*
Monday, May 6, 2024
spot_img

Latest Posts

පක්ෂ කඩාගෙන ජාතික ආණ්ඩුව එයි ද? පොහොට්ටුව ආණ්ඩුවෙන් ඉවත්වෙයි ද? කැබිනට් සංශෝධනය අතළඟ – විධායකය අහෝසියට සජිත් ගේත් සහය – මැතිවරණ කල් දමන කුමන්ත්‍රණ චෝදනා – මෛත්‍රී ඇමරිකාවට

  • පක්ෂ කඩාගෙන ජාතික ආණ්ඩුව එයි ද?
  • පොහොට්ටුව ආණ්ඩුවෙන් ඉවත්වෙයි ද?
  • කැබිනට් සංශෝධනය අතළඟ
  • විධායකය අහෝසියට සජිත් ගේත් සහය
  • මැතිවරණ කල් දමන කුමන්ත්‍රණ චෝදනා
  • මෛත්‍රී ඇමරිකාවට

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): විවිධ අදහස් පැවතිය ද, විවිධ ආගම් සහ ජාතීන්ට මෙන්ම විවිධ දේශපාලන පක්ෂවලට අයත් වූව ද රටේ අනාගතය වෙනුවෙන් සියලුදෙනා පොදු එකඟතාවකට එක්වීමේ භාරදූර වගකීම ඉටු කිරීමට කාලය එළැඹ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් සිදුකළ කතාව මේ සතියේ බොහෝ අවධානයට ලක්වූ අතර ඉදිරියේ දේශපාලන ලෝකය තුළ සිදුවෙමින් පවතින තත්ත්වයන් සම්බන්ධයෙන් එය හෙළිදරව්වක් ලෙස ද සැලකිය හැක.

රට ගොඩනැඟීමට ආණ්ඩුව ආරම්භ කර ඇති වැඩපිළිවෙළ තවදුරටත් වේගවත් කළ හැක්කේ සියලුදෙනා සමඟියෙන් ඒ සමඟ එක්වූවහොත් පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පදවි තානාන්තර පිළිබඳ සිහින මවන ඇතැමුන් තනතුරු වෙනුවෙන් රටට අසත්‍ය ප්‍රකාශ කරමින් සිටින බව ද යථාර්ථයට පිටුපා සිහින මාවතේ ගමන් කළහොත් යළි රට මහා අනතුරකට පත්වන බව ද විවිධ පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් රට පිළිබඳ වගකීම පැහැර හැරියහොත් ඉතිහාසය විසින් අප ද්‍රෝහීන් ලෙස නම් කරනු ඇති බව ද පෙන්වා දුන්නේය.

තමන්ගේ පෞද්ගලික සිහිනය වෙනුවෙන් නොව රටේ පොදු සිහිනය සැබෑ කරලීම වෙනුවෙන් අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට එක්වන ලෙස ද ජනාධිපතිවරයා මෙහි දී සියලුදෙනාට ආරාධනා කළේය.

ජනපතිගෙන් සජබ ට හා ජවිපෙට ආරාධනා

තමා දැඩිව විවේචනය කළ පොදුජන පෙරමුණේ බහුතරය රටේ යහපත වෙනුවෙන් පැරණි එදිරිවාදිකම් පසකෙලා රට වෙනුවෙන් පොදු ගමනකට එකඟ වූවා නම් තමා සමඟ බොහෝ කලක් සමීපව කටයුතු කළ සමගි ජන බලවේගයට එසේ කළ නොහැක්කේ මන්දැයි ජනාධිපතිවරයා මෙහි දී විමසා සිටියේය.

“යහපාලන ආණ්ඩුව සමයේ ජනතා විමුක්ති පෙරමුණ අප සමඟ ඉතා සමීපව වැඩ කටයුතු කළා

‘ජනතා විමුක්ති පෙරමුණ යහපාලන ආණ්ඩුව සමයේ අපත් සමඟ සමීපව වැඩ කටයුතු කළා.

දූෂණ විරෝධී කාර්යාලය මෙහෙයවීම සඳහා ආනන්ද විජේපාල ගේ නම යෝජනා කළෙත් අනුර දිසානායකමයි. ඒ කාර්යාලයේ ලිපිගොනු පිටපත් තවමත් අනුර දිසානායක ළඟ තිබෙනවා..ඉතින් රට වෙනුවෙන් පොදු ගමනකට එකතු වෙන්න ජනතා විමුක්ති පෙරමුණට බැරි ඇයි. අපි මැතිවරණවලදී වෙන් වී තරග කරමු. ඒත් රට ගොඩනැංවීමේ දී එකට එක් වී කටයුතු කරමු’ ” ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව පාර්ලිමේන්තු සැසිය ආරම්භ කරමින් ප‍්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරන ලද අවස්ථාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් රැසක් වර්ජනය කළහ.

ජනාධිපතිවරයා සිය කතාව ආරම්භ කිරීමත් සමඟ ඔවුන් සභා ගර්භයෙන් පිටව ගිය නමුත් සමඟි ජන බලවේග මන්ත්‍රීවරුන් කොටසක් සභා ගර්භයේ දිගටම රැඳී සිටිමින් ජනාධිපතිවරයාගේ කතාවට සවන් දුන්හ.

සජබ වර්ජනය කරද්දී රාජිත – වෙල්ගම පාර්ලිමේන්තුවේ

රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, සරත් ෆොන්සේකා, ඉෂාක් රහුමාන්, වඩිවෙල් සුරේෂ්, ඒ.එච්.එම් ෆවුසි, ෆයිසල් කාසිම් ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දස දෙනෙකු මෙසේ සභා ගර්භයේ රැඳී සිටියහ. තලතා අතුකෝරළ ද එසේ සභා ගර්භයේ රැඳෙන බව මුල දී පවසා තිබුන ද ඇය සභා ගර්භයට පැමිණ තිබුනේ නැත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජිත අනෙකුත් මන්ත්‍රීවරුන් සමඟ පවසා තිබුනේ චන්ද්‍රිකාගේ පාලන සමයේ රනිල් මේ ආකාරයට වර්ජනය කරද්දී ද තමන් එම අවස්ථාවන්ට සහභාගී වූ බවය. මෙය පාර්ලිමේන්තු සම්ප්‍රදාය බවත් එන් .එම් පෙරේරා එදා ඩඩ්ලි සමඟ කොතරම් සටන් කළ ද පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්ෂාකළ අයුරු රාජිත පෙන්වා දුන්නේය. චන්ද්‍රිකා තමන්ට එදා නඩු 5ක් දමා තිබුනද සුසන්ත පුංචි නිලමේත් එදා එහි රැඳී සිටි අයුරු ඔහු විස්තර කළේය.

සරත් ෆොන්සේකාට රනිල් කියපු දේ…..

මේ අතර ජනාධිපතිවරයා සහ සරත් ෆොන්සේකා අතර පාර්ලිමේන්තුවේදී පැවති සාකච්ඡාවක් සම්බන්ධයෙන් ද බොහෝ දෙනා කතාකරති. ඉදිරියේ දී පිහිටුවන ජාතික ආණ්ඩුවක තනතුරක් සරත් ෆොන්සේකාට ලබාදෙන බවට ද රාවයන් පවතී. මේ අතර සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගන්නා ලෙසට සජබ ජන බලවේගයට දැඩි බලපෑම් එල්ලවෙමින් තිබේ. සරත් ෆොන්සේකා යනු දරුණු විවේචකයකු නිසා ඇතැම්විට ඉදිරි මැතිවරණ වල දී ඔහුගේ සහාය අවශ්‍ය වනු ඇත.

ඕස්ට්‍රේලියානු සංචාරයෙන් පසු කැබිනට් වෙනසක් ?

මේ අතර ජනධිපතිවරයා ඕස්ට්‍රේලියානු සංචාරය නිමවා පැමිණි වහාම විවිධ මන්ත්‍රීවරුන් සමඟ වෙනවෙනම සාකච්ඡා කීපයක් පැවැත්වීමට නියමිතය. මේ සඳහා ජනාධිපතිවරයා සංවිධාන කටයුතු පවරා ඇත්තේ දිනේෂ් වීරක්කොඩි වෙතය.

මෙම සාකච්ඡා වලින් පසු ඇතැම් විට සජබ මන්ත්‍රීවරු පිරිසක් ද එක්කර ගෙන ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ උත්සාහයක් ද පවතී. වහාම මේ කටයුත්ත සිදු නොකළහොත් මැතිවරණය ආසන්නයේ කිසිවකුත් රනිල් සමඟ එක්වන්නට දේශපාලන තීරණයක් නොගනු ඇත.කෙසේ වෙතත් ප්‍රබල කැබිනට් සංශෝධනයක් ගැන දැඩි කතාබහක් ඇති අතර එහිදී දැනට ඇමති ධුර වල සිටින ආන්දෝලනාත්මක චරිත කීපයකට වෙනත් ඇමති ධුර හිමි වනු ඇත.

පොහොට්ටුව ආණ්ඩුවෙන් ඉවත් වෙයි ද?

මේ අතරේ ජනාධිපතිවරයා හා පොහොට්ටුව අතර තවමත් ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එකඟතාවයක් නොමැත. ඇතැමුන් පවසන්නේ නාමල් ගේ අභිප්‍රාය මීළඟ මහා මැතිවරණයෙන් පසු විපක්ෂ නායක ධුරය බවය. මහින්ද ගේ අදහස තවත් අවුරුදු පහක් රනිල් සමඟ එක්ව කටයුතු කිරීමය. බැසිල්ගේ අදහස තවමත් පැහැදිලි නැත. ඇතැමුන් පවසන්නේ මාර්තු මාසය වන පොහොට්ටුවේ කොටසක් ආණ්ඩුවෙන් ඉවත්වනු ඇති බවය. එහෙත් වර්තමාන ඇමති මණ්ඩලයෙන් වැඩි කොටසක් රනිල් සමඟ රැඳෙනු ඇත. ඇතැමුන් පවසන්නේ 2015 යහපාලන ආණ්ඩුව නැවතත් ප්‍රතිනිර්මාණය වෙමින් පවතින බවය. දේශපාලනයේ සදාකාලික හතුරෝ හෝ සතුරෝ නැති බවට වන වියදම යලිත් වරක් සනාතවෙමින් පවතී.

අනුරගේ සංචාරය

මේ සතියේ තවත් ප්‍රධානතම සිදුවීමක් වූයේ මාලිමාවේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසේ ඉන්දීය සංචාරයයි. දැඩි ඉන්දීය විරෝධී ප්‍රතිපත්තියක සිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාව හදිසියේම ඉන්දීය සංචාරයක නිරතවීම බොහෝ දෙනාගේ විමතියට කරුණක් විය. කෙසේ වෙතත් ඉන්දීය මහා මැතිවරණය අප්‍රේල් මාසයේ ආරම්භ වන බැවින් ඊට ප්‍රථම මෙරට ප්‍රධාන පෙලේ නායකයන් හා ඉන්දීය රජයේ නියෝජිතයන් අතර සාකච්ඡා ඉදිරි මාස දෙක තුළ ම පැවැත්වේ. ඒ අනුව රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, මෛත්‍රීපාල සිරිසේන, සුසිල් ප්‍රේමජයන්ත, නාමල් රාජපක්ෂ ආදී දේශපාලනඥයන් ගණනාවක් ඉදිරි දිනවලදී ඉන්දීය නියෝජිතයන් සමඟ සාකච්ඡා සඳහා සහභාගී වෙති. මේ අය අතරින් සමහරු හමුවන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිව ය.
මේ අතර අනුර කුමාරලාගේ සංචාරයේ දී ඉන්දීය විදේශ ඇමති ජයිෂන්කර් හා ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෙවොල් ද හමුවූ අතර පසුව ඔවුන් ඉන්දියාවේ විවිධ කර්මාන්ත ද නැරඹුහ. අමුල් කර්මාන්ත ශාලාව ද ඒ අතර විය. එය වඩා වැදගත් වන්නේ අමුල් සමාගම ශ්‍රී ලංකාවේ මිල්කෝ හා NLDB ගොවිපල හිමි කරගන්නට උත්සහ ගැනීමත් ජවිපෙ වෘත්තීය සමිති ඊට විරෝධය පෑමත් නිසාය. ශ්‍රී ලංකා ටෙලිකොම්, මන්නාරම සුළං බලාගාරය ආදී ගනුදෙනු සඳහා මාලිමාවේ ක්‍රියාකලාපය දැන් රටම බලා සිටී. බොහෝ දෙනෙකු පවසන්නේ මෙවන් සංචාර සඳහා අනුර කුමාර නොගොස් දෙවන පෙළ කණ්ඩායමක් යැවිය යුතුව තිබු බව ය. එහෙත් ඔහු මීට පෙර ඇමරිකාවටත්, පසුගිය මාසයේ චීනයටත් ගොස් තිබේ. එහෙත් ඒ කිසිඳු සංචාරයක් සම්බන්ධයෙන් මේ තරම් අවධානයක් යොමුවූයේ නැත. එම සංචාර ද දේශපාලන සංචාර වූ අතර ඇතැම්විට මේ සංචාරය මේ අන්දම ආන්දෝලනාත්මක වූයේ ඔවුන්ගේම ඉන්දීය විරෝධය නිසා වන්නට ද පුළුවන.

ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණයකට උත්සහයක් ?

බොහෝදෙනා බලාසිටින ජනාධිපතිවරණය වෙනුවට මහා මැතිවරණයක් කුමන හෝ මොහොතක පැවැත්වෙන බවට දේශපාලන ක්ෂේත්‍රය තුළ මේ වන විට ලැව් ගින්නක් සේ පැතිර යමින් තිබේ.

මහා මැතිවරණයක් පැවැත්වීම යනු මේ වන විට තිබෙන තත්ත්වයේ උඩු යටිකුරු වීමක් වන අතර එවිට ඇතිවන තත්ත්වයන් සම්පුර්නයෙන්ම වෙනස් ස්වරූපයක් වනු ඇත.
එසේම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව ද කරලියට පැමිණ තිබේ. ඒ සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වන කරු ජයසූරිය හරහාය.

විපක්ෂය චෝදනා කරන්නේ මේ උත්සාහය ජනාධිපතිවරණය කල් දැමීමට දරන උත්සහයක් ලෙසටය. මේ නිසා කරු ජයසූරියට ද පාර්ලිමේන්තුවේ දී නම භාවිත නොකර විපක්ෂයේ චෝදනා වලට ලක් වන්නට සිදු විය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම

ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සිදුකළ යුතු බවට විශේෂ සාකච්ඡාවක් ආණ්ඩුව පාර්ශ්වයෙන් හා සිවිල් සංවිධාන අතරද සිදුව තිබේ.
අදාළ පාර්ශවයන් මෙහි දී සඳහන් කර ඇත්තේ අදාළ යෝජනාවට කිසිඳු පක්ෂයකට විරුද්ධ වීමට නොහැකි වනු ඇති බවය.

එයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ, පොදුජන පෙරමුණ, එජාප, සජබ, ජාජබ ඇතුළු සියලු පාර්ශවයන් ජනාධිපතිවරණ ගණනාවකදීම විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳව පොරොන්දු ලබා දී තිබීමයි.

කෙසේ නමුත් අදාළ යෝජනාව සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත ලබා ගැනීමට සිදු වේ. එය කිසිඳු ගැටලුවක් නොවන බවට අදාළ සාකච්ඡාවේ දී එම පාර්ශව අවධාරණය කර ඇතිනමුත් අපට දැන ගන්නට ඇත්තේ මේ මොහොතේ එවැනි උත්සාහයකට විපක්ෂයේ අති බහුතරයක් විරුද්ධ වනු ඇති බවය. පාර්ලිමේන්තුවෙන් එය සම්මත කර ගත්තද ජනමත විචාරණයක් පවත්වා ඊට බහුතර ජනතාවගේ කැමැත්ත ලබා ගැනීමට ද සිදු වනු ඇත. මේ සියල්ල සඳහා විශාල කාලයක් ද ගත වනු ඇත. ඒ සඳහා විපක්ෂය වර්තමාන ජනාධිපතිවරයාට කල් ලබා දෙනු ඇත්දැයි කීමට බැරිය. එසේම සමස්ත විපක්ෂය ඒ සඳහා ඉඩ ලබා නොදුනහොත් රට තුළ විශාල ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවනු ඇත.

ජනාධිපතිවරණය 2024

එසේම විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සිදුකර ජනාධිපතිවරණය පවත්වනවා ද? එසේ නොමැතිව ජනාධිපතිවරණයෙන් පසුව විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නේ ද යන්න ගැන ගැනද විවිධාකාර මත පලවී තිබේ. ජනාධිපතිවරණයෙන් පසුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පත්වන ජනාධිපතිවරයා කටයුතු නොකළහොත් කිසිවෙකුට ඒ සඳහා ගත හැකි පියවරක් ද නොමැත. එසේම අහෝසි කෙරෙන ජනාධිපති ධුරයකට යලිත් ජනාධිපතිවරණයක් පැවැත්වීම ද තේරුමක් නොමැති කටයුත්තක් ලෙස ඇතැමුන් සලකති.

කෙසේ වූව ද මෙය අවසන් ජනාධිපතිවරණය විය යුතු බව ඇතැමුන් මත පල කර තිබේ. මේ කෙසේ වෙතත් මේ කිසිවකින් ජනතාවට අත්වන කිසිඳු වාසියක් නොමැති අතර එය දේශපාලනඥයන්ගේ බලය පවත්වා ගෙන යාම සම්බන්ධ කාරණයක් පමණක්ම වනු ඇත. ඒ සියල්ල අතරේ 2024 ජනාධිපතිවරණය පවත්වන්නට සිදුවීම වැළක්විය නොහැක.

විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනයට සජිත් ප්‍රේමදාසගේත් සහය

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ පසුගිය කාලයේත් අද දවසේත් විවිධ අවස්ථාවල දී පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, නිදහස, දේශපාලනය කිරීමේ අයිතිය පැහැර ගැනීමේ ප්‍රධාන ආයුධය ලෙස විධායක ජනාධිපති බලතල පත්කර ඇති බැවින් විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය විය යුතු බව සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස විශ්වාස කරන බවය.

විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමේ මුවාවෙන් වත්මන් ජනාධිපතිවරයා ජනතාවගේ ජනවරම, ඡන්ද අයිතිය නැති කරන්න උත්සාහ කරනවා නම් එයට ඉඩ නොදෙන බවත් 2024 වසරේ පැවැත්වීමට ඇති ජනාධිපතිවරණය සහ මහමැතිවරණයත් අනිවාර්යෙන් සිදුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 91 වැනි අදියර යටතේ මැද කොළඹ ශාන්ත ආනා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් චෝදනා

මේ අතර ජනාධිපතිවරණය කල් දැමීමේ උත්සාහයක් පවතින බවට විපක්ෂය පාර්ලිමේන්තුවේ දී චෝදනා කළේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී පැවසුවේ සිවිල් සමාජයේ බළල් අත් ඒ සඳහා යොදා ගැනීමේ වෑයමක් පවතින බවය.
එහි පළමු සැලැස්ම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවක් ගෙන ඒම බව ද , ඒ අනුව එම ක්‍රියාවලිය සිදුකිරීමට වසරක් පමණ ගත වන බවද කී ලක්ෂ්මන් කිරිඇල්ල ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කතාවේ ජනාධිපතිවරණය පිළිබඳ කිසිඳු සඳහන් නොතිබූ බව ද එම නිසා මෙම ඡන්ද කල් දැමීමේ උත්සාහය ඉන් පැහැදිලි වන බව ද පැවසීය. ‘විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී පැවසුවේ සිවිල් සමාජයේ බළල් අත් ඒ සඳහා යොදා ගැනීමේ වෑයමක් පවතින බවය.

එහි පළමු සැලැස්ම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවක් ගෙන ඒම බව ද, ඒ අනුව එම ක්‍රියාවලිය සිදුකිරීමට වසරක් පමණ ගත වන බව ද කී ලක්ෂ්මන් කිරිඇල්ල ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කතාවේ ජනාධිපතිවරණය පිළිබඳ කිසිඳු සඳහන් නොතිබූ බව ද එම නිසා මෙම ඡන්ද කල් දැමීමේ උත්සාහය ඉන් පැහැදිලි වන බව ද පැවසීය.

ඩලසුත් සටනට ……

ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ මේ ආණ්ඩුව දැනටමත් ජාතික මැතිවරණ දෙකක් වල දමා ඇති බවත් ආණ්ඩුව විසඳුමක් ලෙස මැතිවරණ මග හරින්නට උපක්‍රම සොයන බවත් එසේ වූවහොත් සියලු බලවේග හා එක්ව වීථි බසින බවත් ඩලස් පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා පරමාධිපත්‍ය නැති කරන්නට කිසිවෙකුට ඉඩ නොදෙන බවත් මීට පෙර එජාප රජයක් ජනමත විචාරණයක් හරහා රට ලේ විලක් කළ බවටත් ඩලස් චෝදනා කළේය.

ජනාධිපතිවරයා විපක්ෂයට පළමු වතාවට එකට ගමනක් යන්නට ආරාධනා කළ ද, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත ප්‍රතිපාදන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අහිමි කර ඇතැයිද , ඔන්ලයින් පනතට එරෙහිව පැමිණි කිසිඳු අදහසක් පිලි නොගත් බවට ද ,බදු වැඩි කරද්දී විපක්ෂයට අහුකන් නොදුන් බවට ද , විපක්ෂයේ උද්ඝෝෂණ වලට පහරදුන් බවට ද ඩලස් චෝදනා කළේය.

ජනාධිපතිවරණය හා මහා මැතිවරණය මේ වසරේ – ජනපති කියයි

ඒ අතර මේ වසරේ ජනාධිපතිවරණය හා මහා මැතිවරණය යන මැතිවරණ දෙකම පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඕස්ට්‍රේලියාවේ, පර්ත් නුවර දී ඉන්දීය මාධ්‍ය නාලිකාවක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.
නැවත බලයට පැමිණෙන්නට නම් තම ජනාධිපතිවරණයට තරග කළයුතු බව ද බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වන සාගර ආරක්ෂක සමුළුවට මේ දිනවල සහභාගි වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ දිනවල නිරත වන ඕස්ට්‍රේලියානු නිල සංචාරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් එක්ව සිටී. ඒ සඳහා සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න හා තලතා අතුකෝරාලට ද ආරාධනා ලැබුනද සජබ උද්ඝෝෂණයට පහරදීමට විරෝධය පා ඔව්හු එම ගමනට සහභාගී නොවූහ.

මෙම සමුළුවට සහභාගි වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අමල් චින්තක මායාදුන්නේ ද එක්ව ඇත.

මීට පෙර ජනාධිපතිවරයා සමඟ උගන්වා සංචාරයට මන්ත්‍රී කින්ස් නෙල්සන් සහභාගි වූ අතර ජනාධිපතිවරයාගේ ඇමෙරිකානු සංචාරයට වඩිවෙල් සුරේෂ් ද කියුබානු සංචාරයට අජිත් මානප්පෙරුම ද එක්ව සිටියහ.

ජනතා බලය

මහජන මතයට එදිරිව ගොස් ලබා ගත හැකි යැයි කිසිවකු සිතනවා නම් එය එසේ නොවන බවට හොඳම උදාහරණය මේ සතියේ පැවති පකිස්තානු මහා මැතිවරණයයි. එහි ජයග්‍රහණය හිමිවූයේ දැනට සිරගතව සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ය. ඔහුට මහා මැතිවරණයට තරඟකළ නොහැකි ලෙස ඔහුගේ පක්ෂය පවා තහනම් කරන ලද අතර ඒ හේතුවෙන් එම පක්ෂයේ ලකුණ වූ ක්‍රිකට් බැට් එක පවා ඔවුන්ට අහිමි විය. එම නිසා එතරම් උගත්කමක් නොමැති සාමාන්‍ය ජනතාවට ඡන්ද පත්‍රිකාවේ ඉම්රාන්ගේ අපේක්ෂකයන් සොයා ගැනීම පවා දුෂ්කර විය.

මැතිවරණයට සතියකට පෙර ඉම්රාන්ට පමණක් නොව ඔහුගේ බිරිඳට ද සිරදඬුවම් පැනවිණි.

රාජ්‍ය බලය ඉම්රාන්ට එරෙහිව සියලු ආකාර වලින් යොදවා ගන්නා ලද අතර මැතිවරණ දිනයේදී රට පුරා ජංගම දුරකථන මුළුමනින්ම ක්‍රියා විරහිත කරන ලද අතර අන්තර්ජාල සේවා අත්හිටුවන ලදී. එම නිසා ඡන්ද ප්‍රකාශ කිරීමට පවා බාධා එල්ල විය. පකිස්ථානයේ භාරකාර රජය හා බලවත් හමුදාව පවා නවාස් ෂෙරීෆ් හට සහයෝගය ලබා දුන්නේ ඔහුගේ ජයග්‍රහණය නියත බව පෙන්වමිනි. සියලු ජාත්‍යන්තර නිරීක්ෂණ වාර්තා පෙන්වා දුන්නේ පකිස්ථානයේ පවතී දූෂිතම මැතිවරණය මෙය බවයි. එතරම් දුෂිත මැතිවරණයක් පවත්වා බලය උපරිම ලෙස යොදවද්දීත් ඉම්රාන් ගේ ජයග්‍රහණය වැළක්විය නොහැකි විය. සමාජ මාධ්‍ය මගින් හැකිතාක් බොරු වැපිරුවද අවසානයේ ජයග්‍රහණයකළේ ජනමතයයි.

එතරම් දුෂ්කරතා මධ්‍යයේ වූව ද ජනමතය ඒ තරමට බලවත්ය.

මෛත්‍රී ඉන්දියාවට හා ඇමරිකාවට

මේ අතර ඉන්දියාවේ විශේෂ ආරාධානයකට අනුව ඉන්දීය සංචාරයකට යාමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සූදානමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. එසේම ළඟදීම ඇමරිකාවේ සංචාරයකට ද එක්වීමට හිටපු ජනාධිපතිවරයාට ආරාධානා ලැබී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගත් අලුත් සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු වලට මේවන අවසන් කර තිබේ. දැන් තිබෙන්නේ අලුත් නිලධාරී මණ්ඩලයක් පත් කර සන්ධාන ගත වන පක්ෂ එක් කර ගැනීමේ කටයුතු සිදු කිරීමයි. පුටුව ලකුණින් පොදුජන එක්සත් පෙරමුණ යටතේ ඉදිරි මැතිවරණයන්ට තරඟ කිරීමට පුළුල් සන්ධානයක් ගොඩනැගීමට තීන්දු කර හමාරය. බුලත් කොළය ලකුණ යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට සන්ධානගත වීමට බොහෝ දෙනා කැමැත්ත පළ කර තිබුණ ද සන්ධාන මහ ලේකම් ධූරයේ ගැටළුව නිසා එම කටයුතු නතර වී තිබේ. ශ්‍රීලනිපය තුළින් ආ දැඩි විරෝධය හමුවේ සහ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ දැඩි ඉල්ලීම මත සන්ධාන ලේකම් ලෙස කටයුතු කළ අමාත්‍ය මහින්ද අමරවීර පසුගියදා ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දුන්න ද දිගින් දිගටම සිය ඉල්ලා අස්වීම නොදී මහ ලේකම් ධූරයේ බලෙන් රැඳී සිටීමට තිලංග සුමතිපාල කටයුතු කිරීම හේතුවෙන් පොදුජන එක්සත් පෙරමුණ සන්ධානගත වීමට සියල්ල සැලසුම් කිරීමට ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධාන හවුල්කාර පක්ෂ කඩිනමින් කටයුතු කළේය.

මෛත්‍රීගේ ආරාධනය අනුර යාපා පිළිගනී

ඒ අනුව තීරණාත්මක හමුවක් පසුගිය දා පැවැත්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පොදු ජන එක්සත් පෙරමුණේ මහා සම්මේලනය කැඳවමිනි. එහි දී මූලික අරමුණ වූයේ පෙරමුණේ ව්‍යවස්ථාවට ගෙන ආ සංශෝධනය සම්මත කර ගැනීමයි. එම සම්මේලනයට හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පැමිණියේය. එහි පිළිගැනීම කතා සිදු කළේ පෙරමුණේ ලේකම් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසිනි. පසුව අරමුණ පැහැදිළි කරමින් පෙරමුණේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ “සන්ධානය ගොඩනැගීමට පොදු ජන එක්සත් පෙරමුණ පරිත්‍යාග කළාට ලසන්ත ට ස්තූති වන්න වෙන්න ඕන. අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු නීතිඥවරු පිරිසක් පොදු ජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීමට දායකවුණා. මගේ ඉල්ලීම මත අනුර යාපා මන්ත්‍රීවරයා අද මහා සම්මේලනයට පැමිණියා.“ පසුව නව ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ දැනුවත් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අනුර ප්‍රියදර්ශන යාපාට ආරාධනා කළ අතර පසුව ඔහු එම සංශෝධන ගෙන ඒමට හේතු මෙන්ම එම සංශෝධන ගැන පුළුල් විග්‍රහයක් ද කළේය. මහා සම්මේලනයේ කිසිවෙකුත් ඒ සඳහා විරෝධය පළ නොකළ අතර එම සංශෝධන පිළිබඳ යෝජනාව අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා විසින් සිදු කළ අතර එය ස්ථීර කළේ ශ්‍රීලනිප දැදිගම සංවිධායක කීර්ති සිරි විජේතුංග ය. ඒ අනුව ඒකමතිකව එම සංශෝධන සම්මත වූ අතර සංශෝධන අනුව නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට නියමිතය.

පෙරමුණේ නායකයෙකු හෝ නායිකාවක් තෝරා ගැනීමක් එහිදී සිදු නොවුණ අතර නමුත් සියලු දෙනාගේ කතා බහට ලක්වන ඉදිරියෙන්ම සිටින නායිකාව වන්නේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායකය. පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ සියයට 25ක බලත්, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සියයට 50ක බලයත්, පෙරමුණේ ජාතික සංවිධායක, භාණ්ඩාගාරික, උප ලේකම්, උප නායක ධූරත් ශ්‍රීලනිපයට හිමිවීමට නියමිතය. දැනටත් පොදුජන එක්සත් පෙරමුණේ ඊපීඩිපී පක්ෂය, දේශවිමුක්ති ජනතා පක්ෂය, මහජන පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය සමාජිකත්වය දරනු ලබයි.

පුටුවේ නව සන්ධානයට මන්ත්‍රීවරු රැසක්

මේවන විට මන්ත්‍රීවරුන් 45 දෙනෙකු මෙම පෙරමුණ සමඟ එක් වීමට කැමැත්ත පළ කර ඇත. එය මාර්තු මාසය අවසාන වන විට 65 ක් දක්වා වැඩි වනු ඇත. තිබෙන අතර පක්ෂ සහ සංවිධාන 27ක් සන්ධානගත වීමට ද කැමැත්ත පළ කර තිබේ. ඒ අනුව ඉදිරි සතිය තුළ පෙරමුණේ නව නිලධාරී මණ්ඩලට පත් කර සන්ධානගත වීමට නියමිත පිරිස් එම පෙරමුණට එක්වීමට නියමිතය.

දෙමල පක්ෂ සහය කාට ද?

මෙවර ජනාධිපතිවරණයේ සුළු ජාතික ඡන්ද සියයට 31 කි. එහි දී දෙමළ ඡන්ද අතිශය තීරණාත්මකය.

දැනට පෙනෙන්නට සිටින ජනාධිපති අපේක්ෂකයන් අතරින් වඩාත් සුදුසුම අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සලකන බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේෂ්වරන් සඳහන් කරයි.

වත්මන් අපේක්ෂකයන් අතුරින් හොඳම අපේක්ෂකයා ලෙස තමන් වත්මන් ජනාධිපතිවරයා සලකන බව ද ඔහුට ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය පළ කරන බව ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී තමන් සමඟ කතාකළ නමුත් සාකච්ඡා කර දේ හෙළි කිරීමට නොහැකි බවද ඔහු සඳහන් කළේය.

වෙනම රාජ්‍යකට ඉන්දීය සහාය නැහැ

මෙතෙක් දෙමළ ජනතාවට ලබා ගැනීමට නොහැකි වූ ජාතික විමුක්තිය ජාත්‍යන්තරයේ හා දෙමළ ඩයස්පෝරාවේ සහයෙන් ලබා ගැනීම තම අරමුණ බව ඉලංගෙල් තමිල් අරසු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් සඳහන් කරයි.

උතුර හා නැගෙනහිර පළාත් වල ජනතාවට නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් සැකසීමට නම් ස්වයං පාලන දේශපාලන විසඳුමක් අවශ්‍ය බව ද හෙතෙම කියා සිටී. ඒ සඳහා පලාත් දෙකේම දේශපාලන පක්ෂ එක්සත්ව සටන් කිරීමට තමන් ආරාධනා කරන බව ද හෙතෙම පැවසීය.

වසර තිහක කාලයක් යුද්ධයෙන් බැටකෑ තම පළාත්වල ජනතාවට සංවර්ධනයෙන් පමණක් පළක් නැතැයි ද පවසන ඔහු දේශපාලන විසඳුමක් සඳහා සිය සටන අඛණ්ඩව ගෙන යන බව ද කියා සිටියේය.

මේ අතර ඉලංගෙයි තමිල් අරසු කච්චි නව නායක සිවඤාණම් ශ්‍රීධරන් ඇතුළු පිරිසක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී හමුවීමට නියමිතව තිබේ.

මේ සියල්ල අතරේ ඉන්දියාව උතුරේ වෙනම රාජ්‍යක් හෝ ස්වයං පාලනයක් ඇතිවීමට කිසිසේත් ඉඩ දෙන්නේ නැත. ඊට හේතුව උතුරේ ස්වයං පාලනයක් හෝ වෙනම රාජ්‍යයක් යනු තමිල්නාඩුවේ එවැනි සටනක් ඇති වීමේ මුලාරම්භය බව ඉන්දියාව දනී. ඉන්දියාව යනු විවිධ ජාතීන් සිය ගනනකගේ සම්මිශ්‍රණයකි. විවිධ ආගම් දහස් ගණනකි. විවිධ භාෂා දහසකට අධිකය. එහෙත් සමස්ත ඉන්දියාවටම ඇත්තේ එක ජාතික ගීයකි. කිසිවකුත් ඒ සඳහා සටන් කරන්නේ නැත.

ලන්සලාගේ දෙවන රැස්වීම 24 දා හයිඩ් පිටියේ

නව සන්ධානයේ දෙවන මහජන රැලිය ලබන 24 වැනිදා කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් වෙමින් තිබේ.අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්ගේ නායකත්වයෙන් සහ සුගීශ්වර බණ්ඩාර මහතාගේ සංවිධානත්වයෙන් එම කටුයතු සිදුකෙරෙන බව රාජගිරිය පිහිටි පක්ෂ කාර්යාලය පවසයි. මෙවර මහජන රැලිය සඳහා අලුත් මුහුණු කිහිපක් එකතුවීමටද නියමිතව තිබේ.

ඉන් දෙදෙනෙකු නැගෙනහිර පළාත නියෝනය කරන සහ ජන ප්‍රසාදයක් දිනාගත් දේශපාලන නායකයින් වීම ද විශේෂත්වයකි.

මේ අතර නව සන්ධානයේ දේශපාලන කටයුතුවලට සහාය දීම සඳහා රාජ්‍ය ආයතන සභාපතිවරුන් සහ ආයතන ප්‍රධානින් බොහෝ දෙනෙකු මේ දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා හමුවී සාකච්චා පවත්වමින් තිබේ. එවැනි විශේෂ සාකච්ඡා දෙකක් පසුගිය සතියේ කොළඹ ප්‍රසිද්ධ හෝටලයකදී පැවැත්විණි. එහි දී ඔවුන් කියා සිටියේ නව සන්ධානය පිළිබඳව සමාජයේ කතිකාවක් ඇතිවී තිබෙන බවය.

මේ අතර නව පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ කිරීම සඳහා පැමිණි ජනාධිපතිවරයා එම කටයුතු අවසන් වීමෙන් පසු පැමිණියේ මන්ත්‍රී භෝජනාගරයටය. සියලු දෙන වෙනුවෙන් එහි සම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය පැවැත්විණි.

නව සන්ධානයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද එහි එක මේසයකට වී ආගිය තොරතුරු මෙන්ම වත්මන් දේශපාලන කරුණු කාරණා ගැනද කතාබහ කරමින් සිටියහ.
මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න,ජෝන් සෙනෙවිරත්න, දුමින්ද දිසානායක, පියංකර ජයරත්න,නිමල් ලන්සා ඇතුළු පිරිසක් ඒ අතර වූහ. “අපේ නව සන්ධානය ගැන නම් හැමෝම කතාවෙනවා, හොඳ ප්‍රවනතාවක් තියනව ජනතාව අතර” ජෝන් පිරිස දෙස බලමින් කිවේය. “ඔව් අපි මිනිස්සුන්ට ඇත්ත කියන්න ඕනා,බොරු කියල අවුරුදු ගණනක් මිනිස්සු රැවටුණා පුද්ගලයෝ දිනවන්න ගිහිල්ල” අලගියවන්න කිවේය.

“යහ පාලන කාලේ ජේ.වී.පී.එක එක්ක සමීපව වැඩ කළා කියල ජනාධිපතිවරයා කිව්ව එක හොඳයි, ඇත්ත තත්ත්වේ මිනිස්සු දැනගන්න ඕනනේ.. මිනිස්සු හිතාගෙන ඉන්නේ මුන් හරිම සුදු චරිත කියල”ලන්සා විස්තර කළේය.

“ඔව් එකනම් ඇත්ත.. මේ ළඟ දි හම්බන්තොට ගිහිල්ලත් බොරු කයිවාරු ගොඩක් කියල තිබුණා. තිබ්බ එකම ප්‍රාදේශීය සභාවේ වැඩ කරපු හැටි අපිනේ දන්නේ?” අමරවීර සිනාසෙමින් කිවේය. “කොළඹ වැඩෙත් යනවා නේද?” ඒ අසලට පැමිණි පොහොට්ටු මන්ත්‍රීවරයෙකු ලන්සා දෙස බලමින් කිවේය.”ඔව් ඔව් වැඩේ යනවා, මෙච්චර කල් මාලිමාව තනියම පිට්ටනියේ සෙල්ලන් කරපු නිසා ඒ අයගේ සෙනඟ විතරයි පෙනුණේ, දැන් ඒ පිට්ටනියේ ම අපි සෙල්ලන් කරනකොට මාලිමාවේ සෙනඟ අඩුයි වගේ පේනවා” ලන්සා සිනාසෙමින් කිවේය.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan