ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස හැරී කේන් කිරුළු පළඳී – කාන්තා Ballon d’Or සම්මානය ඇලෙක්සියා පුටෙලාස්ට!

සටහන – පුලී

ඔක්තෝම්බර් 27, LNW (කොළඹ): ලොව පාපන්දු ක්‍රීඩකයකුට හිමි කරගත හැකි ඉහළම පෞද්ගලික ගෞරවයක් ලෙස සැලකෙන 2026 Ballon d’Or සම්මානය දිනා ගැනීමට එංගලන්ත ජාතික කණ්ඩායමේ නායක හා ජර්මනියේ බයර්න් මියුනික් (Bayern Munich) කණ්ඩායමේ ප්‍රහාරක ක්‍රීඩක හැරී කේන් සමත් විය. කාන්තා අංශයේ Ballon d’Or සම්මානය ස්පාඤ්ඤ ජාතික ඇලෙක්සියා පුටෙලාස් දිනාගත්තාය. මෙවර සම්මාන උළෙල ඔක්තෝබර් 26 වැනිදා එංගලන්තයේ ලන්ඩන් නුවරදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

මෙම ජයග්‍රහණයත් සමඟ වසර 25කට පසු පිරිමි Ballon d’Or සම්මානයක් දිනාගත් පළමු එංගලන්ත ක්‍රීඩකයා බවට හැරී කේන් පත්විය. මීට පෙර 2001 වසරේදී මයිකල් ඕවන් මෙම සම්මානය දිනාගෙන තිබිණි. 1956 වසරේදී ආරම්භ වූ මෙම සම්මානයේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් මෙවර උළෙල ප්‍රංශයෙන් පිටත, එංගලන්තයේදී පැවැත්වීම ද විශේෂත්වයකි.

ගෝල 73ක් සමඟින් කේන් පාපන්දු ලොව ඉස් මුදුනටම!

පසුගිය තරග වාරයේදී සමාජ කණ්ඩායම සහ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් තරග 65කට සහභාගි වූ හැරී කේන් ගෝල 73ක් වාර්තා කරමින් විශිෂ්ට දස්කම් දැක්වීය. එම ගෝල සංඛ්‍යාවට බයර්න් මියුනික් කණ්ඩායම වෙනුවෙන් වාර්තා කළ ගෝල 61ක් සහ එංගලන්තය වෙනුවෙන් වාර්තා කළ ගෝල 12ක් ඇතුළත් වේ.

ඔහුගේ විශිෂ්ට දායකත්වය හේතුවෙන් බයර්න් මියුනික් කණ්ඩායමට ජර්මානු දේශීය තරගාවලි ජයග්‍රහණ රැසක් හිමි කරගැනීමට හැකි වූ අතර, කේන් එංගලන්ත ජාතික කණ්ඩායම වෙනුවෙන් ද කැපී පෙනෙන දස්කම් දැක්වීය. 2023 වසරේදී බයර්න් මියුනික් කණ්ඩායමට එක්වීමෙන් පසුව ඔහුගේ ක්‍රීඩා දිවිය තවත් ඉහළ මට්ටමකට පැමිණ තිබේ.

මෙවර සම්මානය සඳහා ප්‍රංශයේ කිලියන් එම්බාපේ සහ ස්පාඤ්ඤයේ ලැමින් යමාල් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයන් සමඟ තරග කළ කේන්, ඔවුන් අභිබවා පිරිමි Ballon d’Or සම්මානය දිනා ගැනීමට සමත් විය.

“ලන්ඩනයේදී මේ සම්මානය ලැබීම විශේෂයි” – හැරී කේන්

සම්මානය ලබාගැනීමෙන් අනතුරුව අදහස් දැක්වූ හැරී කේන්, සිය මව් රටේ අගනුවර වන ලන්ඩනයේදී මෙම ගෞරවය හිමිවීම තමන්ට අතිශය විශේෂ අවස්ථාවක් බව ප්‍රකාශ කළේය.

තමන් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ සියලු දෙනාට ස්තුතිය පළ කළ ඔහු, මෙවර සම්මානය සඳහා තරග කළ අනෙකුත් ක්‍රීඩකයන්ගේ දස්කම් ද අගය කළේය. සම්මානය ලබාගැනීමට වේදිකාවට පැමිණි අවස්ථාවේදී ප්‍රේක්ෂකයන් “හැරී, හැරී” යනුවෙන් හඬ නඟමින් ඔහුට සුබපැතීම ද උළෙලේ කැපී පෙනෙන අවස්ථාවක් විය.

කේන් සිය ජයග්‍රහණය සඳහා බයර්න් මියුනික් සහ එංගලන්ත කණ්ඩායම්වල සගයන්, පුහුණුකරුවන් සහ තමන්ට සහාය දුන් සියලු දෙනාට ස්තුතිය පළ කළේය. කණ්ඩායම් සගයන්ගේ සහයෝගය, පුහුණුවීම්වලදී ඇති තරගකාරීත්වය සහ කණ්ඩායමක් ලෙස එකට ක්‍රීඩා කිරීම තම සාර්ථකත්වයට විශාල ශක්තියක් වූ බව ද ඔහු අවධාරණය කළේය.

කාන්තා Ballon d’Or සම්මානය තෙවැනි වරටත් ඇලෙක්සියා පුටෙලාස්ට!

කාන්තා පාපන්දු පිටියේ විශිෂ්ටතම ක්‍රීඩිකාවක් වන ස්පාඤ්ඤ ජාතික ඇලෙක්සියා පුටෙලාස් මෙවර කාන්තා Ballon d’Or සම්මානය දිනාගත්තාය. ඇය මෙම සම්මානය දිනාගත් තෙවැනි අවස්ථාව මෙය වන අතර, මීට පෙර 2021 සහ 2022 වසරවලදී ද ඇය එම ගෞරවය හිමි කරගෙන තිබිණි.

බාර්සිලෝනා කාන්තා කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩිකාවක ලෙස පසුගිය තරග වාරයේදී පුටෙලාස් දැක්වූ දස්කම් ඇයගේ ජයග්‍රහණයට ප්‍රධාන හේතුවක් විය. කණ්ඩායම වෙනුවෙන් දේශීය හා ජාත්‍යන්තර තරගාවලිවලදී ඇය දැක්වූ දායකත්වය විශේෂ ඇගයීමට ලක් විය.

දණහිසේ ඉදිරි කුරුස බන්ධනයට (ACL) සිදුවූ ආබාධයක් හේතුවෙන් ඇයගේ ක්‍රීඩා දිවියට අභියෝග එල්ල වී තිබුණ ද, නැවතත් ඉහළම මට්ටමට පැමිණීමට පුටෙලාස් සමත් වීම මෙම ජයග්‍රහණය තවත් සුවිශේෂී කරයි. ඇය පසුගිය වසර ගණනාව පුරා කාන්තා පාපන්දු ක්‍රීඩාවේ ප්‍රමුඛතම නාමයක් බවට පත්ව සිටින්නීය.

සම්මානය ලබාගැනීමෙන් අනතුරුව අදහස් දැක්වූ පුටෙලාස්, තමන්ට මෙම ගෞරවය හිමිවීම පසුගිය තරග වාරයේදී කණ්ඩායමක් ලෙස ලබාගත් සාර්ථකත්වයේ ප්‍රතිඵලයක් බව පැවසුවාය. බාර්සිලෝනා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කිරීමට ලැබීම පිළිබඳව ද ඇය කෘතඥතාව පළ කළාය.

මෙවර Ballon d’Or සම්මාන උළෙල පැවැත්වුණේ ලන්ඩනයේ සුප්‍රසිද්ධ ලන්ඩන් පැලේඩියම් (London Palladium) රඟහලේදීය. ලොව ප්‍රමුඛ පෙළේ පාපන්දු ක්‍රීඩකයන්, පුහුණුකරුවන්, නිලධාරීන් සහ ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වූ මෙම උළෙල අලංකාර රතු පලසක් සහ උත්කර්ෂවත් උත්සවයකින් සමන්විත විය.

කෙසේ වෙතත්, ලන්ඩනයේ පැවැති අධික වර්ෂාව සහ දැඩි රථවාහන තදබදය හේතුවෙන් උළෙල ආරම්භ කිරීම මිනිත්තු 45කින් පමණ ප්‍රමාද විය. බොහෝ ප්‍රසිද්ධ ක්‍රීඩකයන් සහ ආරාධිතයන් නියමිත වේලාවට උත්සව භූමියට ළඟා වීමට නොහැකි වීම ඊට හේතු විය.

එම බාධා මධ්‍යයේ වුවද උළෙලට පැමිණි ක්‍රීඩකයන්ගේ විලාසිතා, රතු පලසේ දර්ශන සහ සම්මාන ප්‍රදානය කිරීමේ අවස්ථා ලොව පුරා පාපන්දු ලෝලීන්ගේ අවධානය දිනාගත්තේය.

ලැමින් යමාල්ට වසරේ විශිෂ්ටතම තරුණ ක්‍රීඩකයාට හිමි සම්මානය

පිරිමි Ballon d’Or සම්මානය දිනාගැනීමට නොහැකි වුවද, බාර්සිලෝනා සහ ස්පාඤ්ඤ ජාතික කණ්ඩායම් නියෝජනය කරන ලැමින් යමාල් පිරිමි අංශයේ වසරේ විශිෂ්ටතම තරුණ ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්තේය.

මෙය ඔහු එම සම්මානය අඛණ්ඩව දිනාගත් තෙවැනි අවස්ථාව වීම විශේෂත්වයකි. තරුණ වයසේදීම ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයන් අතරට පැමිණීමට යමාල් සමත් වී ඇති අතර, ඔහුගේ අනාගතය පිළිබඳව පාපන්දු විචාරකයන්ගේ විශාල අවධානයක් යොමුව තිබේ.

කාන්තා අංශයේ වසරේ විශිෂ්ටතම තරුණ ක්‍රීඩිකාවට හිමි සම්මානය බාර්සිලෝනා කණ්ඩායමේ ස්පාඤ්ඤ ක්‍රීඩිකා විකී ලෝපෙස් දිනාගත්තාය. ඇය ද මෙම සම්මානය අඛණ්ඩව දිනාගත් දෙවැනි අවස්ථාව මෙය විය.

අනෙකුත් ප්‍රධාන සම්මාන ජයග්‍රාහකයෝ!

මෙවර සම්මාන උළෙලේදී පිරිමි හා කාන්තා පාපන්දු ක්ෂේත්‍රයේ විශිෂ්ට දස්කම් දැක්වූ තවත් ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ කණ්ඩායම් රැසක් ඇගයීමට ලක් විය.

පිරිමි අංශයේ වසරේ හොඳම ගෝල රකින්නාට හිමි සම්මානය ස්පාඤ්ඤයේ උනායි සිමොන් දිනාගත් අතර, කාන්තා අංශයේ එම සම්මානය හිමි වූයේ කැටා කොල්ටය.

ස්පාඤ්ඤ ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලුයිස් දෙ ලා ෆුවෙන්තේ පිරිමි අංශයේ වසරේ හොඳම පුහුණුකරු ලෙස සම්මානයට පාත්‍ර වූ අතර, බාර්සිලෝනා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු පෙරේ රෝමියු කාන්තා අංශයේ හොඳම පුහුණුකරු සම්මානය දිනාගත්තේය.

වසරේ හොඳම පිරිමි සමාජ කණ්ඩායම ලෙස පැරිස් සෙන්ට් ජර්මේන් (Paris Saint-Germain) තේරී පත්වූ අතර, වසරේ හොඳම කාන්තා සමාජ කණ්ඩායම ලෙස බාර්සිලෝනා කාන්තා කණ්ඩායම සම්මානයට පාත්‍ර විය.

පිරිමි අංශයේ වසරේ හොඳම ප්‍රහාරකයාට හිමි Gerd Müller Trophy සම්මානය ද හැරී කේන් දිනාගත් අතර, කාන්තා අංශයේ එම සම්මානය මෙක්සිකානු ක්‍රීඩිකා චාර්ලින් කොරල් දිනාගත්තාය.

පාපන්දු ක්‍රීඩාවෙන් ඔබ්බට ගොස් මානුෂීය හා සමාජ සේවා කටයුතු සඳහා දායක වන ක්‍රීඩකයන් ඇගයීමට පිරිනමන Sócrates සම්මානය හිමි වූයේ එංගලන්තයේ සහ ආර්සනල් කණ්ඩායමේ ක්‍රීඩක බුකායෝ සාකාටය.

2026 Ballon d’Or සම්මානවල ප්‍රධාන ජයග්‍රාහකයන්

  • පිරිමි Ballon d’Or: හැරී කේන් – එංගලන්තය / බයර්න් මියුනික්
  • කාන්තා Ballon d’Or: ඇලෙක්සියා පුටෙලාස් – ස්පාඤ්ඤය / බාර්සිලෝනා සහ ලන්ඩන් සිටි ලයන්ස්
  • වසරේ හොඳම තරුණ ක්‍රීඩකයා: ලැමින් යමාල් – ස්පාඤ්ඤය / බාර්සිලෝනා
  • වසරේ හොඳම තරුණ ක්‍රීඩිකාව: විකී ලෝපෙස් – ස්පාඤ්ඤය / බාර්සිලෝනා
  • වසරේ හොඳම පිරිමි ගෝල රකින්නා: උනායි සිමොන් – ස්පාඤ්ඤය
  • වසරේ හොඳම කාන්තා ගෝල රකින්නිය: කැටා කොල් – ස්පාඤ්ඤය / බාර්සිලෝනා
  • වසරේ හොඳම පිරිමි පුහුණුකරු: ලුයිස් දෙ ලා ෆුවෙන්තේ – ස්පාඤ්ඤ ජාතික කණ්ඩායම
  • වසරේ හොඳම කාන්තා පුහුණුකරු: පෙරේ රෝමියු – බාර්සිලෝනා
  • වසරේ හොඳම පිරිමි සමාජ කණ්ඩායම: පැරිස් සෙන්ට් ජර්මේන්
  • වසරේ හොඳම කාන්තා සමාජ කණ්ඩායම: බාර්සිලෝනා
  • වසරේ හොඳම පිරිමි ප්‍රහාරකයා: හැරී කේන්
  • වසරේ හොඳම කාන්තා ප්‍රහාරිකාව: චාර්ලින් කොරල් – මෙක්සිකෝව / පචූකා
  • Sócrates සම්මානය: බුකායෝ සාකා – එංගලන්තය / ආර්සනල්

2026 Ballon d’Or සම්මාන උළෙලේ ප්‍රධානතම අවධානය හැරී කේන් සහ ඇලෙක්සියා පුටෙලාස් වෙත යොමු වුවද, එය තරුණ ක්‍රීඩකයන්ගේ නැගී ඒම සහ ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩාවේ ශක්තිය ද මනාව පිළිබිඹු කළේය.

විශේෂයෙන්ම වසර 25කට පසු එංගලන්ත ක්‍රීඩකයකුට පිරිමි Ballon d’Or සම්මානය හිමිවීම එරට පාපන්දු ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයකි. එමෙන්ම පුටෙලාස් තෙවැනි වරටත් කාන්තා Ballon d’Or සම්මානය දිනාගැනීම ඇයගේ අඛණ්ඩ විශිෂ්ටත්වයට සාක්ෂියකි.

ලොව පුරා පාපන්දු ලෝලීන්ගේ අවධානය දිනාගත් මෙවර උළෙල, පුද්ගලික දක්ෂතා පමණක් නොව කණ්ඩායම් හැඟීම, කැපවීම සහ ක්‍රීඩාවේ විශිෂ්ටත්වය ද ඇගයීමට ලක් කළ අවස්ථාවක් ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

Image
Harry Kane in Thom Sweeney
Image
Lamine Yamal in Chanel
Image
Luis Diaz in Louis Vuitton
Image
Kylian Mbappé in Dior
Image
Johan Manzambi in Saint Laurent
Image
Ousmane Dembélé in Zegna
Image
Ibrahim Maza in Hugo Boss
Image
Mark Cucurella in Louis Vuitton
Image
Yan Diomandé in Dolce & Gabbana
Image
Michael Olise in Chrome Hearts

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැතිවරණ පරාජයත් සමඟ ෆ්ලේවියෝ බොල්සොනාරෝ ඇමරිකාවට පලා යයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : බ්‍රසීල...

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 30ජීවිතක්ෂයට; 80 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : ස්පාඤ්ඤයේ...

ඊශ්‍රායල් මැතිවරණයේ නෙතන්යාහු සහ අයිසන්කොට්ගේ කණ්ඩායම් දෙකටම පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවන ලකුණු

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : 2026...

BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී...