*
Friday, April 26, 2024
spot_img

Latest Posts

පිළිවෙතින් කඩේ යමු (2) ප්‍රාදේශීය සභා ඡන්දය ටිකක් කල්දැමීමේ වාසි

පහුගිය දවස්වල පළාත් පාලන මැතිවරණය, එහෙමත් නැත්නම් කටවහරේ පහසුවට කියන ආකාරයට ප්‍රාදේශීය සභා ඡන්දය වහාම පවත්වන්නය කියලා බලකරමින් විපක්ෂය දැවැන්ත සටනක් ආරම්භ කළා. මේ වෙනකොට නම් ඒ සටනේ සැර සෑහෙන්න බාල වෙලා බව පේනවා.

විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙක වන සමගි ජන බලවේගයත් ජාතික ජන බලවේගයත් මූලිකවම කිව්වේ මේක මේ නිකම්ම නිකම් ප්‍රාදේශීය සභා ඡන්දයක් හැටියට සලකන්න එපා, මේක ආණ්ඩුවට ජනවරමක් නැහැයි කියලා ඔප්පු කරන ජනමත විචාරණයක් බවට පෙරළාගන්නය කියලායි. ඉන් ඉදිරියට ක්‍රියාත්මක කළයුතු තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රයත් ඔවුන් ප්‍රසිද්ධියේම කිව්වා. ඔවුන්ගේ න්‍යායපත්‍රය වුණේ ආණ්ඩුවට ජනවරමක් නැති බව මේ ප්‍රාදේශීය සභා ඡන්දය දිනාගැනීමෙන් ඔප්පු කරලා, ඒ හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට බලකරලා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහමැතිවරණයක් පවත්වලා, ඒ මහමැතිවරණය දිනාගෙන තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම තුළින් රනිල්ට ජනවරමක් නැතිබව ඔප්පු කරලා, ඒ ඔස්සේ රනිල්ටම බලපෑම් කරලා ඔහු ලවාම 2023 නොවැම්බර් මාසයෙන් පසුව ජනාධිපතිවරණයක් කැඳවා ගැනීමයි.

මේ ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් නියත වශයෙන්ම ජයග්‍රහණය කරන්නේ තමන්ම බව කියමින් සජබ සහ ජාජබ යන දෙගොල්ලෝම කිව්වේ ඔය කතාව.

ඔය කතාවේ හැටියට නම් මාර්තු මාසයේ හෝ අප්‍රේල් මාසයේ ප්‍රාදේශීය සභා ඡන්දය තිබුණා නම් ජුලි හෝ අගෝස්තු වෙනකොට පාර්ලිමේන්තු මැතිවරණය පවත්වලා දෙසැම්බර් හෝ 2024 මුල ජනාධිපතිවරණයක් කැඳවාගන්න තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව තිබුණේ. ඉතින් අපි නිකමට හිතුවොත් මේ සැලසුම සජිත්ගේ හෝ අනුරගේ පැත්තෙන් සාර්ථක වුණා නම් රටක් හැටියට අපට සිද්ධ වෙන්නේ 2024 මුල වෙනකල්ම ඡන්ද වැලක් පවත්වන්න.

ලංකාවේ අපි මීට මාස 11කට කලින් බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කරපු රටක්. තෙල් – ගෑස් පෝලිම් හැදිලා, පැය ගණන් විදුලිය කැපිලා, රටපුරා මහජන විරෝධතා මතුවෙලා, එදිනෙදා ජීවිතය සම්පූර්ණයෙන්ම කඩාවැටිලා, රටේ නිෂ්පාදන කර්මාන්ත බිඳවැටිලා, සංචාරකයින් පැමිණීම නතර වෙලා ලෝක අමාරුවක වැටිලා ඉඳපු රටක් අපි. එහෙම තත්වයක ඉඳලා දැන් තමයි අපි බොහෝ අමාරුකම් මැද්දේ වුණත් ඩිංග ඩිංග හරි සාමාන්‍ය තත්වයට පත්වෙමින් ඉන්නේ. එහෙව් මොහොතක අපට රටක් හැටියට ආයෙත් මාස 9 – 10 ක් පුරා දිවෙන ඡන්ද කෙරුවාවකට පනින්න පුළුවන්ද ?

මේ ඡන්ද තුනම මාස 9 – 10 ක් ඇතුළත පවත්වන්න සල්ලි කොහෙන්ද ? හරි, සල්ලිත් කොහෙන් හෝ හොයාගත්තාම කියමුකෝ. ඔය තරම් දුර ඇදෙන ඡන්ද ප්‍රචාරණ ව්‍යාපාරයක් තුළ රටේ නිෂ්පාදන කටයුතුවලට මොනවා වෙයිද ? එදිනෙදා කටයුතුවලට මොනවා වෙයිද ? මොකද අපි දන්නවා ඡන්දයක් ළං වෙනකොට සාමාන්‍යයෙන් ඕනෑම විපක්ෂයක් බලන්නේ තමන් සතු වෘත්තීය සමිති ඇතුළු බලවේග භාවිතා කරලා නොයෙකුත් ජනප්‍රියවාදී ඉල්ලීම් ඉදිරිපත් කරමින් විවිධාකාර වැඩවර්ජන, උද්ඝෝෂණ, විරෝධතා පවත්වලා, ඒ ඔස්සේ ජනතාව පීඩාවට පත්වෙන්න ඉඩහැරලා ඒ අප්‍රසාදය ආණ්ඩුව පැත්තට යොමුකරන එක. ඒක දේශපාලනය කවුරුත් දන්නා උපක්‍රමයක්. එහෙම තත්වයකට මුහුණ දෙන්න මේ රටට පුළුවන්ද ?

දේශපාලන පක්ෂ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ කවර මොහොතක් හෝ පාවිච්චි කරලා බලය අල්ලාගන්න චේතනාවෙන්. ඒ නිසා මේ සැලසුම් රටේ පැත්තෙන් හොඳද, නරකද කියන එක ඔවුන්ට අදාළ වෙන්නේ නෑ. එතන ක්‍රියාත්මක වෙන්නේ බලය පිළිබඳ චේතනාව විතරයි. දැන් බලයේ ඉන්න රනිල් සහ පොහොට්ටුව මේ මොහොතේ විපක්ෂයේ හිටියා නම් ඔවුන් කරන්නෙත් ඕකම තමයි.

ඉතින් ඒ වගේ දේශපාලන අස්ථාවරභාවයක් එක්ක රටේ නිල ආණ්ඩුව හැටියට එකකුත් මහපාරේ ආණ්ඩු හැටියට තව බලවේග දෙකකුත් නිරන්තරයෙන් හැප්පෙන වාතාවරණයක් ඔස්සේ මීළඟ මාස 9 – 10 යන්න වුණා නම් රටටම බබා හම්බුවෙලා තමයි වැඩේ ඉවර වෙන්නේ කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ වෙන එකක් නැහැ. නිකමට මතක් කළොත් එවැනි තත්වයක් සමාන වෙන්නේ ගිය අවුරුද්දේ මාර්තු – අගෝස්තු මාස අතර කාලයේ රටේ තිබිච්ච තත්වයට. රටේ බහුතරයක් මිනිස්සුන්ට දැනදැනම නම් එහෙම තත්වයක් උදාකරගන්න වුවමනාවක් ඇතියි කියලා හිතන්න අමාරුයි.

මාර්තු 09 ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්වුණා නම් බොහෝදුරට මේ වෙනකොට යන්නේ පාර්ලිමේන්තු ඡන්දයක් ඉල්ලා සජබ හෝ ජාජබ විසින් ආරම්භ කරන මහපාරේ අරගලය. එහෙම වුණා නම් ඔය IMF වැඩසටහන අනුමත වෙන්නෙත් නෑ, ඉදිරි ආර්ථික ප්‍රතිසංස්කරණ හෝ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් හැන හිතන්නවත් වෙන්නෙත් නෑ. එතකොට රටට දැන් ලැබෙන ඩොලර් ටික එන්නෙත් නෑ, ඩොලරයේ අගය කීයට යනකල් උඩයයිද කියන්න දන්නෙත් නෑ. බඩුමිල ඇතුළු සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න මොනවායින් මොනවා වෙයිද කියලා හිතලාත් තේරුමක් වෙන එකක් නෑ.

ඉතින් ඔය කියපු වගේ තත්වයක් උදා නොවී මේ ප්‍රාදේශීය සභා ඡන්දය ටිකක් කල්ගියාට කමක් නැහැ කියන එකයි සාමාන්‍ය ජනතාවගේ පැත්තේ ඉඳන් කියන්න තියෙන්නෙ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ ඡන්දය කියන්නේ ජනතාවගේ අයිතියක්. ඡන්ද කල්දැමීම කියන්නේ කොහෙත්ම හොඳ දේකුත් නෙවෙයි තමයි. මොකක් හෝ ඡන්දයක් දිගින් දිගටම කල්දැමීම හෝ ඡන්ද නොපවත්වාම සිටීම පැහැදිලි අපරාධයක්. ඒත් ඉතින් රටක් සුවිශේෂී ආර්ථික අර්බුදයක හිරවෙලා ඉන්න මොහොතක, ඒකට විසඳුම හැටියට IMF යන්න ඕනෑය කියලා ආණ්ඩුව වගේම විපක්ෂයේ ප්‍රධානතම පක්ෂ දෙකමත් පිළිගන්න මොහොතක, මේ ප්‍රාදේශීය සභා ඡන්දය මාස කිහිපයක් කල්දැමීම මහා ලොකු වරදක් කියලා කියන්න බෑ. සාමාන්‍ය ජනතාව මේ ඔක්කොම පැත්තක තියලා වහාම ප්‍රාදේශීය සභා ඡන්දය තියපියව් කියලා බලකරන්නෙත් නෑ.

මං හිතන්නෙ සජබ සහ ජාජබ පක්ෂ දෙකම තමන්ගේ න්‍යායපත්‍රය පොඩ්ඩක් පැත්තකට කරන් මේ වෙනකොට තමන්ගේ දැවැන්ත වීදි සටන් හකුළාගෙන ඉන්නෙ සාමාන්‍ය ජනතාව හැසිරෙන ආකාරයේ වෙනස ගැන ඒ දෙකේම නායකයින්ට යම් තක්සේරුවක් තියෙන නිසා වෙන්නත් පුළුවන්. ඔය දෙකේම බැතිමත් අනුගාමිකයින් නම් ඒක එහෙමයි කියලා කීයටවත් පිළිගන්න එකක් නෑ හැබැයි …

~ රජිත විරාජ්

ප.ලි. –

මේ පැහැදිලි කිරීම මාතෘකාව ගැන. මම මේක කොහොම කිව්වත් මේ කතාවට දේශපාලනිකව විරුද්ධ අය කියන්නේ මම රනිල්ට කඩේ යනවා කියලා තමයි. ඉතින් ඒ මහත්තුරුන්ට නෝනලාට මහන්සි වෙන්න දෙයක් නැතිවෙන්න මංම මාතෘකාවට “පිළිවෙතින් කඩේ යමු” කියලා දැම්මා. දේශපාලන පක්ෂ හදාගන්නෙම කොහොම හරි බලය අල්ලාගන්න. ඒ නිසා ඒ අය බලන්නේ කොයි මොහොත වුණත් තමන්ගේ බලය වෙනුවෙන් යන ගමනේදී වාසියට පෙරළාගන්නයි. ඒක පක්ෂ දේශපාලනයේ හැටි. නමුත් පක්ෂ දේශපාලනයට පිටින් ඉන්න අයට පුළුවන් නිශ්චිත මොහොතකදී රටට තියෙන සීමිත දේවල් අතරින් හොඳම දේ මොකක්ද කියලාවත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න …

පෙර ලිපි –

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan