*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

කාදිනල්තුමාටත් මේ ප්‍රශ්නය විසඳාගන්න වුවමනාවක් තියෙන බවක් පේන්න නෑ – ඇමති ටිරාන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳ ගැටලුව මත පදනම්ව ජාතිභේද, ආගම්භේද ඇවිස්සීමට උත්සාහ නොකරන ලෙස තමන් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ගෙන් ඉල්ලා සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (23) අයවැය විවාදයට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා විසින් සිදුකළ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ.

“එක මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කෙරුවා අපි මේ මර්දනය කරනවා, පෙළපාලිවලට ගහනවා, කාටවත් එළියට බහින්න දෙන්නෑ කියලා. නමුත් අපි සියලු දෙනාටම මතක ඇති ගිය අවුරුද්දේ මැයි මාසයේ සිට වෙච්ච සිදුවීම් මේ රටේ. ජුලි මාසයේදී ජනාධිපතිතුමාවත් මාරුවුණා. එදා අපට තීරණයක් ගන්න සිද්ධ වුණා මෙහෙම දිගටම මේ තත්වයෙන් තියාගෙන යන්න ඉඩ දෙනවාද, නැත්නම් අපි ඒක වෙනස් කරනවාද කියලා. ඉතින් මම අමාත්‍යවරයා හැටියට ජනාධිපතිතුමාත් එක්කත් කතා කරගෙන පළවෙනි තීරණය මට ගන්න වුණේ ගෝඨාගෝගම අයින් කරන එක. එදා ඉඳලා අපි ඒ තීරණ ඒ විදියට අරගෙන සියලු ප්‍රශ්න විසඳුවා බොහොම ක්‍රමානුකූලව. කොළඹට විදේශිකයෙකුට එන්න බැරි තත්වයක් තිබුණේ, ඒ සියලු දේ නැතිකරලා අපි දැන් සාමකාමී තත්වයක් උදා කෙරුවා. ඒ දවස්වල ජනාධිපති කාර්යාලයට, ජනාධිපති මන්දිරයට, අරලියගහ මන්දිරයට මිනිස්සු ඇතුළු වෙලා, බඩු කඩලා, එවැනි තත්වයක් මේ රටේ තිබුණේ. ඉතින් අපි එතැනින් පටන් ගත්තු එක මට තීරණය කරන්න වුණා පොලිසිය භාර ඇමති හැටියට කොච්චරක් දුරට අපි ඉඩ දෙනවාද මේ උද්ඝෝෂණවලට කියලා. ඉතින් අපි සියලු දෙනාටම කිව්වා එකතැනකට ඇවිල්ලා එක උද්ඝෝෂණයක් කරනවා නම් ඕනෙම දෙයක් ගැන, අපට ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් පාරවල් බ්ලොක් කරගෙන පෙළපාලි ගිහිල්ලා, රජයේ දේපළ විනාශ කරන්න, ඒවාට ආවොත් අපිට ඒක නවත්වන්න වෙනවා හොඳින් හෝ නරකින් හෝ. ඉතින් ඒ ක්‍රියාමාර්ග අපි දිගටම ගත්තා. අදත් අපි සමහර සාමකාමී වැඩකටයුතුවලට ඉඩදෙනවා. අපි කියනවා එක තැනක උද්ඝෝෂණය කරන්න කියලා. අපි එහෙම හැමදේම නවත්වන්නේ නෑ. නමුත් අපට විටින්විට තීරණ ගන්න වෙනවා එදා දවසේ හැටියට ඒ ඒ පෙළපාලියද, උද්ඝෝෂණයද, ඒක ගැන ගන්න ක්‍රියාමාර්ගය ගැන.

එතකොට අනිත් එක තමයි මේ පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් ගැන කතා කෙරුවා. අපි මේ අවුරුද්ද ඇතුළත පොලිස් නිලධාරීන්ට කරන්න පුළුවන් උපරිමයෙන් මේ කරලා තියෙනවා අපේ ආර්ථික තත්වයත් එක්ක. පොලිස් නිලධාරීන්ගේ බටා අපි වැඩිකෙරුවා ජනවාරි මාසේ. දැන් ජනාධිපතිතුමා එකඟවෙලා, මේ අයවැයෙන් බටා එක සම්පූර්ණයෙන් නවත්තලා ආහාර හා නවාතැන් දීමනාවක් දෙනවා එන අවුරුද්දේ ඉඳන්. ඒක හමුදාවේ නිලධාරීන්ට ලැබෙන ගාණටම සරිලන විදියට අපි වැඩිකරලා තියෙනවා. එතකොට උසස්වීම් ගත්තාම 9,000 කට වඩා වැඩි ප්‍රමාණයකට අපි උසස්වීම් දුන්නා, පහුගිය කාලේ හිරවෙලා තිබුණු උසස්වීම්.

අනිත් අතින් ගත්තොත් පොලීසිවලට වාහන තිබුණෙ නෑ. අපි පොලිසිවලට ජීප් රථ 500 ක් දුන්නා. එතකොට ගිය පාරත් අපි බටා එක දින 14 තිබුණු එක දින 21 කෙරුවා. ඒ වගේම උසස්වීම් හැම එකක්ම ක්‍රමවේදයකට කරන්න කිව්වා, අපි හැම එකක්ම ක්‍රමවේදයකට කරන්න තමයි බලන්නේ. ඕයිසීලා පත්කරන එක වුණත් අපි සම්මුඛ පරීක්ෂණ තියලා ඒ විදියට ක්‍රමවේදයකට කරනවා. තව අඩුපාඩු තියෙනවා, නමුත් අපි ඒ දේ ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. අපට තව තියෙන ප්‍රශ්නයක් තමයි පොලිස් සේවයේ 20,000 ක් විතර ඇබෑර්තු තියෙනවා. නමුත් අපට එකපාරට ඒ ඇබෑර්තු සියලු දේ පිරවීම කරන්න බෑ මේ කාලේ. ඒක හින්දා මේ අවුරුද්දේ අපි 2,000ක් ගත්තා, එන අවුරුද්දේ අපි 5,000 ක් ගන්නවා, ඒ විදියට අපි ක්‍රමානුකූලව ඒ වැඩ ටික කරගෙන යනවා.

අනිත් එක තමයි මේ පාතාල ක්‍රියාකාරකම් මර්දනය ගැන අපට ගොඩක් දේවල් කියවුණා මෙතනදී. පාතාලයේ ක්‍රියාකාරකම් වැඩිවීමට එක හේතුවක් කියලා මම හිතනවා මේ අරගලය. අවුරුද්දක් විතර මේ අරගලයට අපේ පොලිසියත් හමුදාවත් ඒකට යෙදෙව්වා ඇරෙන්න වෙන කිසි වැඩක් කරන්න වෙලාවක් තිබුණෙ නෑ පොලිස් නිලධාරීන්ට. ඒ අතරතුරේ සියලුම පාතාල ක්‍රියාකාරකම් සහ කුඩු වැඩිවීම ඒ කාලේ වුණා. නමුත් අපි දැන් ක්‍රමක්‍රමයෙන් ඒක මර්දනය කරන්න වැඩපිළිවෙලවල් යොදලා අපි ඒ ටික කරගෙන යනවා. මීට ඉස්සෙල්ලා කථිකයෙක්ගෙන් කියවුණා මාසෙකට මරණ 50ක් වෙනවා කියලා මේ පාතාල ක්‍රියාකාරකම් උඩ. එහෙම නෑ. පහුගිය මාස 4 ගත්තොත් සිදුවීම් තිබුණෙ 28 යි. මනුෂ්‍ය ඝාතන 16ක් තිබුණා. දැන් ඔතනදී වෙඩික්කරුවන් 8 දෙනෙක් හිටියා, ඔවුන්ගෙන් 3 දෙනෙක් පොලිසිය සමග එන්ගේජ් වෙච්ච වෙලාවේ මියගියා, අනිත් අයව අත් අඩංගුවට ගත්තා. පැදිකරුවන් 9 දෙනෙක් ගත්තා, ඒකෙනෙකුත් එක්කෙනෙක් මියගියා. ආධාර අනුබල දුන්නාට 67 දෙනෙක් අපි අත් අඩංගුවට ගත්තා. ඉතින් හුඟක් දුරට වෙච්ච හැම වෙඩිතැබීමකදීම අපි එක්කෝ ෂූටර්ව, රයිඩර්ව අල්ලලා තියෙනවා, එක්කෝ ඒගොල්ලන් මැරිලා තියෙනවා පොලිසිය එක්ක සටන් කරලා. ඉතින් අපි දැන් ලොකු වැඩපිළිවෙලක් කරගෙන යනවා මේක නැතිකරගන්න. විශේෂයෙන් දකුණු පළාතේ අපි හැමතිස්සෙම බලනවා. බලලා මොනවද කරන්න පුළුවන්, රෝඩ් බ්ලොක්ස්ද, පොලිසිවල වැඩ කරන විදිහ, එස්ටීඑෆ් එක යොදවන විදිහ, සියලු විස්තර අපට කියන්න බෑ, නමුත් අපි ඒ දේවල් කරගෙන යනවා.

ඉතින් මේ පාතාලය එක දවසින් නවත්වන්න බෑ කියලා මං හිතන්නෙ කවුරුත් පිළිගන්නවා ඇති. දැන් අපි සමහර උදවියව පිටරට ඉඳන් ගෙනවා, තව අයව ගෙන්වාගන්න බලනවා, අපි ඒ වැඩකටයුතු කරගෙන යනවා. අපට ඒගොල්ලන්ගෙන් විශාල වශයෙන් විස්තර ලැබෙනවා. ඒ වගේම අපි අවිආයුධ විශාල ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. ඒ වැඩකටයුතු අපි දිගටම කරගෙන යනවා. තව මන්ත්‍රීතුමියෙක් කිව්වා හරක්කටාලාගෙ ටෙලිෆෝන් බලන්න ඕනෙ කියලා. අපි ඒ සියලු දේ කරනවා. හැම ටෙලිෆෝන් එකකම හැම කෝල් එකක්ම චෙක් කරනවා. කා එක්කද මේගොල්ලන්ගෙ ආශ්‍රය තිබිලා තියෙන්නෙ, ඒ වගේම මේගොල්ලන්ගෙ වත්කම් අපි බලනවා දැන්. එහෙම බලලා ඒවා රාජසන්තක කරන්න වැඩපිළිවෙලක් පටන්ගෙන තිබෙනවා. ඉතින් ඒ විදියට අපි දිගින් දිගටම කරගෙන යනවා.

මේ වෙලාවේ මම කැමතියි අපේ මහජනතාවගෙන් එක ඉල්ලීමක් කරන්න, අපට පුළුවන් තරම් තොරතුරු ලබාදෙන්න. 118 නොම්බරයට කතාකරලා ඕනෙ දෙයක් කියන්න, ඒක රහසිගතයි. ඒක කෙළින්ම මගේ යටතේ තියෙන්නෙ. අපට තොරතුරු ලබාදෙන්න, අපි මේක දිගින් දිගටම කරගෙන යනවා.

එතකොට රවුෆ් හකීම් මන්ත්‍රීතුමා කිව්වා අපේ පොලිසියේ නිලධාරීන්ගෙන් පළිගන්නවා කියලා. ඒකට උදාහරණයක් දුන්නේ හිටපු සීනියර් ඩීඅයිජී රවී සෙනවිරත්නව ඇක්සිඩන්ට් එක්කට පස්සෙ රිමාන්ඩ් කෙරුවාය කියලා. නමුත් මේ සිද්ධිය වුණේ, රවී සෙනවිරත්න මහත්මයා මාත් හොඳට අඳුනනවා, නමුත් අපි දැන් සාමාන්‍යයෙන් කවුරුහරි බීලා එළවාගෙන ගියොත් අල්ලලා බැලුම පුම්බනවා, පොලිසියෙ කාර් එක තියාගත්තා, පහුවදා උදේට උසාවි දැම්මා. නමුත් මේ සිද්ධියේදී අවාසනාවකට වගේ මේ මහතා බීමත්ව ඇවිල්ලා, වාහන තුනක් හප්පලා තමයි නැවතුණේ. ඉතින් පොලිසියට ගෙනිච්චාම එළිවෙනකොටම මාධ්‍ය ඔක්කොගෙම ගියා මේක. දැන් අපි එතුමාව එතනින්ම ගෙදර ඇරියා නම් ඊළඟට අපෙන් ප්‍රශ්න අහනවා සාමාන්‍ය මිනිස්සුන්ට මෙහෙම නම් එතුමාට කොහොමද වුණේ කියලා. ඉතින් එකම දේ පොලිසියට කරන්න තිබුණෙ එතුමාව උසාවියට ගෙනියන එක, රිමාන්ඩ් කෙරුවේ පොලිසියෙන් නෙවෙයි උසාවියෙන්. හුඟක් වෙලාවට උසාවියෙන් ඇප දෙනවා, නමුත් මෙතනදී ඔහුව රිමාන්ඩ් වුණා. ඒක තමයි ඒ සිද්ධිය.

අනිත් එක තමයි හැමදාම කියන කතාව, මේ පාස්කු ප්‍රහාරයේ විමර්ශනය හරියට වෙන්නෙ නෑ කියලා. පාස්කු ප්‍රහාරය ගැන මම එකතැනකදී කිව්වා අපි 90%ක් විතර විමර්ශන ඉවරයි කියලා. ඒකට කාඩිනල්තුමා මාව විවේචනය කරලා ප්‍රකාශ නිකුත් කෙරුවා. අදත් මම කියන්නේ අපි 90%ක් විතර ඉවරයි. අපි මහාධිකරණයේ නඩු 42ක් දාලා තියෙනවා, විත්තිකරුවන් එතන 80යි, ඒකෙන් 23 දෙනෙක් තාම රිමාන්ඩ් එකේ ඉන්නවා. ඉතින් අපේ ඉන්වෙස්ටිගේෂන්ස් ගොඩාක් දුරට ඉවරයි. මං අදත් ඒක කියනවා. හැබැයි කාඩිනල්තුමා දිගටම කිව්වා ජනාධිපති කොමිසමේ වාර්තාව ඔවුන්ට ලබාදුන්නෙ නෑ, සමහර කෑලි හැංගුවා කියලා. මම ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරලා ජනාධිපතිතුමා මට කිව්වා, ‘හරි එහෙනම් ඔක්කොම දෙන්න’ කියලා. අපි අනිත් කෑලියි සියලුම රිපෝට් ටික දුන්නා. දීලා මම ඒ වෙලාවේ ලිපියකින් ඉල්ලුවා අපට වෙලාවක් දෙන්න, මේකට අපේ පැත්තෙන් ප්‍රසන්ටේශන් එකක් කරන්න අපි කරලා තියෙන විමර්ශනය ගැන කියලා. අද වෙනකල් වෙලාවක් දුන්නෙ නෑ. හැමතිස්සෙම මම අහනකොට කියන්නේ, ඒක ලොකූ රිපෝට් එකක්, අපි තවම ස්ටඩී කරනවා කියලා. හැබැයි එහෙම කිව්වාට විටින්විට එක එක අවස්ථාවලදී ලියුම් එවනවා විවිධ විවිධ පුද්ගලයින්ට චෝදනා කරලා. තවම රිපෝට් එක බලලා ඉවරත් නෑ, නමුත් ජනාධිපතිතුමාට ලියුම් එවනවා. ජනාධිපතිතුමා ඒක ගැන කිව්වාම අර ඉන්ටවීව් එකකදී – DW – ඊළඟට ඒකටත් ප්‍රකාශ නිකුත් කරනවා ජනාධිපතිතුමාට පහරදීලා. ඉතින් මේ ප්‍රශ්නය විසඳන්න වුවමනාවක් තියෙනවා කියලා මට පේන්නෙ නෑ. ඒ මොකද, විසඳන්න වුවමනාවක් තියෙනවා නම් කාඩිනල්තුමායි අපි ඔක්කොම එකතුවෙලා, මම දැන් අවුරුද්දක් තිස්සේ කියනවා මේක එකතුවෙලා කරමු කියලා. නමුත් ඒක කරන්නෙ නෑ. ඒක තියාගෙන ඒකෙන් රාජ්‍ය නායකයාට, රජයට බලපෑම් කරනවා හැමතිස්සෙම.

මම මේ වෙලාවේදී කියන්න කැමතියි කාඩිනල්තුමාටත් මේ ප්‍රශ්නය අරගෙන ජාතිභේද ආගම්භේද අවුස්සාගන්න හදන්න එපා. මම ඒක කියන්න හේතුව, මම එකක් කියන්නම් මට මතක් වෙච්ච එකක්, 2020 මහමැතිවරණය ඉවරවෙලා පළවෙනි කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන්නේ නුවර. ඊට ඉස්සෙල්ලා දවසේ මමත් ගිහින් හෝටලයක නැවතුණා මේ උත්සවයට සහභාගී වෙන්න. මා එක්ක මගේ කාමරේ කතා කරකර හිටියෙ එදා රෑ ඩලස් අලහප්පෙරුම මැතිතුමා, විමල් වීරවංශ මැතිතුමා, උදය ගම්මන්පිල මැතිතුමා. කතා කරකර ඉන්නකොට හිටපු ජනාධිපතිතුමාගෙන් උදය ගම්මන්පිල ඇමතිතුමාට කෝල් එකක් එනවා. ‘මොනවාහරි කරන්න, ලොකු ප්‍රශ්නයක්, කාඩිනල්තුමා කියනවා අලි සබ්‍රි ඇමතිතුමාට ඇමතිකම දෙන්න එපා කියලා’ කියලා. ඉතින් මොකක්ද හේතුව, අලි සබ්‍රි ඇමතිතුමා මුස්ලිම් ජාතිකයෙක් නිසා. ඒ පාර, රෑ මැද වෙනකල් මේ කතාව ගිහිල්ලා හොඳවෙලාවට අන්තිමේ අලි සබ්‍රි ඇමතිතුමා කිව්වා මට වෙන එකක් දෙනවා නම් මට ඇමතිකම එපා කියලා. ඒ පාර එහෙම තමයි අලි සබ්‍රි ඇමතිතුමා අධිකරණ ඇමති වුණේ. ඉතින් මේ පාස්කු ප්‍රහාරයේ විමර්ශනය ගැන හැමදාම කතා කරකර ජාතිභේදය – එක්කො දැන් බෞද්ධ නිලධාරියෙක් මොකකටහරි පත්කරන්න යනවා නම් ඒකට එවනවා ලියුම්. ඉතින් මේවාට අපට ඉඩදෙන්න බෑ. මං හිතන්නෙ අපි සියලු දෙනාම එකතුවෙලා මේ ප්‍රශ්නය විසඳාගන්න ඕනෙ, නැත්නම් මේක තව අවුරුදු 10ක් හරි මේ දේම කියකියා යයි. මම විපක්ෂයෙනුත් ඉල්ලන්නෙ, හැම එක්කෙනාගෙන්ම ඉල්ලන්නෙ අපි කතෝලික ඡන්දහරි, ඒ ඡන්ද බලාගෙන වැඩකරන්න එපා. මේ ප්‍රශ්නයේදී කරුණාකරලා ඡන්ද බලාගෙන වැඩකරන්න එපා, මේක ලේසියෙන් අපට ඉවර කරගන්න පුළුවන් එකක්. ඔස්ට්‍රේලියන් පොලිසිය රිපෝට්ස් දීලා තියෙනවා, එෆ්බීඅයි එක රිපෝට්ස් දීලා තියෙනවා, අපි කරපු සියලු දේ තියෙනවා, අපි දැන් ආරාධනා කරනවා අපි ඔක්කෝම ටික පෙන්වන්නම්, එන්න එකට ඉඳගෙන මේක බලමු, අපි ළඟ නැති ඉන්ෆොමේශන් මොනවාහරි තියෙනවා නම් අපට දෙන්න, අපි ඔක්කෝම කරමු, කවදාවත් ඒක වෙන්නෙ නෑ. නමුත් හැමදාම මේ ප්‍රශ්නෙ තියාගෙන, ඒක පාවිච්චි කරකර ජනාධිපතිතුමාට, එක්කෝ රජයට එක එක බලපෑම් කරකර ඉන්නවා. ඒක හින්දා මම කියන්න කැමතියි ඔය පාස්කු ප්‍රහාරය ගැන අදත් කතා කරපු උදවියට ඇත්ත තත්වය මේකයි, ඒක හින්දා කරුණාකරලා සියලු දෙනා එකතුවෙලා මේක විසඳාගමු.

අනිත් එක තමයි මගේ අමාත්‍යාංශය යටතේ – අපි වැඩිය ඒක ගැන කතා කෙරුවේ නෑ – ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය, රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය තියෙනවා. අපට ආගමන විගමන දෙපාර්තමේන්තුව යටතේ වැඩකොටසක් කරන්න පුළුවන් වෙලා තියෙනවා මේ ගිය අවුරුද්දේ. අපි දැන් පාස්පෝට් පෝලිම් නැතිකරලා තැන් 51ක් අලුතින් හදලා දීලා තියෙනවා සියලු දෙනාට බොහොම ලේසියෙන් පාස්පෝට් ගන්න. ඒ වගේම පළවෙනි වතාවට ලංකාවේ අපි ඊ පාස්පෝට් එක ගේනවා. ඒකට දැනටම ටෙන්ඩර් කැඳවලා ඉවරයි. ඊ පාස්පෝට් එකක් ගත්තාම සාමාන්‍යයෙන් අපේ පාස්පෝට් එකේ පිළිගැනීම ගොඩක් ඉහළ යනවා ලෝකෙ. ඒ වගේම අපි හැඳුනුම්පතටත් ඇඟිලි සලකුණක් ගේන්න දැන් වැඩ කරගෙන යනවා. අනිත් එක අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයෙන් ලොකූ වැඩකොටසක් කරනවා ලංකාව වටේ පුනරුත්ථාපනය පැත්තෙන්, සියලු මත්ද්‍රව්‍ය හඳුනාගැනීම පැත්තෙන්, පර්යේෂණ කිරීම, ඒ සියලු දේ කරගෙන යනවා. ඒ වගේම රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය ගත්තොත් ගොඩාක් කතාබහට ලක්වුණු දෙයක් තමයි මේ රාජ්‍ය නොවන සංවිධාන ගැන ඉස්සර. නමුත් අපි දැන් එන්ජීඕ එක්ක සාකච්ඡා කරලා, ඒගොල්ලන්ටත් වැඩකරන්න ලේසි විදියට, නමුත් අපි ඒවා හරියට මොනිටර් කරලා, ඒ විදියට වැඩපිළිවෙලක් දැන් කරගෙන යනවා. ඒකට අපි අලුත් පනතකුත් ගේන්න යනවා.

ඉතින් මේ සියලු දේවල් මගේ අමාත්‍යාංශය යටතේ සිද්ධ වෙනවා. ඉතින් මේ වෙලාවේ මම කැමතියි පොලිස්පතිතුමා ඇතුළු පොලිසියේ සියලු දෙනාටත් මේ ආයතනවල සියලු දෙනාටත් ස්තූති කරන්න, මා එක්ක එකතුවෙලා මේ වැඩකොටස කරන එක ගැන”

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan