Tuesday, August 16, 2022
spot_img
spot_img

Latest Posts

අප සිටින්නේ තවත් අත්හදාබැලීම් කළ හැකි මොහොතකද ?

මේ වනවිට රටේ පවතින දේශපාලන අර්බුදය හමුවේ බොහෝ අයට තමන් සිටින්නේ ගිනිකන්දක් මත බව අමතකව ගොස් ඇති ආකාරයක් පෙනේ. ඒ ගිනිකන්ද නම් ආර්ථික අර්බුදය යි. අප සිටින්නේ අතිඋද්ධමනයක (Hyper inflation) මුවවිටේ බව රහසක් නොවේ. මේ සිටින තැනින් තවත් මදක් ඉදිරියට තල්ලු වී රට අතිඋද්ධමන තත්වයකට පත්වුවහොත් භාණ්ඩ මිල දිනපතාත් නොව පැයෙන් පැය ඉහළ යාමට පටන් ගනු ඇත. පාන් රාත්තලක් ගැනීම සඳහා මුදල් නෝට්ටු මිටි ගණනක් රැගෙන යාමට සිදුවුණු සිම්බාබ්වේ, වෙනිසියුලාව වැනි රටවල තත්වයට ශ්‍රී ලංකාවත් පත්වනු ඇති අතර සාගතයෙන් සහ ඖෂධ හිඟයෙන් දහස් ගණන්, දස දහස් ගණන් කුඩා දරුවන්, වැඩිහිටියන්, රෝගීන් මියයනු ඇත. එවන් තත්වයක් තුළ පොදුවේ දේශපාලනඥයින් කෙරෙහි ජනතාව කවරාකාරයෙන් හැසිරේවිදැයි යන්න කල්පනා කිරීම පවා භයානක අත්දැකීමක් වනු නොඅනුමානය.

නව ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා ජුලි 20 වනදා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ මෙවන් ගිනිකන්දක් මත රටම පවතිද්දී ය. වරක් අතිඋද්ධමනයට තල්ලු වූ පසු කිසිවෙකුට නැවත හැරෙන්නට අවස්ථාවක් ලැබේ යැයි සිතන්නට අපහසු ය. ඉන් අනතුරුව උදාවනු ඇත්තේ වසර ගණනක් තිස්සේ ඇදෙන ආර්ථික, සමාජයීය, දේශපාලන අස්ථාවරභාවයක් වනු ඇති අතර අප පෙරකී රටවලට සාපේක්ෂව අපේ රටේ ජනතාව මේ වනවිට සිටින දේශපාලන ක්‍රියාකාරීත්වය අනුව මෙය අභ්‍යන්තර සිවිල් යුධමය තත්වයකින් මෙහා බේරුණොත් වාසනාවකි.

ජුලි 20 ඡන්ද විමසීමෙන් ජයගන්නා පුද්ගලයාට කොතරම් ජනතා ප්‍රසාදයක් ඒ මොහොතේ හිමිවුවත් ඔහුට රටේ ආර්ථික අර්බුදයට ඉතාමත්ම කඩිනමින් විසඳුම් ලබාදීමට නොහැකි නම් ඔහුටත් සිදුවනු ඇත්තේ තමන්ට ඡන්දය දුන් මන්ත්‍රී කණ්ඩායමත් සමගම දේශපාලනයෙන් අතුගෑවී යාමට ය. ඒ, දැනට දේශපාලන උණුසුම නිසා ජනතාවට අමතකව ඇති ආර්ථික අර්බුදය ජුලි 20න් පසු ජනතාවගේ ප්‍රධානතම සංවාද මාතෘකාව වන නිසා ය.

මීළඟ ජනාධිපතිවරයාගේ වැඩ ලැයිස්තුවේ ඉහළින්ම තිබිය යුතු වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා සාර්ථක කරගැනීම, ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අදාළ ජාත්‍යන්තර පාර්ශ්ව සමග එකඟතාවකට පැමිණීම, ලෝක බැංකුව – ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල සහාය හැකි උපරිමයෙන් ශ්‍රී ලංකාව වෙත ලබාගැනීම, දැනට ආධාර කරන ඉන්දියාව මෙන්ම ජපානය, යුරෝපා සංගමයේ රටවල් වැනි මිතුරු පාර්ශ්ව වෙතින් හැකි උපරිමයෙන් ආධාර ලබාගැනීම, ළඟ එන ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා ලෝක ආහාර සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල ආධාර ලබාගැනීම වැනි දෑ ය. එමෙන්ම රටේ නීතිය හා සාමය ස්ථාපිත කර රාජ්‍ය පාලනය ස්ථාවර කිරීමත් ඔහුගේ ප්‍රධානතම වගකීමක් වනු ඇත. ඒ සඳහා අමිහිරි ක්‍රියාමාර්ගවලට යාමට සිදුවුවහොත් එය පවා කළහැකි ශක්තියක් ඔහුට තිබිය යුතුය.

විශේෂයෙන්ම රටේ ආර්ථිකය සම්බන්ධ කාරණාවලදී නව ජනාධිපතිවරයා හුදෙක් ජනප්‍රියවාදී විසඳුම් කරා යෑමට ගොස් තවතවත් අර්බුදය උඝ්ර කර නොගන්නා අන්දමේ පුද්ගලයෙකු විය යුතුම ය. එසේ නොමැතිව ඉදිරි මහමැතිවරණය ඉලක්ක කරගනිමින් ඔහු දිගට හරහට මුදල් අච්චු ගසා බෙදන්නට පටන් ගතහොත් සියල්ල මාස කිහිපයක් තුළ විනාශ මුඛයට යනු නියත ය. එමෙන්ම තවදුරටත් රටට දැරිය නොහැකි බරක්ව තිබෙන ඇතැම් ආයතන පෞද්ගලීකරණය කරමින්, රජයේ සේවයට තවතවත් බඳවාගැනීම් සිදුනොකර සේවකයින් සංඛ්‍යාව පාලනය කරමින් කාර්යක්ෂමතාව ඉහළ නංවමින් කටයුතු කිරීමටත් ඊට එරෙහිව වාමාංශික පක්ෂ සහ සංවිධාන වෙතින් එල්ලවන විරෝධයට නොබියව මුහුණ දීමටත් ඔහුට හැකි විය යුතු ය. එවැනි දේශපාලන ප්‍රතිපත්ති මෙන්ම ඊට අදාළ දේශපාලන පෞරුෂයක් සහ අත්දැකීම් ඔහු සතු විය යුතුම ය.

නව ජනාධිපති ධුරය සඳහා මේ වනවිට ඉදිරිපත්ව සිටින්නේ රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම, සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක යන මහත්වරුන් ය.

මේ අතරින් ඩලස් අලහප්පෙරුම යනු මීට පෙර කිසිදු ආණ්ඩුවක කිසිදු තීරණාත්මක තනතුරක් දැරූවෙකු නොවේ. ඔහුට ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ දැක්මක් ද නොමැති බව පැහැදිලි ය. ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් ද ඔහු සතු ඉතිහාසයක් නැත. ඊට ප්‍රතිපක්ෂව ඔහු සමග සිටින්නේ දැඩි IMF විරෝධියෙකු වන වාසුදේව නානායක්කාර වැනි අය ය. ඔහුගේ සමීප දේශපාලන සගයින් වන්නේ දැඩි ඇමරිකානු විරෝධීන්, යුරෝපා සංගම් විරෝධීන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැන්නන් ය. පවතින මට්ටමටත් වඩා ජාත්‍යන්තරය සතුරු කරගෙන සියල්ල අනාගැනීමට වැඩි යමක් ඔහුගෙන් බලාපොරොත්තු වීමට නොහැක. ඔහු සියල්ලන්ගේම හොඳහිත දිනාගැනීමට උත්සාහ කිරීම තුළ ඉතාම කෙටිකලකින් ආර්ථික අර්බුදය උත්සන්න කිරීම නම් සිදුකරන ඇති බවට ඉහළ සම්භාවිතාවක් තිබේ.

ඊළඟට සිටින සජිත් ප්‍රේමදාස ගත් කල ඔහුට ද ජාතික මට්ටමේ දේශපාලනයක අත්දැකීම් ඇත්තේ විපක්ෂ නායකවරයා වශයෙන් කටයුතු කළ වසර දෙකහමාරක කාලයක් පමණි. ඔහුගේ මන්ත්‍රී කණ්ඩායමත් නවකයින් රැසකින් සමන්විත වන අතර ඔවුන් අත්දැකීම් ලබාගෙන ආර්ථික අර්බුදයට මුහුණ දෙන්නට සූදානම් වන මොහොත වනවිට කෝච්චිය මඟහැරී තිබෙන්නට ඇති ඉඩකඩ වැඩිය. අනෙක් අතට ඔහුටත් එකිනෙකට වෙනස් දේශපාලන කණ්ඩායම් ගණනාවකගේ සහාය ලබාගැනීමට සිදුවනු ඇති අතර ඔවුන් සියල්ල සැනසීමට යාම තුළ ඔහුගේ ප්‍රතිපත්ති අවුල් ජාලාවක් වීම වැළැක්විය නොහැකි වනු ඇත. එමෙන්ම සජිත් ප්‍රේමදාස ද තවමත් ජනප්‍රියවාදී නායකයෙකි. ඔහුත් හුදු ජනප්‍රියත්වය තකා සහනාධාර ක්‍රමය තවතවත් වැඩිකිරීමට උත්සාහ කරනු ඇති අතර එය ආර්ථිකය සමතලා කරන පියවරක් දක්වා තල්ලු වීමට ඉතාම ඉහළ සම්භාවිතාවක් පවතී.

අනෙක් අපේක්ෂකයා අනුර කුමාර දිසානායක වන අතර ඔහු හුදෙක් තම පක්ෂය තුළ තම ජනප්‍රියත්වය ඉහළ නංවා ගැනීමේ අරමුණින් යුතුව මෙම ජනාධිපති ධුරය සඳහා තරගවදිනවා විනා ඇත්තෙන්ම ජනාධිපති වීමේ හැකියාවක් ඔහුට ඇතැයි සිතිය නොහැකි බැවින් ඔහු ගැන වැඩිදුර විස්තර කිරීමට කාලය නාස්ති නොකරමු.

ඒ අනුව අප කැමති වුවත් අකමැති වුවත් අප ඉහත කී ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහාත් රටේ නීතිය හා සාමය ස්ථාපිත කර “රාජ්‍යය” එහි පරිපාලනය මත යළි පිහිටුවීම සඳහාත් රට හමුවේ ඇති එකම විකල්පය රනිල් වික්‍රමසිංහ පමණි. ඔහුට රාජ්‍ය පාලනයේ දීර්ඝ කාලීන අත්දැකීම් ඇති අතර ජාත්‍යන්තර සබඳතා ද බොහෝ වශයෙන් තිබේ. එමෙන්ම හුදෙක් ජනප්‍රියවාදයට නතු නොවී කටයුතු කරන්නෙකු වන ඔහු “රාජ්‍යය” සම්බන්ධයෙන්, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අරගලය හෝ වේවා වෙනත් කිසිදු පාර්ශ්වයක් හමුවේ කේවල් කිරීමකට සූදානම් නොමැති බවත් දැනටමත් ඔප්පු කරමින් සිටින නායකයෙකි. එවන් නායකත්වයක් නොමැති වුවහොත් එක් පැත්තකින් ආර්ථික අර්බුදය උත්සන්න වෙද්දී අනෙක් පැත්තෙන් ශිෂ්‍ය සංගම්, වෘත්තීය සමිති සහ වාමාංශික පක්ෂ මහපාරේ වෙනම වෙනම ආණ්ඩු හදාගැනීමේ තත්වයක් ද උද්ගත වීම අනිවාර්යය ය.

එහෙයින් අප මේ සිටින්නේ කිසිසේත්ම අත්හදාබැලීම් කළ හැකි මොහොතක නොවේ. ජනාධිපති තනතුරට ඉදිරිපත්ව සිටින පුද්ගලයින් අතරින් අත්දැකීම් වැඩිම, පරිණතම දේශපාලකයාට සහාය දෙනවා විනා ජනප්‍රියවාදය හඹායන්නට හෝ ජනප්‍රියවාදීන් හමුවේ දණ නමන්නට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තීරණය කළහොත් මාස හයක් තුළ රටම දරුණු විනාශයක් කරා තල්ලු වී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයත් අනතුරේ වැටෙන්නට හොඳටෝම ඉඩ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මතක තබාගත යුතුව ඇත.

  • මේඝවර්ණ

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.