුළින්, පිළිවෙලින් මහින්ද රාජපක්ෂත්, ගෝඨාභය රාජපක්ෂත් එකී ‘ස්වාධීනත්වය’ තමන්ගේ සන්තකයට ගනිමින්, සියලු ‘ස්වාධීන’ කොමිෂන් සභා හැකිතාක් දුරට ස්වකීය හෙංචයියන්ගෙන් පිරවූහ. වර්තමාන පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු, රාජපක්ෂවරුන් පත්කළ එවැනි එක් අයෙකි.

පොලිස්කාරයෙකු දැනගත යුතු හෝඩියේ පාඩමක් තිබේ. එනම්, නීතියක් වෙනස් වන විට ඒ වෙනසට අනුපූරකව තමන්ගේ රාජකාරිය අනුගත විය යුතු බවයි. උදාහරණයක් වශයෙන්, පාරේ වම් පැත්තෙන් වාහන පැදවීමේ නීතිය හෙට සිට පාරේ දකුණු පැත්තෙන් පැදවීමට මාරු වුණොත්, හෙට පටන් රටේ මිනිසුන් එසේ වාහන පදවන බවට පොලිස් නිලධාරියා වගබලාගත යුතුය.

ගෝඨාභය පත්කළ සභාපතිවරයෙක්

මේ පොලිස් කොමිසමේ සභාපතිවරයා පත්කරනු ලැබුවේ ‘ව්‍යවස්ථා සභාවක්’ නොතිබුණු කාලයකයි. එනම්, ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත්කිරීමේ බලය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් තමන්ගේ තනි අතට ගෙන තිබූ අවධියකයි. ඉතිං එවැනි පොලිස් කොමිෂන් සභාපතිවරයෙකු රාජපක්ෂලාගේ අන්තේවාසිකයෙකු වශයෙන් කටයුතු කිරීම පුදුමයට කරුණක් නොවේ. හාම්පුතෙකුට නගුට වැනීමක් මිස බිරීමක් බල්ලෙකුගෙන් බලාපොරොත්තු විය නොහේ. මෙවැනි තවත් අය, අල්ලස් කොමිසම සහ රාජ්‍ය සේවා කොමිසම වැනි ‘ස්වාධීන’ යැයි කියන වෙනත් තැන්වලත් සභාපතිවරුන් සහ සාමාජිකයන් වශයෙන් පසුගිය කාලයේ කටයුතු කළහ. ඔවුන්ගේ වාර්තාව අශෝභන එකකි.

කෙසේ වෙතත්, වර්තමාන ආණ්ඩුව විපක්ෂයේද පූර්ණ සහාය ඇතිව පසුගිය දා 21 වැනි ව්‍යස්ථා සංශෝධනය සම්මත කරගත්තේය. ඊට අනුව, ස්වාධීන කොමිෂන් සභාවල එතෙක් පැවති මූලික ස්වභාවය වෙනස් වෙයි. තමා පත් කළ තැනැත්තා වෙනුවෙන් කෘතවේදී වීම හිතේ කොණක තිබුණත්, තමාගේ චර්යාව මේ දිනයෙන් පසු වෙනස් විය යුතු බව හෙවත් තමන් දැන්වත් ‘ස්වාධීන’ විය යුතු බව, හිටපු පොලිස්කාරයෙකු වශයෙන් පොලිස් කොමිසමේ සභාපතිවරයා දැනගත යුතුව තිබුණි. එහෙත් සමහර හෙංචයියන්ගේ ආරේ ගති කොහොමත් නෑරේ. ඉතිං, ඔහුට වර්තමාන සම්මුතිය (21 වැනි ව්‍යවස්ථා සංශෝධනය) මුළුමණින් අමතක විය. ඒ වෙනුවට ඔහුට මතක් වුණේ, පොලිස්පති තනතුරෙන් විශ්‍රාම ගිය පසු බැසිල් රාජපක්ෂගේ ‘බී්‍රෆ් කේස්’ එක උස්සගෙන ඔහුගේ පස්සෙන් ගිය තමාගේ පරණ පුරුද්දයි. ඉතිං ඒ පුරුද්දට මේ මිනිහා බැසිල් රාජපක්ෂ පිළිගැනීමට කටුනායක ගියේය. ඒ ගැන ඔහු දැන් කියන නිදහසට කාරණය කුමක්ද? ඒ වෙලාවේ තමා ගුවන් තොටුපොළේ සිටි බවත්, එහි යම් තැනක සෙනගක් සිටිය බැවින් ඒ ගැන සොයා බැලීමේදී බැසිල් රාජපක්ෂ ලංකාවට ඇවිත් ඇති බව දැනගත්තේලු. සමාජ සමාචාරයක් වශයෙන් එතැනට ඔළුව දැම්මේ ඒ නිසාලු!

මෙවැනි පුද්ගලයෙකු යම් කාලයක අපේ රටේ පොලිස්පති වී සිටීමේ කතාව තුළම, අපේ ආයතනික ක්‍රමය තුළ මොන තරම් ජරාජීර්ණ සුසමාදර්ශයන් තිබෙන්ට ඇත්දැයි අපට සිතාගත හැකිය. බැසිල් රාජපක්ෂ යනු මේ රටේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ අඩුම වශයෙන් පාර්ලිමේන්තුව හෝ පළාත් සභාවක් හෝ ප්‍රාදේශීය සභාවක්වත් නියෝජනය කරන්නෙකු නොවේ. (එවැනි කෙනෙකු පිළිගැනීමට පවා පොලිස් කොමිසමේ සභාපතිවරයෙකු තකහනියක් කටුනායක යාම නොහොබිනා බව වෙනම කතාවකි). ඒ අර්ථයෙන් ගත් විට, මොහු අන්තේවාසිකයෙකුටත් වඩා, වැඩවසම් වහලෙකි. ඒ බව, මීටත් වඩා ඔහු ප්‍රදර්ශනය කළ තවත් අවස්ථාවක් තිබුණි. එනම්, ‘දේශපාලන පළිගැනීම් විභාග කිරීම’ නමින් හැඳින්වුණු සහ පොදු ව්‍යවහාරය තුළ ‘පිස්සු පූසා කොමිසම’ වශයෙන් ගැනුණු, රාජපක්ෂලාගේ මඩ සෝදන ලද සහ විරුද්ධ පක්ෂ පුද්ගලයන් වධහිංසාවට පත්කරන ලද, ගෝඨාභය රාජපක්ෂගේ කොමිෂන් සභාවයි. මොහු එම කොමිසමේද සාමාජිකයෙකි. එහි සභාපති වුණේ, මොහුටත් වඩා නිහීන ඉතිහාසයක් ඇති පුද්ගලයෙකි. මෙවැනි එක සමාන කුරුල්ලන් කොහේ ගියත් එක අත්තක වැසීම සාමාන්‍ය ස්වභාවයයි. අවසානයේ ඒ ඊනියා කොමිසම මොන තරම් සමාජ ගර්හාවට ලක්වීද යත්, අධිකරණය විසින්ම පසුව එය නිෂේධ කර දැමීය.

මේ අතරේ විශිෂ්ටයෝද සිටිති

නගුට වැනීමේ හෝ නීතියට පිටින් හිස නැමීමේ පුරුද්දක් නොතිබුණු අතලොස්සක් හෝ පොලිස් නිලධාරින්ද සිටීම රටේ භාග්‍යයකි. හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර එවැන්නෙකි. චන්ද්‍රා ප්‍රනාන්දු පොලිස්පති වශයෙන් සිටි කාලයේ ශානි අබේසේකර පොලිස් පරීක්ෂකවරයෙකි. ඒ කාලයේ පටන්, අවසානයේ ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමත් සමග වැඩ තහනමට ලක්වන තෙක්, ශානි අබේසේකර මේ රටේ නීතිය සහ යුක්තිය වෙනුවෙන් නිර්භයව කටයුතු කළ ආකාරය මේ වන විට මාධ්‍ය ඔස්සේ යහමින් අනාවරණය වී තිබේ.

ශානි අබේසේකර යටතේ වැඩ කළ ඉතා ශූර පොලිස් පරීක්ෂකයෙකු වූ නිශාන්ත ද සිල්වා, ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූ සැණින් රහසින් විදේශගත විය. රාජපක්ෂලාට සම්බන්ධ අපරාධ සහ දූෂණ ක්‍රියා පිළිබඳ එවකට විමර්ශනය කරමින් සිටි තමා, ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමත් සමග අමානුෂික දඩයමට ලක්වන බව ඔහු සිය සුපුරුදු ඉවෙන් දැන සිටින්ට ඇත. වරක් එවැනි පරීක්ෂණ මෙහෙයවීම නිසා හිටිහැටියේම අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවෙන් මීගමුවට මොහුව මාරු කරන ලදි. එහෙත්, ඒ (යහපාලන) කාලයේ ස්වාධීන පොලිස් කොමිසම කියා දෙයක් රටේ තිබුණි. ඒ නිසා, පැය හතළිස් අටක් යන්නටත් කලින් ඒ මාරුව අවලංගු කිරීමට එදා පොලිස් කොමිසම පියවර ගත්තේය. එහෙත්, ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමත් සමග එවැනි ආයතනික ආරක්ෂාවක් තමන්ට නොලැබෙන බව නිශාන්ත ද සිල්වාට හැඟී යාම පුදුමයක් නොවේ. ඔහුට එසේ හැඟීයාමේ අර්ථවත් බව, පසුව ශානී අබේසේකර අරභයා දිගහැරුණු ක්‍රියාවලියෙන්ම ඔප්පු කෙරුණි.

නිශාන්ත ද සිල්වා විදේශගත වෙද්දී, ශානී අබේසේකරටත් ඉතා පහසුවෙන් වෙන රටකට යන්නට තිබුණි. ඒ සඳහා ඔහුට ඕනෑ තරම් අවස්ථා තිබුණි. එහෙත් ඔහු, අප බොහෝ දෙනා පෙළෙන එක්තරා සොඳුරු මායාවකට යට විය. එනම්, යුක්ති ධර්මය කියා දෙයක් ඇති තාක් කල් තමන් නිරුපද්‍රිත වන බවයි. රිචඩ් ද සොයිසා සහ ලසන්ත වික්‍රමතුංග වැනි අයත් සිතන්නට ඇත්තේ එසේ ය. එම චින්තනය තුළ, වැරදිකරුවා මිස නිවැරදිකරුවා දඬුවමට ලක් නොවේ. දියුණු ලෝකයේ බොහෝදුරට ඒ නියාමය සැබෑ විය හැකි වෙතත්, තුන්වැනි ලෝකයේ බොහෝවිට සැබෑව වන්නේ, ඒ නියාමයේ ප්‍රතිපක්ෂයයි. ඉතිං, ශානි අබේසේකර පිටරට නොගොස් මෙරටේ නැවතුණි.

එතකොට, ඒ සඳහා ඔහුට ගෙවන්ට සිදු වූ වන්දිය?

ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූ ගමන් කළ මුල්ම කර්තව්‍යය වුණේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ එවකට කටයුතු කරමින් සිටි ශානි අබේසේකර, ගාල්ලේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ‘පුද්ගලික සහකාර’ තනතුරට මාරු කර යැවීමයි. මෙය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මුල්ම කර්තව්‍යය යැයි කී විට, එය අතිශයෝක්තියක් යැයි පාඨකයාට සිතෙන්නට පිළිවන.

එසේ නම් මම මෙසේ කියන්නම්: මේ මාරු වීම කෙළේ, 2019 නොවැම්බර් 21 වැනිදා ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වශයෙන් තේරී පත්වුණේ 2019 නොවැම්බර් 18 වැනිදා ය. මතක තියාගන්න: ඒ වන විට, ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ අගමැතිවරයා හෝ ඇමති මණ්ඩලය පවා පත්කොට නැත. මහින්ද රාජපක්ෂ අගමැති තනතුරේ දිවුරුම් දෙන්නේ, 2019 නොවැම්බර් 22 වැනිදා ය. එහි අදහස වන්නේ, තමන්ගේ අගමැතිවරයා ඇතුළු ඇමති මණ්ඩලය පත්කිරීමටත් වඩා ගෝඨාභය රාජපක්ෂට එදා හදිසියේම වැදගත් වී ඇත්තේ, ශානී අබේසේකරව සියලු විමර්ශන කටයුතුවලින් ඉවත් කිරීම සහ ඔහුගෙන් පළිගැනීම බවයි.

තවත් පැහැදිලි කිරීමක් අවශ්‍ය කෙරේ: නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ‘පුද්ගල සහකාර’ තනතුර දරන්නේ, සාමාන්‍යයෙන් පොලිස් පරීක්ෂකවරයෙකි. ඔහුගේ කාර්යය වන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ලියුම් විවෘත කොට බලා වාර්තා කිරීමත්, දුරකථන ඇමතුම්වලට උත්තර දීමත් ය. එවැනි සිල්ලර රාජකාරියකට එදා මාරු කෙරුණු ශානි අබේසේකර, ඒ වන විට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්ව ලැයිස්තුවේ පළමුවැනියා වශයෙන් සිටි පුද්ගලයා ය.

තමන්ගේ නඩු කටයුතුවලින් ඉවත් කිරීමට අමතරව එම පුද්ගලයා හැකිතාක් නින්දාවට පත්කිරීමත්, ගෝඨාභය රාජපක්ෂගේ තිරශ්චීන ආශාවේ කොටසක් වී ඇති බව, මේ මාරුවේ ස්වභාවයෙන් පෙනේ. එහෙත් පසුව එය පවා ගෝඨාභයගේ ආශා සන්තර්පණයට නොසෑහුණි. ඒ අනුව, 2020 ජනවාරි 7 වැනිදා ශානි අබේසේකරගේ වැඩ තහනම් කෙරුණි. මේ වැඩ තහනම් කිරීමට අදාළව ඔහුගෙන් කටඋත්තරයක් ලබා ගැනීම හෝ චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීම හෝ කිසි පරීක්ෂණයක් පැවැත්වීම හෝ, වසර තුනකට ආසන්න කාලයක් ගත වී ඇති අද දක්වාමත් කෙරී නැත. එපමණක් නොව, වැඩ තහනම් කළ දා සිට අවුරුද්දකටත් වැඩි කාලයක් යන තෙක්, ආයතනික සංග්‍රහය පවා උල්ලංඝණය කරමින්, ඔහුගේ අර්ධ වැටුප පවා ගෙවීම මේ පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කොට ඇත. අවසානයේ, වැඩ තහනමට ලක්ව සිටියදී පසුගිය ජුනි මාසයේ ඔහු විශ්‍රාම ගියේය. එහෙත් අද දක්වාමත් ඔහුට විශ්‍රාම වැටුප ගෙවා නැත. උස් පහත්කම් නොතකා, නීතිය අකුරට ක්‍රියාවේ යොදවන පොලිස් නිලධාරීන්ට අපේ රටේ ලැබෙන දඬුවම එයාකාර ය.

කෙසේ වෙතත්, වැඩ තහනමට ලක්ව ඔහුට පාඩුවේ ඉන්නට ලැබුණේ නැත. 2020 ජුලි 31 වැනිදා ඔහුව අත්අඩංගුවට ගැනුණි. ඒ අනුව, මාස 10 ක් සහ දවස් 18 ක් ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය. මෙසේ අත්අඩංගුවට ගැනීමට හේතුව වශයෙන් බලධාරීන් හුවාදැක්වූයේ, ඊට කලින් ශානී අබේසේකර විසින් අපරාධයක සාක්ෂිකරුවෙකුගෙන් ලබාගන්නා ලද සාක්ෂියක් අයුතු බලපෑමෙන් ලබාගත්තේය යන්නයි. මේ චෝදනාවේ පුස්ස හඳුනාගැනීමට, ඒ අරභයා අභියාචනාධිකරණය දෙන ලද ඇප නියෝගයක අන්තර්ගත එක් කරුණක් පමණක් දැක්වීම සෑහේ. ඒ මෙසේ ය: “මෙය (එනම්, ශානි අබේසේකර අත්අඩංගුවට ගැනීම) මරණීය දණ්ඩනයෙන් දඬවම් ලැබූ චූදිතයෙකුගේ උදව්කරුවන් එකතු වෙලා, පසු අවස්ථාවක ශානි අබේසේකර ඉලක්ක කරගෙන කරපු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව පෙනී යයි”. මේ කියන මරණීය දණ්ඩනයෙන් දඬුවම් ලද පුද්ගලයා වන්නේ, බස්නාහිර උතුර භාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන වාස් ගුණවර්ධන ය. මොහු එල්ලුම්ගහට නියම කෙරුණු අපරාධ කටයුත්ත විමර්ශනය කිරීම භාරව සිටි නිලධාරියා වුණේ ශානි අබේසේකරයි.

එක පැත්තකින්, හිටපු පොලිස්පතිවරයෙකු සහ වර්තමාන පොලිස් කොමිසමේ සභාපතිවරයා තවමත් බැසිල් රාජපක්ෂ වැනි පුද්ගලයෙකු පිළිගැනීමට තකහනියක් කටුනායකට යන අතරේ, ශානි අබේසේකර වැනි විශිෂ්ට පොලිස් නිලධාරීන් වධබන්ධනයට පත්කිරීම තවමත් අවසන්ව නොතිබීම කියාපාන්නේ, බලධාරීන්ගේ හෙංචයියෙකු නොවන අවංක රාජ්‍ය නිලධාරියෙකුට ලංකාවේ පැවැත්මක් නැති බව මිස අන් කවරක්ද?

ගාමිණී වියන්ගොඩ

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.