*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

ජනපතිවරණයේ මාතෘකාව ‘ආර්ථිකයයි’- චරිත

මැයි 01 දිනට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දින සැමරීම යෙදී තිබුණේ මේ සතියේ ය. මේ වසරේ පවත්වන්නට නියමිත ජනාධිපතිවරණයට පෙර යෙදෙන අවසාන මැයි දිනය මෙය වන බැවින් ප්‍රධාන පක්ෂ කීපය උත්සාහ කර තිබුණේ තම තමන්ගේ බලය පෙන්වීමේ අවස්ථාවක් බවට එය පත්කර ගැනීමට ය. මීට පෙර කාලවල මැයි දින රැස්වීම් පැවැත්වුණේ පිට්ටනිවල ය. එහෙත් මේ වසරේ ප්‍රධාන මැයි දින සැමරුම් පැවතියේ මහ පාරේ ය.

ස.ජ.බ. එය පැවැත්වූයේ කොටුවේ වැතම් වීදියේ ය. ජා.ජ.බ එය පැවැත්වූයේ ටවුන්හෝල් ලිප්ටන් වට රවුමේ ය. එ.ජා.ප. එය පැවැත්වූයේ මාලිගාවත්ත පාරේ ය. පොහොට්ටුව පමණක් කැම්බල් පිට්ටනියේ කූඩාරමක එය පැවැත්වූයේ ය. මා මේ කාරණය කීවේ මැයි දින රැස්වීම ‘පිට්ටනියෙන් පාරට’ පැමිණීම යනු රටේ දේශපාලනයේ යම් වෙනසක් සටහන් කරන එකක් බවට පත් වී ඇති බව ප්‍රකාශ කිරීමට ය.

ජනතාවගේ ආකර්ශනය ඉස්සර කාලයේ මෙන් දේශපාලන රැස්වීම් සඳහා දැන් ලැබෙන්නේ නැත. කෑම පැකට් ලබාදී බස් එකේ රැගෙන එන ජනතාව වුවත් බස් එකෙන් බැස්සාට පසු රැස්වීම් භූමියේ රැඳී ඉන්නේ නැති ගාන ය. මේ නිසා රැස්වීමක සෙනග පෙන්වන්නට හැකියාවක් ලැබෙන්නේ දෙපැත්තේ වැටවල් තියෙන පාරකට බස්වලින් එන සෙනග ගාල් කිරීමෙන් ය. මැයි දින සැමරුම පිටියෙන් පාරට එන්නේ ඒ තර්කය හරහා ය.

ඒ කුමන ආකාරයෙන් හෝ මැයි දින සැමරුම හරහා විපක්ෂයේ පක්ෂ කීවේ වත්මන් පාලනය යටතේ පවත්වන අවසාන මැයි දින රැස්වීම මෙය බව ය. එජාපයේ සහ පොහොට්ටුවේ අය කීවේ මීළඟ මැතිවරණවලින් ද ජයගන්නේ තමන්ගේ පක්ෂ බවය. මගේ කිවිදා දැක්ම මේ සතියේ යොමුවන්නේ ඉදිරි ජනාධිපතිවරණයට අදාළ සිදුවිය යුතු ප්‍රධාන දේශපාලන සංවාදය පිළිබඳව ය. මෙවර මැයි දින රැස්වීම් දෙස බලන විට පෙනී යන්නේ ප්‍රධාන පක්ෂ නායකයන් අතර මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන සංවාද තේමාව පිළිබඳව අදහසක් නැති බව ය.

අප දන්නා මැතිවරණ ඉතිහාසයේ ඒ ඒ කාලවල මැතිවරණ සඳහා මුල්වන ප්‍රධාන දේශපාලන සංවාද තිබූ බව පැහැදිලිය. 1956 (ජාතිකත්වය සහ භාෂා ප්‍රශ්නය), 1970 (සංවෘත ආර්ථිකය හා නව ව්‍යවස්ථාව) 1994 (ප්‍රජාතන්ත්‍රවාදය) 2005 (යුද්ධය නැවැත්වීම) යනාදී මාතෘකා හරහා ඒ ඒ මැතිවරණ ගමන් කළේය. ශාස්ත්‍රීය භාෂාවෙන් කියනවා නම් මැතිවරණයේ අනෙක් මාතෘකා අතරින් එකක් අනෙක් මාතෘකා අධිනිෂ්ශය කළේ යැයි පැවසිය හැකිය.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ මාතෘකාව වන්නේ ආර්ථිකය ගොඩ නගන්නේ කෙසේද යන්න ය. ඒ ඒ අපේක්ෂකයන් මේ කාරණය ගැන ඉදිරිපත් කරන අදහස සහ එම අපේක්ෂකයන්ගේ (හා පක්ෂවල) අතීත ක්‍රියාකාරීත්වය හරහා එම අදහස ක්‍රියාත්මක කිරීමේ හැකියාව මැන බැලීම ඡන්දදායකයාගේ වගකීම ය.

ප්‍රශ්නය කුමක්ද?

අපේ රටේ ආර්ථිකය මේ වන විට තිබෙන්නේ බරපතළ කඩා වැටීමක ය. එම කඩාවැටීම මූලික ක්ෂේත්‍ර ගණනාවක විසිරී පවතී. එයින් එකක් වන්නේ බරපතළ ආකාරයේ විදේශ මූල්‍ය අර්බුදයකට (ඩොලර් නොමැතිවීමේ අර්බුදයකට) ගොදුරුවීමය. එය මූලික වෙළඳ ශේෂය හෙවත් Trade Balance එක බරපතළ සෘණ අගයක් කරා තල්ලු කර ඇත. එසේම විදේශ මූල්‍ය අර්බුදය හේතුවෙන් විදේශ ණය සහ පොලිය ගෙවීමට නොහැකි වී ඇත. මේ අනුව රටේ ආර්ථිකයේ එක් අර්බුදයක් වන්නේ රටට අවශ්‍ය විදේශ මූල්‍ය ශක්තිය නොමැතිවීම ය.

දෙවනුව රටේ ආර්ථිකයේ තිබෙන බරපතළ අර්බුදයක් වන්නේ රටේ ආර්ථිකය තුළ ආණ්ඩුවේ වියදමට අවශ්‍ය තරම් ආදායමක් ආණ්ඩුවට නොමැති වීමය. ශාස්ත්‍රීය භාෂාවෙන් අය වැය හිගය කියා කියන්නේ ඒකටය. රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) ආණ්ඩුවේ ආදායම වන්නේ සියයට 9 ක් තරම් ප්‍රමාණයක් ය. රටේ GDP අගය 2023 වන විට තිබුණේ ඩොලර් බිලියන 74.4 අගයක ය. ආණ්ඩුවේ ආදායම පහතට වැටීම හේතුවෙන් රාජ්‍ය සේවය, සමාජ යටිතල පහසුකම් (අධ්‍යාපනය, සෞඛ්‍යය, මහාමාර්ග වැනි) සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් (සමෘද්ධි, අස්වැසුම, වැඩිහිටි දීමනා වැනි) වියදම් පියවා ගැනීමේ බරපතළ අපහසුතාවක් ගොඩනැගී ඇත.

තුන්වෙනුව ඉහත සඳහන් ගැටලු දෙක (විදේශ මූල්‍ය නොමැතිවීම සහ ආණ්ඩුවට අවශ්‍ය මුදල් නොමැතිවීම) හේතුවෙන් ඒ ඒ ආණ්ඩු ලබාගත් ණය මේ වන විට විශාල කන්දක් බවට පත්වී ඇත. වත්මන් ආණ්ඩුවේ ප්‍රධානතම කාර්යය වී ඇත්තේ ණය ගෙවන තත්වයකට රට පත්කර ගැනීම ය. මේ ප්‍රශ්නය විසඳාගන්නේ නැතිව රටට ඉදිරියක් නැත.

හතරවෙනුව රටේ ආර්ථිකයේ තිබෙන බරපතළ ප්‍රශ්නයක් වන්නේ රටේ ආර්ථික ක්‍රියාකාරීත්වයේ බරපතළ අසමමික / අසමාන තත්වයක් නිර්මාණයවීම ය. ජනගහනයෙන් සියයට 40 ක් පමණ සිටින්නේ දරිද්‍රතා රේඛාවෙන් යට ය. එසේම මෑතකදී නිකුත් කළ UNDP වාර්තාවකට අනුව රටේ සම්පත්වලින් සියයට 37 ක් අයිතිය තිබෙන්නේ ජනගහනයෙන් සියයට 1 ක පමණ වූ ජනතාවට ය. මේ අසමානතාව බරපතළ එකක් ය. රටේ ආර්ථිකය යම් තරමක සමානතාව මත ගොඩ නැගීමේ ක්‍රමයක් රටට අත්‍යාවශ්‍ය ය.

පස්වෙනුව රැකියා වියුක්තිය සහ වෙළඳපොළට අවශ්‍ය නොවන අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර ගණනාවක ගැටලු ඉහළටම එසවී ඇත.

මේ නිසා මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන මාතෘකාව විය යුත්තේ ආර්ථික කළමනාකරණයයි. ආර්ථිකය ගොඩ නගන්නට සුදුසු වැඩසටහනක් සම්බන්ධ සංවාදය ගොඩනැගීම මේ මැතිවරණයේ ප්‍රධාන කාරණය විය යුතුය.

විසඳිය යුතු දීර්ඝකාලීන ගැටලුව

ආර්ථිකය හැරුණු විට මෙරට සමාජයේ කැකෑරෙන තවත් ගැටලුවක් වන්නේ රට තුළ නීතියේ ආධිපත්‍ය බිඳවැටීමය. හොරකම, දූෂණය හා සහචර ධනවාදීන්ගේ දෑතට දේශපාලකයා හසුවීම වැනි ගැටලු ගණනාවක් ගොඩනැගී ඇත්තේ රට තුළ නීතියේ ආධිපත්‍ය කඩා වැටීම හේතුවෙන්ය. මේ තත්වයෙන් රට ගොඩ ගත හැක්කේ බරපතළ දේශපාලන ප්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වා දීමෙන්ය.

කුසලතාවාදයක අවශ්‍යතා

දේශපාලන ප්‍රතිසංස්කරණයක දී ආමන්ත්‍රණය කළ යුතු අනෙක් වැදගත් ම කාරණය වන්නේ රටේ ජනතාවට කුසලතාව මත අවස්ථා නිර්මාණය වන නිදහස් සමාජයක් ගොඩනැගීම ය. තරුණ සමාජයේ කැකෑරෙන ගැටලුවක් වී තිබෙන්නේ දේශපාලන බල රටාවට පිටින් කිසිම දෙයක් මේ රටේ කරගත නොහැකි බව ය. දේශපාලන බල රටාව හා සහචර ධනවාදී බල රටාව ඇතුලේ සිටින අයකුට මිස එයින් පිටත සිටින කිසිම අයකුට කිසි දෙයක් කර ගැනීමේ ඉඩක් නැති ගානට මේ අර්බුදය මෝරා ඇත.

මෙම ප්‍රශ්නය නිදහසින් පසු හැම කාලයකම තිබූ එකක් බව සැබෑවක් ය. ඒත් ඒ කාලවල සමාජයේ සැලකිය යුතු ඉඩක් කුසලතාවට ලැබී තිබුණි. ඒ තත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම වැහී ගොස් ඇත. කාර්යාලයකට ගොස් සාමාන්‍ය රාජකාරි වැඩක් කරගැනීමට සම්බන්ධතාවක් නොමැතිව නොහැකි වන තැනට එය වර්ධනය වී ඇත.

සමාජ යටිතල පහසුකම් වර්ධනය

රටේ සමාජ යටිතල පහසුකම් යැයි කියන්නේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය වැනි දේවල් ය. ඒ දේවල්වල වර්ධනයකින් තොරව බුද්ධිමත් හා සෞඛ්‍ය සම්පන්න ජනතාවක් නිර්මාණය කරගත නොහැකි ය. රටේ මේ ක්ෂේත්‍රවල දියුණුවක් නිදහසට පෙර සිට ම තිබූ බව සැබෑවක් ය. එහෙත් ඒ තත්වය මේ වන විට කඩා වැටෙමින් තිබෙන බව සැබෑවක් ය. මීළඟ ජනාධිපතිවරණයේ සංවාද අවකාශය තුළ මෙම සමාජ යටිතල පහසුකම් සඳහා රාජ්‍යයේ මැදිහත්වීම කෙසේ වන්නේ ද යන කාරණය සාකච්ඡා කළ යුතු ය.

ආර්ථික යටිතල පහසුකම් වන්නේ විදුලිය, ඉන්ධන, සන්නිවේදනය වැනි ක්ෂේත්‍රයෝය. එම ක්ෂේත්‍ර මේ වන විටත් රජයේ ආධිපත්‍යයෙන් යම් දුරකට නිදහස් වී ඇත. මේ ක්ෂේත්‍රවල රාජ්‍ය අයිතිය යම් දුරකට හෝ සහතික කළ යුත්තේ ඒ ඒ ක්ෂේත්‍රවල පෞද්ගලික අංශයේ බල හවුල්කාරීත්වය සමග හෙට්ටු කිරීමේ ඉඩක් තබා ගැනීමත් අත්‍යවශ්‍ය කාරණයක් වන නිසා ය.

මැයි දිනයේ පාඩම්

ඉහතින් සඳහන් කළ කරුණු හරහා මා යෝජනා කරන්නේ මේ වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ මාතෘකාව ‘ආර්ථිකය’ බවට පත් විය යුතු බව ය. ඒ තුළ 1. විදේශ මූල්‍ය වර්ධනය 2. ආණ්ඩුවේ ආර්ථික වර්ධන ක්‍රමෝපාය 3. නීතියේ පාලනය 4. කුසලතාව මත පදනම් වූ අවස්ථා නිර්මාණය 5. සමාජ යටිතල පහසුකම් වර්ධනය 6. ආර්ථික යටිතල පහසුකම්වල රාජ්‍යයේ කාර්යභාරය යන ක්ෂේත්‍ර ආමන්ත්‍රණය කළ යුතු බවය.

මෙවර මැයි දිනයේ සංවාදය තුළ ඒ කිසිවක් මතු වූ බවක් පෙනුණේ නැත. මැයි දින රැස්වීම් මගින් පෙන්නුම් කළ කාරණා එකිනෙකාට එක එක ආකාරයෙන් පෙනී යා හැකිය.

මට එය පෙනෙන්නේ මෙසේය. 1. ජාතික ජන බලවේගය විශාල ජනතා ආකර්ෂණයක් ලබා ඇත. 2. එ.ජා.ප. සහ පොහොට්ටුව මෙතෙක් තිබූ තත්වයෙන් (2022 සිට බලද්දී) කැපී පෙනෙන ජන ආකර්ෂණයක් පෙන්නුම් කර තිබේ. 3. ස.ජ.බ. ප්‍රධාන විපක්ෂය ලෙසින් තමන් සතුව තිබූ බලය රැකගෙන ඇති බව පෙන්නා තිබේ. මේ නිරීක්ෂණය අනුව මට පෙනී යන්නේ මේ ප්‍රධාන ධාරාවේ පක්ෂ සමග දැනට සම්බන්ධ නොවී සිටින සියයට 40කට පමණ අධික ඡන්ද ප්‍රමාණය (එනම් ලක්ෂ 40 පමණ ඡන්දය) දිනාගැනීමේ ඉඩ තිබෙන දේශපාලන ධාරාව වෙත මීළඟ ජනාධිපති ධුරය ලැබෙන්නට නියමිත බවයි.

ඒ සඳහා සිදුකරන සංවාදයට මවිසින් ඉහත දී යෝජනා කරන ලද ආර්ථික න්‍යායපත්‍රය සාකච්ඡාවට ගත යුතු බව මගේ කිවිදා දැක්මය.

මහාචාර්ය චරිත හේරත්
කිවිදා දැක්ම – ලංකාදීප

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan