සාමාන්‍යයෙන් අපේ කාලේ ඔය ඕ ලෙවල් (O/L) සහ ඒ ලෙවල් (A/L) කියන්නේ අපි අතිශයින් උනන්දු උන සහ ඒ අනුව ජීවිතේ ඉදිරිය ගැන තීරණගත්ත සහ හැඩගස්සවා ගත්ත විභාග දෙකක්. ඒ විභාග දෙකට අපි හැමෝගෙම පොදු ගෞරවයක් තිබ්බ.
ඉස්කෝල ළමයි හැටියට අපි ඉතින් අපේ මෝඩ කමට විභාග දෙපාර්තමේන්තුවට බැණ බැණ හිටියට එයාල දෙන ඒ අවසන් ප්‍රථිපලය (කොලේ) එක්ක මහා ලොකුවට හැප්පෙන්න ගියේ නැහැ. ඒකට ගරු කළා. ඒ දුන්න ප්‍රතිපලේ එක්ක ජීවිතේ යන්න පුළුවන් ඉදිරිය සහ විකල්ප ගැන හිතන්න ගත්ත.
ගොඩාක් දක්ෂයෝ නොවුන අපේ ඉස්කෝලේ අපේ කැලෑසියේ කොල්ලෝ එයාෆෝස්, නේවි, කැඩෙට් ඔෆිසර්, CCMP නැත්නම් සාමාන්‍ය සෙබළ හරි යන්න මට්ටමේ සුදුසුකම් නැති උනාම කොච්චර දුක්උනාද? උස අඟල් බාගයක් අඩු උනාම කොච්චර දුක් උනාද? ඒත් උන් අර විභාග දේපාර්තමේන්තුවෙන් දුන්න කොලේ වෙනස් කරන්න ගියේ නැහැ. බැණ බැණ හරි ඒක පිළිගත්ත. ඒ අනුව වැඩ කළා.
රිසල්ට් අඩු උන් නේවි එයාෆෝස් ගියේ නැහැ. පාබල හමුදාවේ සාමාන්‍ය සෙබල ගියා. ගිහිල්ල සමහරු මැරුණ. සමහරු බේරුනා. දේවල් එහෙම ගලාගෙන ගියා.
හැබැයි දැන් මේ යෝෂිත බබාගේ සිද්දිය එක්ක දිගහැරෙන අතිශයින් ජුගුප්සාජනක දේවල් එක්ක පේනවා ඒ විභාග දෙපාර්තමේන්තුව දෙන ‘කොළ කෑල්ලේ’ වැදගත්කම. මම කියන්නේ සංකේතීය වැදගත්කම.
යෝෂිතගේ ඔය ලක්සිරි ට්‍රින්කෝ ට්‍රේනින්, කොළඹින් වතුර, වීඩියෝ ෂූටින්, මොබයිල් ටොයිලට්, රගර් භීෂණය, ෆෝන් අරන් පස්සෙන් දුවන සීඕ වගේ අප්පිරිය හිතෙන දේවල් පැත්තකින්ම තිබ්බත් අර විභාගෙන් දෙන ‘කොළ කෑල්ලට’ පස්ස හරවල දේශපාලන හයිය පාවිච්චි කරලා ඇත්තටම තමන්ට හිමිනැති නිල ඇඳුමක් ඇන්දට ඇත්තටම ඒ බබාට ඒ යුනිෆෝම් එකේ ඉන්න ලැබුණේ නැහැ. ආසාවෙන් ඒ රස්සාව කළෙත් නැහැ. අවම වශයෙන් අවුරුදු දහයේ පෙන්ෂන් එක දක්වාවත් සේවයේ හිටියෙත් නැහැ.
එක එකා ජනාධිපති උනාම වෙඩිමට යුනිෆෝම් ඉල්ලලා ඇන්ද. නැත්නම් තාත්තාට බලය නැතිවුනාම යුනිෆෝම් තියල ගෙදර ආව වගේ දේවල් තමයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ රස්සාව ඇතුලේ යෝෂිතට ඉන්න බැරිවෙනවා (survive). ඒකට ඕනි අර පොඩි අධ්‍යාපන පසුබිම (අපි කියන්නේ මූලික සුදුසුකම) නැතිනිසා ඒක සෙට්වෙන්නේ නැති වෙනවා. ඔන්න ඕක තමයි වෙන්නේ.
හැබැයි දහසකුත් එකක් සාමාන්‍ය කොල්ලෝ කෙල්ලෝ නේවි එයාෆෝස් කොමාන්ඩෝ එස්එෆ් පොලිසි පාබල දාල එන්නේ නැතුව අල්ලගෙන හිටිය (යුද්දේ නිසා හමුදාව හැරගිය අය ඇරුනම). උන් එතෙන්ට සෙට්උනා.
අධ්‍යාපන තත්වයන් වගේම ජීවන තත්වයන් එක්ක උන් ඒ රස්සාවේ හිටිය. පෙන්ෂන් ගියා. ඊට පස්සේ සිකුරුටි ජොබ් එකක් හොයාගත්ත. ඔය වගේ නොඑක් දේ කළා. ඒ දේ එක්ක පැවතුනා. ජීවත් උනා. කාටවත් වදයක් උනේ නැහැ. එෆ්සීඅයිඩී ගියේ නැහැ.
‘මේ ඉන්න විත්තිකරු මේ යුනිෆෝම් එක ඇන්දට ඕලෙවල් වත් නැති කෙනෙක්’ කියල උසාවියේ අහගන්න ජීවත්වෙලා මොකටද? ලංකාවේ ජනාධිපති කෙනෙක්ගේ පුතෙක් වෙලා මොකටද? මොකක්ද තමන්ගේ පැවැත්මේ හරය? ඇයි එහෙම කොල්ලෙක් වෙලා ජීවත්වෙන්නේ? මොනාද මේ ජීවිත?
හැම දරුවක්ම ඔය ‘විබාගෙන් දෙන කොළ කෑල්ල’ ගැන සීරියස් වෙන්න. ඒක දෙයියෝ නෙවෙයි තමයි. ඒකට අභියෝග කරන්න බැහැ කියල කියනවා නෙවෙයි. ඕනි තරම් ඉන්නවා ඒ කොළ කෑල්ලට අභියෝග කරලා ජීවිතේ ජයගත්ත අය. හැබැයි උත්සාහයෙන්. සුහුරු බවෙන්. කල්පනාකාරී වෙලා. දේශපාලන බලයෙන් නෙවෙයි. අත්තනෝමතික විදියට නෙවෙයි. එහෙම යුනිෆෝම් තාවකාලිකයි.
මේක කවදා හෝ තමන් මෙවැන්නෙක් නොවෙන්නේ කෙසේද යන්න ගැන කේස් ස්ටඩි එකක්.
~ මහේෂ් හපුගොඩ


