*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

සමහරු කියන විඳියට මගේ පොත් ගෙදරකට අරන් යන්න හොඳ පොත් නෙමෙයි – මොහාන් රාජ් මඩවල

මීට වසර හතකට අටකට පමණ පෙරාතුව ලංකා නිවුස් වෙබ් අඩවියේ සේවය කිරීමට පෙරාතුව නිවුස් වෙබ් අඩවියේ සහෝදර වෙබ් අඩවියක් වූ ලංකා හෙරල්ඩ් වෙබ් අඩවියේ ප්‍රවෘත්ති කර්තෘවරයා වශයෙන් මා සේවය කළ අවදියේ අපගේ කාර්යාලය පිහිටා තිබුණේ නාරාහේන්පිට ඇන්ඩර්සන් මහල් නිවාස සංකීර්ණයේ ය.

එකල දිනක් මා වැඩ අහවරකොට සවස පහට පමණ කාර්යාලයෙන් පිටත් වී බොරැල්ල දක්වා බසයෙන් එන විට මාර්ග තදබදයට අසු වූ අවස්ථාවේදී එක්තරා අපූරු සිදුවීමක් නෙතු ගැටුණි. මැදිවියේ කාන්තාවක් මෝටර් බයිසිකලයේ පිටුපස ආසනයේ වාඩිගෙන පොතක් කියවමින් සිටියාය. ලේශ මාත්‍ර පාඨකයන් පිරිසක් සිටින අපේ රටේ මාර්ග තදබදයට අසුවී සිටියදී පවා මේ කාන්තාව මේ තරම් ආසාවෙන් කියවන පොත කුමක් දැයි කියා දැනගන්නට නොඉවසිලිමත් වූයෙමි.

ඇය පිටුවක් පෙරළනතුරු නොඉවසිල්ලෙන් බලා සිටි මා අවසන පොතේ නම කියවා ගත්තෙමි. සැබැවින්ම එහි පිටකවරයෙන් එය හඳුනා ගත්තා යැයි කියා කීවොත් වඩා නිවැරදිය. ඒ කෘතිය නම් ‘මාගම් සෝලිය’ යි. කර්තෘ මොහාන් රාජ් මඩවලය.

ඉඳින් අද වන විට සිය ලේඛන දිවියේ දිගු දුරක් ගොස් සිටින මේ සහෘද ලේඛකයා සමඟ ලංකා නිවුස් වෙබ් අඩවිය සිදු කළ නවතම සාකච්ඡාව සිදු වූයේ මේ අයුරිනි.

ප්‍ර: අපි ටිකක් වෙනස් විඳියකට මේ කතාව පටන් ගමු. අද වෙනකොට ලංකාවේ තියෙන බහුතර මතය තමයි ලේඛකයා කියන්නෙ ආර්ථික වශයෙන් ඉතාම පහළ මට්ටමක සිටින කෙනෙක් කියන එක. නමුත් ලෝක ප්‍රකට ලේඛකයො ඉන්නවා අතිවිශාල කෝටිපතියො වෙන. මං පුද්ගලිකව දන්න විඳියට ආනන්දෙ ඉගෙන ගන්න කාලේ ඔබත් ඉතාම දුප්පත් කොල්ලෙක්. නමුත් අද ඔබ ධනවත් පූර්ණ කාලීන ලේඛකයෙක්. දැන් ඔබට මොකද ඒ ගැන හිතෙන්නෙ?

පි: අපේ සමාජයේ තියෙන පරණ අදහස තමයි ලේඛකයා කියන්නෙ දුප්පත් මනුස්සයෙක් එයා පුෂ් බයිසිකලයේ හරි බස් එකේ හරි යන්න ඕන එතකොට තමයි එයා හොඳ ලේඛකයෙක් වෙන්නෙ කියන එක. ඒක අපි හදා ගත්ත මිථ්‍යාවක්. ඔබ කියනවා වගේ ලෝක ප්‍රවණතාව අනුව එදා ඉඳන්ම ලේඛකයාට ලොකු තැනක් තියෙනවා. එයාට සමාජ වටිනාකමක් වගේම ආර්ථික වටිනාකමක් තියෙනවා. නමුත් ඒක ලංකාවේ හැදෙන්නෙ නැති එකට කාරණා කීපයක් බලපානවා.

එකක් තමයි අපේ රටේ ගොඩක් දෙනා ලේඛනයේ නිරත වෙලා ඉන්නෙ විනෝදාංශයක් හැටියට. තව වැඩ ගොඩක් එක්ක ඒ අය ඒක පාර්ට් ටයිම් කරන්නෙ. ඉඩක් තියෙන වෙලාවට විතරයි ඒ අය ලියන්නෙ. මම කියන්නෙ ඕනම තැනකදි මනුස්සයෙක් ප්‍රොෆෙෂනල් වෙනවා නම්, තමුන් කරන දේ අවංකව කරනවා නම් ඕනෑම කේෂ්ත්‍රයකින් ඉදිරියට යන්න පුළුවන් සහ ඒ කේෂ්ත්‍රයේ තමුන්ටම නමක් හදා ගන්න පුළුවන්.

චෙෆ් කෙනෙක් වෙන්න පුළුවන් ,හෙයාර් කටර් කෙනෙක් වෙන්න පුළුවන් ඒ මොන දේ කළත් ඒකේ ප්‍රොෆෙෂනල් වෙලා ඒකට අවංකව කරනවා නම් එයාට හොඳ තැනකට යන්න පුළුවන්. එයා ඒකට කැපවෙන එක මත තමයි ඒ දේ සිද්ද වෙන්නෙ. ඒ දේට අවංක වෙන්න ඕන සහ මහන්සි වෙන්න ඕන. ඒක පළවෙනි කාරණාව.

එතකොට දෙවනි කාරණාව තමයි ලංකාවේ පොත් වල මාර්කටින් කියන කාරණාව තිබ්බෙ වෙනස්ම තැනක. පොත කියන්නෙ පාරිශුද්ධ වස්තුවක් ඒක මාර්කට් කරන්න ඕන දෙයක් නෙමෙයි කියන අතිශය සාම්ප්‍රදායික මතයක් තමයි පොත් මාර්කටින් ගැන තිබ්බෙ. මම කියන්නෙ අද තියෙන තත්වය අනුව පොත කියන්නෙත් වෙළද භාණ්ඩයක්. ඒ නිසා ඒකට වටිනාකමක් තියෙනවා. ඒක හදාගන්න මාර්කටින් ප්‍රොසෙස් එක ගැනත් හිතන්න ඕන. ඒක හරිම වැදගත්. මේ දක්වා ලේඛකයො ඒ ගැන උනන්දු වුණේ නෑ. එතකොට පොත් වලට මාර්කට් එකක් හැදෙන් නෑ. එහෙම වුණාම ලේඛකයාට ආර්ථික වශයෙන් ශක්ති සම්පන්න වෙන්න බැහැ. අප ඒක තේරුම් ගන්න ඕන යථාර්ථයක්.

අනිත් පැත්තෙන් පබ්ලිෂර්ස්ලා ලේඛකයා ගසාගෙන කෑවා. ලේඛකයාට සීයට දහයක් දීලා සීයට අනූවක්ම ලබා ගත්තෙ පබ්ලිෂර්ස්ලා. එතකොට ලේඛකයා කොහොමද සීයට දහයකින් ජීවත් වෙන්නෙ. ඒ නිසා ලේඛකයා දැන ගන්න ඕන මට සීයට දහයට වඩා ප්‍රමාණයක් ඕන කියන තැනට එන්න. එහෙම නැතිනම් එයා මැදිහත් වෙලා පබ්ලිෂ් කරලා අළුත් උපක්‍රම වලින් හිතුවොත් මේ කඩුල්ල පනින්න පුළුවන්. අන්තිමටම මට මේ දේ ගැන කියන්න තියෙන්නෙ කිසියම් හෝ කෙනෙක් ඕනෑම කේෂ්ත්‍රයකින් සාර්ථකත්වයට පත් වෙන්නෙ ඒ වෙනුවෙන් දක්වන කැපවීම සහ ඒ දේට අවංක වීම හා ඒ දේ වෙනුවෙන් මහන්සි වෙලා මොළෙන් වැඩ කිරීම කියන කාරණාව මතයි කියන එකයි.

ප්‍ර: ඔබ මේ තරම් ප්‍රසිද්ධ වුණේ ලිංගික කාරණා ඔබේ වියමන් තුළ උත්කර්ෂයට නැංවීම නිසා කියලා බොහොමයක් දෙනා කියනවා. ප්‍රධාන වශයෙන්ම ඔබට තියෙන චෝදනාවක් තමයි ඔබ අසැබි දේ ලියන ලේඛකයෙක් කියන එක. ඔබ ඒක භාර ගන්නෙ කොහොමද?

පි: මීට අවුරුදු දහයකට කලින් මම ලියන්න පටන් ගන්නකොට ඔය කාරණාව සෑහෙන්න සමාජගත වෙලා තිබුණා. ඒ කියන්නෙ ඒ කාලෙ සමහරු කිව්වා මගේ පොත් ගෙදරකට අරන් යන්නවත් හොඳ පොත් නෙමෙයි කියලා. මගේ පොත් ගෙදරකටවත් ගෙනියන්න හොඳ නැති පොත් විඳියටයි සමාජගත වෙලා තිබුණෙ. නමුත් දැන් දැන් ඒ පසුගාමී තත්වය තරමක් වෙනස් වෙලා තියෙනවා. තවදුරටත් ලිංගිකත්වය කියන්නෙ සමාජයෙන් වහගෙන කරන්න ඕන දෙයක් කියන දේ වෙනස් වෙලා තියෙනවා.

නමුත් මගේ මුල්ම නවකතාව වුණ මාගම් සෝලිය ලියන කාලේ ඒ තත්වය ඉතාම නරක විඳියට තමයි බලපැවැත්වුණේ. ලිංගිකත්වය කියන්නෙ කුණුහරපයක් කියන දේට වඩා, ඒක නුසුදුසු දෙයක් කියන දේට වඩා, දැන් මිනිස්සු ඒක දකින්නෙ වෙනස් විෂයක් විඳියට. ඒ යල් පැනගිය වැඩිහිටි කියන සමාජයෙන් ආපු පසුගාමී මතය නව තරුණ පරම්පරාව ප්‍රතික්ෂේප කරනවා.

මේ අවබෝධය…., තේරුම් ගැනීම නිසා ලෝකයේ තිබුණ පටු බව අඩු වෙලා තියෙනවා. දැන් ලෝකයේ ඕනෑම තැනකට අපිට තත්පරයෙන් යන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේ තාක්ෂණික දියුණුවක් සහිත නව ලෝකයක ලිංගිකත්වය කියන වස්තු විෂය ඊනියා දෘශ්ටිකෝණයෙන් බැලීම කියන කාරණාවම අදවන විට යල් පැන ගියපු මතයක්.

මනුස්සයෙකුට හැදෙන ලෙඩක් ගත්තොත් ඒකෙන් සීයට පනහක් හැටක්ම තියෙන්නෙ මානසික කාරණා. ඒ මානසික කාරණා වලිනුත් සීයට පනහක් හැටක් විතරම වෙන්නෙ ලිංගික කාරණා. ඒක ෆ්‍රොයිඩ්ගෙ කාලේ ඉඳලම කියපු දෙයක්. ඒ දේවල් ඒ කාලේ ඒ අය කතා කරද්දිත් මිනිස්සු ඒ දේවල් සැළකිල්ලට ගත්තෙ නෑ. නමුත් අද ඒවා සමාජගත වෙලා ඒ දේවල් ගැන විද්වත්තු කතා කරනවා. සමාජය ඒ ගැන අවබෝධයෙන් යුතුව ඉදිරියට යමින් ඉන්නවා.

ප්‍ර: අපි ඔබේ අයි.ඩී. කියන නවකතාව ගත්තොත් ඒක ඔබේ අනෙකුත් නිර්මාණවලට වඩා සෑහෙන්න වෙනස් නිර්මාණයක්. ඔබ අද පවතින සෙක්ස් ෆැන්ටසි යථාර්ථවාදී තලයකට ගෙන එන්න ගත්ත උත්සාහයක් විඳියටත් අපිට ඒක පේනවා. ඒ කියන්නෙ දැන් අම්මා එක්ක රමණයේ යෙදිලා අන්තිමට දුව එක්කත් රමණයේ යෙදෙන්න අවස්ථාවක් උදා කරගැනීම කියන කාරණාව ගමුකො. මේක පෝන් සයිට්වල වැඩිපුරම මිනිස්සු බලන කන්සෙප්ට් එකක්. නවකතාවක් ඇතුළට ඔබ ඒ වගේ භාවිතාවක් අරන් ඇවිත් තියෙන ආකාරය ඇත්තටම ප්‍රසංසනීයයි. කොහොමද ඇත්තටම ඔබ ඒක කළේ?

පි: ඇත්තටම ඒක මං හිතන්නෙ මගේ ලේඛනයේ අවිඤ්ඤාණික ෆැන්ටසියෙන්ම ආපු දෙයක්. මං ලියන ලේඛන වලට ආකෘතියක් තිබුණට ලැකාන් කියනවා වගේම හැම වෙලාවෙම මගේ ප්‍රස්තූතවල අවසානයන් තීරණය වෙන්නෙ සහ ඒවායේ ගමනාන්තයන් ඒවා සොයා ගන්නෙ අවිඤ්ඤාණිකවමයි. පිරිමියෙක්ගෙ ජාගර චිත්තය ඇතුළෙ තියෙන සිතුවිල්ලක්නෙ ඔය කියන ප්‍රස්තූත මාතෘකාව.

ඒක ඕනෑම පොදු මිනිසෙකුගේ ජාගර චිත්තය ඇතුළේ සවිඤ්ඤාණිකව හෝ අවිඤ්ඤාණිකව තියෙන්න පුළුවන් සිතුවිල්ලක්. නමුත් යථාර්ථවාදී ලෝකය තුළ ඒ ජාගර චිත්තයට කොයිතරම් ප්‍රායෝගික බවක් එකතු කරගන්න පුළුවන්ද කියන කාරණාවත් බලපානවනෙ. මොකද දැන් අපි ජීවත් වෙන්නෙ ව්‍යභිචාරී තහංචීන්ගෙන් පිරිච්ච රූසෝ කියපු විඳියට වැටවල් ගහගෙන සංස්කෘතික වෙච්ච සභ්‍ය ලෝකයකයි.

දැන් ඔය නවකතාවේ එන සම්පත්ට තියෙන ෆැන්ටසිය අනෙකුත් පිරිමින්ට නැහැ කියලා කියන්න බැහැ මං හිතන විඳියට. මොකද එහෙම නෑ කියනවා නම් පෝර්න් සයිට්වල ඔය වගේ දේවල් බෙස්ට් වීව්ස් ගන් නෑ නෙ.

සුදු රෙද්දෙන් වහගන්න දේශපාලනික හෝ අදේශපාලනික සංස්කෘතික පිරිමි ගැහැණු සේරම නෛසර්ගිකවම ජාගර චිත්තයේ යාවත්කාලීනයට යටයි. ඒ යථාර්ථය පිළිගන්න අමිහිරි වුණත් ඒක යථාර්ථය බව අපිට අමතක කරන්න බැහැ.

දැන් අයි.ඩී. එකේ සම්පත් කියන චරිතය යථාර්ථය තුළදි ඒ තත්වයට මුහුණ දෙන්න ගිහින් මූණ දෙන අර්බුදය තමයි නවකතාකරුවෙකු වශයෙන් මම නිරූපණය කරන්න උත්සාහ කළේ. අපේ ෆැන්ටසිය සහ අවශ්‍යතාවයන් සියල්ල මේ සමාජය ඇතුළෙ ඉෂ්ඨ කරගන්න අපිට බැහැ. එතකොට ඒ ෆැන්ටසිය සහ යථාර්ථය එකිනෙකට ගැටෙනවා.

අනිත් එක තමයි මට ඕන වුණේ මේ මොබයිල් එක කියන ඩිවයිස් එකත් එක්ක අපේ ජීවිතවල ඇති වෙලා තියෙන වෙනස වෙනම විදියකට විග්‍රහ කරගන්න. දැන් අපේ ෆැන්ටසියම තමයි අපි රියල් එක බවට පත් කරන් තියෙන්නෙ. ඒක අපිට නොදැනුවත්වම සිද්ද වෙලා තියෙන දෙයක්. ඒ කාරණා ටික තමයි ඒ වියමනේ අන්තර්ගතයට අරන් එන්න මං උත්සාහ කළේ.

ප්‍ර: ඔබ කොයිතරම් ප්‍රසිද්ධ ලේඛකයෙක් වුණත් ඔබේ හැම නවකතාවකම එකම දේවල් ටිකක් ලියවෙන බවක් පේනවා. එකම රටාවකට යන ගතියක් පේනවා. ඔබ ඒ ගැන සවිඤ්ඤාණිකද? නැතිනම් ඒක ඒ ප්‍රස්තූතය විසින්ම ඉබේ ලියවෙන ලද්දක්ද?

පි: මෙහෙමයි, ඕනම ලේඛකයෙක්ගෙ තමන්ටම ආවේණික වූ අනන්‍යයතාවයක් තියෙන එකට මං පවුද්ගලිකව කැමතියි. හරුකි මුරකමි ගත්තත් මාකේස් ගත්තත් හෙමිංග්වේ ගත්තත් ඒ ඒ අයට ආවේණික වුණ අනන්‍යයතාවයක් තියෙනවා. කේමදාසගෙ සංගීතයක් ගත්තත් ඒකටම ආවේණික වුණ අනන්‍යතාවයක් තියෙනවා. අපිට ඒක ඇහෙනකොටම දැනෙනවා මේක කේමදාසගේ මියුසික් එකක් කියලා. ඕනම කෙනෙකුට ඒ අනන්‍යයතාවය ආරක්ෂාකරගෙන තමන්ගෙ නිර්මාණකරණය කරන්න පුළුවන් නම් විතරයි එයාට ස්මාර්ට් ගමනක් යන්න පුළුවන් වෙන්නෙ. එහෙම ගමනක් යනකොට තමයි එයාලා රසික හදවත් තුළ නොමැකෙන මතක සටහන් විඳියට තමන්ගෙ නම් නැංගුරම් දාන්නෙ.

දැන් මුරකමි කියන ලෝ ප්‍රකට ලේඛකයා ගත්තොත් එයාගේ නවල් සීරියස් එකේම එන්නෙ එකම නම තියෙන කැරැක්ටර් එකක්. වටනාබේ කියන මේ චරිතය හරහා හැබැයි මුරකමි විවිධ ප්‍රස්තූත විෂයන් වෙතට පාඨකයාව අරන් යනවා. ඒක මේ දැන් පවතින පසු නූතන ලේඛන කලාවේ අවිඤ්ඤාණික ප්‍රකාශමානවීමක් විඳියටයි මං දකින්නෙ.

මොකද ඇලෙක්සැන්ඩර් ඩූමා, බල්සාක්ගෙ ඉඳලා හිටපු ශ්‍රේෂ්ඨ ලේඛකයෝ සියළු දෙනා ප්‍රස්තූතයන් අතින් සියළු දේ ලියලා හමාර වෙලා තියෙන පසුබිමක වර්තමාන ලේඛකයා නිරන්තරයෙන්ම මුහුණ දෙන ගැටළුව තමයි පාඨකයාට අළුත් යමක් අරන් යන්නෙ කොහොමද කියන කාරණාව.

දැන් පසුගිය වසරේ නොබෙල් එක ගත්ත නෝර්ඩික් ලේඛකයා වුණ ජෝන් ෆොසී ගෙත් ගොඩක් ලේඛන වල එන්නෙ එකම ස්වරූපයක චරිත ටිකක්. නමුත් ඒ චරිත පාඨකයාට සම්මුඛ කරවන්නෙ එකිනෙකට වෙනස් අත්දැකීම්. ඒ නිසා කෙනෙකුට හිතෙනවා නම් මගේ නිර්මාණ ක්‍රියාවලිය තුළ එකම දේ රිපීට් වෙලා තියෙනවා කියලා මට කියන්න තියෙන්නෙ නැහැ එහෙම එකම දෙයක් රිපීට් වෙලා නැහැ. ඒ ඒ සන්දර්භයට අනුව ඒ ඒ ප්‍රස්තූතයේ භාවිතාව විග්‍රහ කරගන්න කියලයි.

එක කතාවක නිවුන් දරුවන් ඉපදීම එක අර්ථයක් දෙනකොට අනිත් කතාවේ නිවුන් දරුවන් ඉපදීම තවත් අර්ථයක් නිෂ්පාදනය කරනවා. ඇත්තටම ඒක මං දැනුවත්ව කරන දෙයක් සහ ඒක මගේ අනන්‍යයතාවය පිළිබඳව තේරුම් ගන්න පුළුවන් තැනක්.

ප්‍ර: ඔබ කොයිතරම් ප්‍රසිද්ධ ලේඛකයෙක් වුණත් තාමත් එක සම්මානයක්වත් ගන්න ඔබට බැරි වුණානෙ?

පි: ඒක මට අදාළ දෙයක් නෙමෙයි. මොකද මට මැදිහත් වෙලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක. නමුත් මං ඔබේ ඒ ප්‍රශ්නයට මෙහෙම දෙයක් කියන්නම්. අද මේ වෙනකොට මං සම්පූර්ණයෙන්ම පූර්ණ කාලීන ලේඛකයෙක්. ලේඛනය නිසා ලංකාව පුරා විවිධ බුද්ධි මට්ටම්වල ඉන්න විවිධ රසවින්දන මට්ටම්වල ඉන්න පාඨකයො මට කතා කරනවා. ඒ අයගෙ ආදරණීය වචන හැම තිස්සෙම අළුත් නිර්මාණයකට මට පාරක් පෙන්වනවා. මට ලැබුණ ලොකුම සම්මානය තමයි ඒ පාඨක පිරිස. නිකම්ම නිකම් සම්මාන ඵලකයකට වඩා ඒ ජීවමාන හදවත්වලින් මගේ පෑනට ලැබෙන උද්‍යෝගය තරම් සම්මානයක් මට තවත් නැහැ. ඒ ජනතා සම්මානයට මං හැමදාමත් හිස නමලා ආචාර කරනවා.

ප්‍ර: ඔබ ලේඛකයෙක් නෙමෙයි වෙළෙන්දෙක් කියලා කිසිවෙක් හෝ චෝදනා කළොත් මොකක්ද ඔබට දෙන්න තියෙන පිළිතුර?

පිඃ එහෙම කෙනෙක් කියනවා නම් මට දෙන්න තියෙන්නෙ හරිම සරළ පිළිතුරක්. එයා ආර්ට් දන්නෙත් නෑ, සාහිත්‍යය දන්නෙත් නෑ, මාර්කටින් දන්නෙත් නෑ.

ප්‍ර: කාලීන දේශපාලන ආර්ථික ප්‍රශ්න නවකතාවේ වියමනට අරන් ඇවිත් සමාජ කථිකාවක් නිර්මාණය කළ හැකි නිර්මාණකරණයක් වෙනුවට ඇයි ඔබ ඓතිහාසික නවකතාවලට මුල් තැනක් දෙන්නෙ?

පි: ඓතිහාසික කෑල්ල කියන එක නිර්මාණය පළ වුණාට පස්සෙ ඒකට එල්ලන දෙයක් විඳියටයි මං දකින්නෙ. පවුද්ගලිකව මං විස්වාස කරන්නෙ මං ඓතිහාසික නවකතා ලිව්වෙ නැහැ කියලයි. පැවතුණා යැයි කියන ඉතිහාසය නිර්මාණාත්මකව ලියලා පළ කිරීම වෙනුවට හැම තිස්සෙම ඉතිහාසය අභියෝගයට ලක් කරමිනුයි මං ලිව්වෙ.

මොකද පසු නූතනවාදය තුළ ඉතිහාසය කියන්නෙ කලින් ලියන ලද්දක් නෙමෙයි යළි ලියවෙන ලද්දක්. දැන් ෆෙදරකෝ අන්දහාසි වගේ ලේඛකයෙක් ගත්තත් පසුගිය වසරේ බුකර් ත්‍යාගය දිනාගත් පෝල් ලින්ච් වගේ ලේඛකයෙක් ගත්තත් ඒ අය ඉතිහාසය පසුබිම් කරගෙන ලියපු හැම නවකතාවක්ම ලිව්වෙ ඉතිහාසය ලියවිලා තිබුණ විඳියට නෙමෙයි. ඒකට නව දැක්මක් සහ නව අර්ථකථනයක් දෙමින් ලියපු ලියමන් විඳියටයි ඒ අය ඒවා ලියලා තියෙන්නෙ.

දැන් ලොවීනා නවකතාව ඉතිහාසයට අයිති ප්‍රස්තූත කතාවක් වුණාට ඒකෙ කතා වෙන්නෙ කාන්තාව කුලය සහ බලය කියන කාරණාවලදි පත් වුණ තත්වය ගැනයි. ඒක එදාට වගේම අදටත් අදාළ මාතෘකාවක්. ඉතිහාසය හැම වෙලාවෙම මට මෙවලමක් විතරයි. ඒ මෙවලම ඇතුළේ වර්තමාන ප්‍රශ්නවල උත්ප්‍රාසය බුද්ධිමත් පාඨකයාට ග්‍රහණය කරගන්න පුළුවන්.

අනික ඒ හැම නවකතාවකම මං අභියෝගයට ලක් කරපු ඓතිහාසික කරුණු හුදු ෆැන්ටසිමය කරුණු නෙමෙයි. ඒ දේවල් මං ඉදිරිපත් කළේ රිසර්ච් එකකට පසුවයි. කොටින්ම කියනවා නම් මට ඕන වුණා පැවතුනා කියන ඉතිහාසය ඒ විඳියටම භාර ගන් නැතුව ඒක අළුතින් ලියන්න. මං හිතන්නෙ මහාචාර්ය රාජ් සෝමදේවයන් පවා කරන්නෙ ඒ දේයි.

ප්‍ර: මේ ළඟදි ඔබේ කෘති කීපයක්ම ඉංග්‍රීසි බසින් පළ වුණා නේද? කොහොමද ඒවට තියෙන ප්‍රතිචාර?

පි: මීට අවුරුදු දෙකකට විතර කලින් ලොවීනා සහ වික්ටෝරියා කියන දෙක කැනඩාවේ ටොරින්ටෝ වලදි ලෝන්ච් වුණා. ඊට පස්සෙ කලම්බො කියන එකයි නිල් කට්රොල් කියන එකයි ඉතාලියේ රෝමයෙදි ලෝන්ච් වුණා. ඉතිං ඇත්තටම මේ නවකතා හතරම ඉංග්‍රීසියට පරිවර්තනය කළේ කැනඩාවේ පදිංචි වෙලා හිටිය සෝමසිරි සිග් මහත්මයා. අවාසනාවකට එයා ගිය අවුරුද්දේ අපි අතරින් සමුගත්තා.

ඒ වගේම මගේ ආරාධනාවකින් තොරව එයාගෙම ස්ව කැමැත්ත මත තමයි මේ පොත් පරිවර්තනය කරන්න එයා තීරණය කරලා තිබුණේ. දැන් සාමාන්‍යය මතය තමයි ලංකාවෙම වුණත් ඉංග්‍රීසි පොත් වලින් ලංකාවේ අය ලියන ඉංග්‍රීසි පොත් වෙනුවට බටහිර ලේඛකයො ලියන පොත් තමයි වැඩිපුර කියවන්න පෙළඹුමක් තියෙන්නෙ කියන කාරණාව. ඒ අයට තමා වැඩි මාර්කට් එකක් තියෙන්නෙ. නමුත් මේ කොදෙව්වෙන් එහාට යනවා කියන එක ලොකු ප්‍රොසෙස් එකක්. ඒක දවසකින් දෙකකින් ඇතිවෙන දෙයක් නෙමෙයි. ඒක හෙමින් සීරුවේ බලන් ඉඳලා නිරීක්ෂණය කරන්න ඕන දෙයක්.

ප්‍ර: අවසාන වශයෙන් කියන්නකො එහෙනම් මොකක්ද අපිට ඊළඟට කියවන්න ලැබෙන පොත?

පි: ඒක එහෙම කියන්න බැහැ. දැනට අදහසක් තියෙනවා. නමුත් හෙට ගැන මගේ ජීවිතේ ගොඩක් බලාපොරොත්තු නැහැ. නමුත් මේ අවුරුද්දෙ පොතක් එයිද නැද්ද කියලා මට දැන්ම හරියට කියන්න බැහැ.

සටහන හා සාකච්ඡාව
බාසුරු ජයවර්ධන

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan