*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

ලංකාව තියෙන්නෙ කොළඹ ඇතුළෙ – ප්‍රසාද් වීරසේකර

අඹ දඹ කරඹ නොව ඔහු හරි මැද කොළඹ ය. බූන්දි වැඩ කණ්ඩායමේ මුල් සාමාජිකයෙකු ද වූ හෙතෙම සම්මානලාභී ගීත පද රචකයෙකු, වේදිකා නාට්‍ය වේදියෙකු හා කවියෙකු ලෙස විශ්ව විද්‍යාල සමයේ සිටම මෙරට සහෘද හදවත් තුළ නැංගුරම් දැමූ භාවිතාවෙන්ම දේශපාලනික සත්වයෙකි.

නිහඬවම කාලයක් ගතව ගියේය.

නමුදු හෘද සාක්ෂිය සමඟ සංවාදයේ යෙදෙන මිනිසෙකුට සිය ඇතුළාන්තයෙන්ම පැන නගින භාවිතාවන්ගෙන් සදාකල් වියුක්තව සිටීමට නොහැකි බව අවසන හෙතෙම තේරුම් ගත්තේය.
යළිත් රැකියාවෙන් ඉවත් වූ ඔහු ලේඛනයෙහි යෙදෙන්නට විය.

ඉතිං, ඒ ලිවිසැරිය යළිත් යාවත්කාලීන වන්නට වූයේ. ‘මලවි හී සර මොටයි’ සහ ‘අපි විතරක් ඉතිං සතුටින් ද?’
නමින් කෘතිද්වයමක් දොරට වැඩුමෙනි.

ඉතිං, ඔහු කව්රුන්ද?.

ඔහු නමින් ප්‍රසාද් වීරසේකරය.

පහතින් දිග හැරෙන්නේ ඔහු සමඟ ලංකා නිවුස් වෙබ් අඩවිය දේශපාලනිකව සංයුක්ත වූ මොහොතෙහි සටහන් වූ ‘සාක්ෂි අක්ෂර’ එකතුවයි.

Q. ’මලවි හී සර මොටයි’…., මේ කවිපොත මුලින්ම කියවද්දි අපි ඒක දැක්කෙ ‘සංයුක්ත කවි’ එකතුවක් විඳියටයි. නමුත් ඔබ ඒක හඳුන්වන්නෙ ‘නිදහස් කවි’ එකතුවක් විඳියටයි. ඇත්තටම මොකක්ද මේ කවි එකතුව ඒ විඳියට හඳුන්වන්න හේතුව?

A. මට අනුව නිදහස් කවිය කියන්නෙ සඳැසෙන් වියුක්ත වෙච්ච කවිය නෙමෙයි. සඳසෙන් වියුක්ත වෙච්ච කවිය තමයි නිසඳැස් කවිය කියන්නෙ. එතකොට නිදහස් කවිය නිදහසේ තියාගන්න පුළුවන් කියලා හිතලා අපි ඒකට දා ගත්ත නම තමයි නිදහස් කවිය කියන්නෙ. හැබැයි මේක නිදහස් නෑ. මේක ඇතුළෙත් අපි අමාරුවේ වැටෙන තැන් තියෙනවා.

ඒ කියන්නෙ භාෂාව අපේ අදහස් ප්‍රකාශ කරන්න අපොහොසත් වෙන තැනදි අපිට විකල්ප සොයා ගන්න සිද්ද වෙනවා. එතනදි තමයි මම මාරු වෙන්නෙ නිදහස් කවියට . මේවා සංයුක්ත කවි කියලා සමහරු කියනවා නම් මම කියන්නෙ මේවා සංයුක්ත කවි නෙමෙයි කියලයි. සංයුක්ත කවි කියන්නෙ දෘශ්‍ය කවියක්. මේක එහෙම නෑ. මේකේ සඳැස් කවිත් තියෙනවා.

සඳැස් කවි මැද්දෙ මට මොකක් හරි ප්‍රකාශ කරන්න ඕන නම් මම මාරු වෙනවා මොකක් හරි එලෙමන්ට් එකකට. එතකොට තමයි ඒක නිදහස් කවියක් බවට පත් වෙන්නෙ. නිදහස් කවියට ආකෘතියක් නැහැ. ඒ කවියම තමයි ඒකේ ආකෘතිය. ඒක දෑමු භාජනයේ හැඩය ගන්න එකක්. මම මේ පොත නිදහස් කවි කියලා නම් කරන්නෙ ඒ නිසයි. මේ පොතේ එන සමහර කවිවල මාතෘකා නෑ. සමහර කවි තියෙනවා මාතෘකාව තියෙනවා මැද හිස්. සමහර ඒවගෙ මාතෘකාව අන්තිමට නැතිනම් මැදට. මම ඒ වගේ වැඩක් තමයි මෙතනදි කරලා තියෙන්නෙ.

ඒක කාව්‍ය දේහය විසින් ඉල්ලන එකක් මිසක් මම හිතලා කරපු එකක් නෙමෙයි. මට භාෂාව මදි වෙද්දි මගේ අදහස් ප්‍රකාශ කරන්න මම ගිය දුර තමයි මලවි හී සර මොටයි කියන කවි එකතුව. මේක තමයි ඇත්තම නිදහස් කවිය. අර ලියවෙන දේවල් සඳැස් කවි සහ නිසඳැස් කවි.

Q. දෙකෝටි විසිලක්ෂයක ජනතාවම පාර්ලිමේන්තුව කියන මිනී පෙට්ටියට කරගහන්න එන්න ඕනද? බැරිද ඒ දෙකෝටියෙන් කීප දෙනෙක්ට හරි මේ මළගමට කරගහන් නැතුව ඉන්න???

A. කොහොමද එහෙම කීපදෙනෙක් සහභාගී නොවී ඉන්නෙ?

Q. ඒ කියන්නෙ මළගමක් කියන පාර්ලිමේන්තුව කියන දේ නිර්මාණය කරන්න දායක නොවුණ විකල්ප දේශපාලනයක නිරත වුණ සුළුතරයකට හෝ මේ මළගමට කරගහන් නැතුව ඉන්න බැරිද කියලයි මං මේ අහන්නෙ…

A. එහෙම පිරිසක් ඉන්න පුළුවන්. නමුත් ඉස්සෙල්ලම මේක වළදාන්න ඕන කියන තැන ඉන්නෙ ඒ අයනෙ. එතකොට ඒ අය තමයි ඉස්සෙල්ලම මේකට සහභාගී වෙන්න ඕන පිරිස. මේකට ඡන්දය දීපු අයට කලින් ඒ අය තමයි මේ මළගමට පෙරමුණ ගන්න ඕන. ඒ අය පෙරමුණ අරන් ඒ දේ කරලා තමයි අළුත් සිස්ටම් එකක් හදන්න ඕන.

Q. ඒ කියන්නෙ ඔබ දකින විඳියට පාර්ලිමේන්තුව කියන සන්කල්පයම මළගෙයක්ද?

A. මේ තියෙන එක නම් මළගෙයක්ම තමයි. මේ තියෙන මිනිය වළලලා ගෙදර අළුත් කරන් යන්න ඕන තත්වයක් තමයි දැන් තියෙන්නෙ. එතකොට දෙකෝටි විසිපන්ලක්ෂයම මේකට අදාළයි කියලයි මං කියන්නෙ. පොඩි එකෙක්වත් මේකට අදාළ නෑ කියලා කියන්න බෑ. මොකද ඒ අයගෙ අනාගතයත් මේකේ ඇතුළේ තියෙනවා.

Q. ඔබ හිතන විඳියට කොහොමද ඒක වෙනස් කරන්න පුළුවන්..?

A. සාමාන්‍යයයෙන් නිවරදි සිස්ටම් එක කියන්නෙ මැතිවරණයක්නෙ. මැතිවරණයකට ඉඩ දෙන්නෙ නැතිනම් ඊට පස්සෙ තීරණය වෙන්නෙ විප්ලවය. එතකොට ඒකට එකතු වෙන්න ඕන. එක ජනාධිපතිවරයෙක්ව එළවන්න මුළු රටක්ම එකතු වෙනවා. එතකොට මැතිවරණ දෙන්නෙ නැතුව ඉන්නවා නම් අත්තනෝමතිකව ඒ විකල්පය තෝර ගන්න වෙනවා.

රයිට්, අපි අරූවත් එළෙව්වා උඹලවත් එලවන එක මහ දෙයක් නෙමෙයි කියලා රට එකතු වෙන්න ඕන. දැන් අර අවස්ථාවෙදි යූ.එන්.පී පෙරටුගාමී ආදී සේරම හිටියා. දැන් රනිල් ජනාධිපති වුණාට පස්සෙ පිරිසක් අරගලයෙන් හැළුණා, ආ දැන් හරි වැඩේ ඉවරයි කියලා. නමුත් එහෙම වැඩ ඉවරවෙන් නෑ නෙ. අපේ අරමුණ කරා යනකල්ම ප්‍රෙට්‍රල් ඉවරකරගන් නැතුව යන්න ඕන.

Q. ඔබ එහෙම කියනකොට මට මතක් වෙන්නෙ ට්‍රොට්ස්කිව. ට්‍රොට්ස්කි කියනවා වගේ නොනවතින විප්ලවයක් ද දේශපාලනය තුළ හැමදාම තියෙන්න ඕන?

A. මම ට්‍රොට්ස්කිවාදියෙක් නෙමෙයි. මම කොමියුනිස්ට්වාදියෙක්. කොමියුනිස්ට්වාදය තමයි මං විස්වාස කරන්නෙ. මම කියන්නෙ කොමියුනිස්ට් එකක් හැදෙන්න ඕන සේරම එකතු වෙලා. මේ විනාස වෙන්නෙ රටක්නෙ. ඒකට විරුද්ධව මිනිස්සු එකතු වෙන්න ඕන. දැන් අනුර බලන් ඉන්නවනෙ මේක ගන්න. මම කියන්නෙ අපි මේක අනුරට දෙන්න ඕන. අපි තාම ඒ චිත්‍රපටිය විතරයිනෙ දැක්කෙ නැත්තෙ . අපි ඒ චිත්‍රපටියත් බලන්න ඕන. කොහොමද ඒ අය ඒක කරන්නෙ කියලා. දැන් ඒ අය කියනවනෙ අපිට දෙන්න අපි කරන්නම් බලන්නකො කියලා.

මං කියන්නෙ ජනතාවට අර හොරුන්ට දුන්නා නම් ජවිපෙටත් දීලා බලන්න. එතකොට අපිට බලාගන්න පුළුවන් ඒ අයට මොකක්ද කරන්න පුළුවන් කියලා.

Q. මෑත කාලීන හෝ වේවා අතීත කාලීන හෝ වේවා කිසියම් හෝ දේශපාලනික රිදවීමක්…එහෙමත් නැතිනම් කිසියම් හෝ රටක් තුළ වේවා නැතිනම් ලෝකයේ කොතැනක හෝ සිදු වූ හද පාරවනසුළු මනුෂ්‍යයත්වය ප්‍රශ්න කරවන කිසියම් හෝ සංසිද්ධියක් මතක හිටින්නෙ සාමාන්‍යයයෙන් නිර්මාණකරුවෙක්ට පමණයි. කොටින්ම කියනවා නම් මං කැමතියි අර මලවි හී සර මොටයි කියන නිර්මාණයේ එන ‘නාලන්ද සර්පයා දුටුවාද’ කියන කව ගැන නිධාන කතාව අහන්න…

A. ඕක ලියවෙන්නෙ මං ඔෆිස් එකේ ඉන්න කොටයි. ඒ වෙලාවේ නිවුස් එකක් යනවා සුසන්ත පුංචි නිළමෙව නාලන්ද ඝාතන නඩුවෙන් නිදොස්කොට නිදහස් කළා කියලා. මේ යාළුවෝ තුන්දෙනා තමයි නාලන්ද එල්ලාවලයි, ඩිලානුයි, ඩලසුයි කියන්නෙ. එතකොට අනිත් දෙන්නගෙන් එක්කෙනෙක් දකිනවා මේ දෙන්නගෙන් සුසන්ත පුංචිනිලමේ නාලන්දට වෙඩි තියනවා. එතකොට දැන් හොඳම විහිළුව තමයි සේරම වෙලා ඉවර වුණාම මේ අය අරගොල්ලො එක්ක ෂේප් වෙලා එකට කාගෙන බීගෙන ආතල් එකේ ඉන්නවා.

දැන් මං අහන්නෙ එතකොට නාලන්ද සර්පයා දුටුවාද කියලයි. බුදුහාමුදුරුවො ඇහුවෙ ආනන්ද සර්පයා දුටුවාද කියලනෙ.

දැන් මේ නාලන්දගෙ ළඟම තමයි සර්පයා ඉඳලා තියෙන්නෙ. මේක හෙන ඉමෝෂනලි ස්ටෝරි එකක්. කෙනෙක් තමන්ගෙ ළමයටත් නාලන්දගෙ නම දාලා තියෙනවා. අන්තිමට අවුරුදු ගාණකට පස්සෙ නඩු තීන්දුව දෙනවා සුසන්ත පුංචිනිලමේ නඩුවෙන් නිදහස් කියලා. මේක ඇත්තටම මට රිදිච්ච තැනක්.

මේක තමයි දේශපාලනය කියන්නෙ. ඒ කම්පණයෙන් තමයි මං මේක ලියන්නෙ.

ඒකේ තියෙන්නෙ සඳැස් කවියක්. මං ඒකයි කියන්නෙ මේවා නිදහස් කවි කියලා. තව දෙයක් කිව්වොත් අපේ ප්‍රගතිශීලී කියන දේශපාලඥයෝ දැනගන්න ඕන මේවා වුණේ කොහොමද කියලා. මොකද මේවා ආයි ආයිත් රොටේට් වෙනවා.

නාලන්ද කියන්නෙ දේශපාලනය වෙනුවෙන් බැහැලම වැඩ කරපු ඒ වෙනුවෙන් කැපවිච්ච චරිතයක්. මේවා අපි දැනගන්න ඕන. මේ දේවල් වලින් නීතිය නැමෙන්නෙ කොහොමද කියලා දැනගන්න ඕන. සදාකාලික මිතුරන් සහ සතුරන් දේශපාලනය තුළ නැති නිසා නාලන්දට යුක්තිය ඉෂ්ඨ වුණේ නෑ. මේක අපිරිසිදු ලෝකයක්. කුණු ගොඩක්. දහජරාවක්….

Q. ‘නාගරික සුන්දරත්වය’, කවියෙකුට හෝ කවියෙකුගෙ කවියකට කිසිවෙකුත් නොදකින ඒ රළු පරුෂ ගොරහැඩි කියලා බොහොමයක් දෙනා හඳුන්වන නගරය තුළ කවියාට හෝ කවියාගේ කවියට ඒ කියන සුන්දරත්වය අභිමුඛ වීම ඔබ දකින්නෙ කොයි විඳියටද?

A. මගේ ගම වනාතමුල්ලෙ . ඒ කියන්නෙ චාටර්ම පැත්තක්. අවුරුදු විසි නවයක් මං වනාතමුල්ලේ හිටියා. වනාතමුල්ලෙදි මං නොදැක්ක දෙයක් නෑ. මම නගරයේ හිටියට මං හැමතිස්සෙම හිටියෙ පොත් එක්කයි කැම්පස් එකේ යාළුවෝ එක්කයි සංවාද කරමිනුයි. එතකොට මගේ ලියවිලි වැඩිගාණක්ම ලියවුණෙත් මං වනාතමුල්ලෙ ඉන්නකොටයි. මොකද සිද්දීන් ගොඩක් මං දැක්කා.

අනික මියුරු දේවල් ගොඩක් දකිනකොට ඉන්න තැන අමතක වෙනවනෙ.

දැන් වික්ටර් කියනවනෙ හිත මිතුරු සුළඟ කියලා සිංදුවක්. එතකොට ඒකම ලියනවා දයාමුනි දිසානායක මන්දාරම් මැයි අදුර මැදින් කියලා. ඒකෙ එයා කියන්නෙ මේ වැස්සෙ ඔබ හිටියා නම් කොච්චර හොඳද කියලා. එතකොට එතන ජෙනරේෂන් ගැප් එක බලන්නකො. අරකෙ වහින්න එපා කියනවා. මේකේ වැහැපන් කියනවා.

දැන් ගඳ තැනක හිටියත් ටිකකින් ඒකේ ගඳ දැනෙන් නෑනෙ. මං ඕක තවත් විස්තර කරන්න උත්සාහ කරන්නම්කො. අපි කියමුකො බොරැල්ලෙ හන්දියෙ බාර් එකක්. ශබ්දයි කෑගැහිල්ලයි චාටර් කෝප්පයි එක්ක බොන්න හිතෙන්නෙම නැති තැනක්. නමුත් ටික වෙලාවකින් ඒක ඕකේ වෙනවා.

ඒ වගේ තමයි නාගරිකයත් සෞන්දර්යය සහ ප්‍රේමය විඳිනවා. හැබැයි එයා ඒක විඳින්නෙ එයාගෙ විඳියට. මොකද කොහෙවත් ප්‍රේමය කියන එක ගමට ලියලා දීලා නෑ. සෞන්දර්යයත් ඒ වගේ තමයි.

මෙහෙත් තියෙනවා ප්‍රේමය සහ සෞන්දර්ය. දැන් මේකේ ඇති කවියක් මට්ටක්කුලියෙ හැමතැන මොට්ටක්කිලියක් මට නුඹ කියලා. දැන් ඒකේ ඉන්නෙ හචා බචා ජීවිතයක් ගත කරන ත්‍රී වීලර් එකක් එළවන මුස්ලිම් කෙල්ලෙක්ට ආදරේ කරන කොල්ලෙකුයි.

එතකොට ඌටත් ආදරය සහ සෙනෙහස දැනෙනවා. අනෙකුත් සෞන්දර්යවාදී දේවලුත් දැනෙනවා. දැන් අනිත් එක ගම තියෙන්නෙ මෙහෙනෙ. දැන් බලන්න ගමේ කඩේ, ඇඹුල් තියල්, ඇතුළු ගමේ කඩේ සීරියස් එකම තියෙන්නෙත් මෙහෙනෙ. ඒ නිසා ගම මෙහේ ඇවිල්ලා ඉවරයි. වාණිජ පරමාර්ථයෙන් හරි සමාජ පරිවර්තනයක් විඳියට හරි ගම මෙහෙට ඇවිල්ලා ඉවරයි. ගම නගරයට කාන්දු වෙලා ඉවරයි. කොළඹ තියෙන්නෙ බස්නාහිර පළාතේ වුණාට ලංකාව තියෙන්නෙ කොළඹ ඇතුළෙ. කොළඹ ගිහින් වැඩක් කළේ නැතිනම් ජීවිතේ වැඩක් නෑ වගේ එකක්නෙ මිනිස්සුන්ට තියෙන්නෙත්. එතකොට ඒ වගේ මික්ස් එකක් ඇතුළෙ තමයි හැම ප්‍රපංචයක්ම මිනිස්සු අත් විඳින්නෙ. නාගරික සුන්දරත්වය කේන්ද්‍රගත වෙන්නෙත් ඔය අනුසාරයෙන් තමයි.

Q. ඔබ හිතන විඳියට ක්ෂණික ආස්වාදයක් දනවන දේ හඹා යන අද්‍යයතන නව ලිබරල් ලෝකය තුළ කවිය සහ කවියාට කොහොමද පුළුවන් වෙන්නෙ තම පැවැත්මේ ආස්ථානය ආරක්ෂා කරගන්න?

A. මං කියන්නෙ ඒක කරන්න පුළුවන්. මොකද ලෝකයේ මේ තරම් දේවල් කරන්න තියෙද්දි ඇයි අපි කවි ලියන්නෙ. යම්කිසි හෝ දේශපාලනික අරමුණක් වෙනුවෙන්නෙ. කවි දේශපාලනිකයි. මට නම් එහෙමයි. මට ලියවෙන එකක් නෑ කවදාවත් අදේශපාලනික සමනල් කවි. ඒ ශුද්ධ කවිය වෙනුවට ප්‍රවණතාමය කවියක් තමයි මගෙන් ලියවෙන්නෙ. සමාජයට පණිවිඩයක් අරන් යන්න ඕන කියන අවියෝජනීය බැඳීමක් තියෙන මිනිහෙක්ට ඒවා ලියනවා නෙමෙයි ලියවෙනවා. ඒක තමයි ඔහුගෙ ප්‍රකාශන මාධ්‍යය වෙන්නෙ. එතකොට එයා එයාගෙ ප්‍රතිබිම්භය කවිය ඇතුළෙ හඳලා ඉවරයි.

මේ සමාජයත් එක්ක අරගලා කරලා මහන්සි වෙන වෙලාවල් එනවා ඕන කෙනෙක්ට. නමුත් ඒකත් කමක් නෑ කියලා තමන්ගෙ වැඩේ කරන මිනිස්සු හරි උත්තුංග මිනිස්සු. ඒ වගේ එක්කෙනෙක් තමයි අර අජිත් සෙනෙවිරත්න අයියා. මොන වැඩේ කොහේ තිබුණත් කැමරා බෑග් එක උස්සගෙන එයා ඒ වැඩේට යනවනෙ. වැඩේට අවංක නම් එයා රැදෙනවා. වැඩේට අවංක නැතිනම් ටික කාලෙකින් එයා හොයාගන්න බැරි වෙනවා.

දැන් අපි ඒ දවස්වල බූන්දි කරනකොට එක්කෙනෙක් හිටියා එක පාරටම දෙමළ ජාතික ප්‍රශ්නය ගැන සංවේදී වෙලා කතා කරන්න පටන් ගත්ත .එතකොට අපේ තව සහෝදරයෙක් ඒ ගැන කිව්වෙ බලපන් ඌ ඔය හදන්නෙ රටකට පැනගන්න පාරකුයි කියලා. කිව්වත් වගේ එයා රට ගියා.

මම කියන්නෙ එහෙම නැතුව වැඩේට අවංක නම් වැඩේ ඇතුළේ රැදෙනවා. එහෙම රැදෙනකොට ඒකේ ආස්තානය ඉබේම ආරක්ෂා වෙනවා. මොකද අද මේ මොහොත දක්වාම වැඩේට අවංක වුණ විශාල පිරිසක් කාව්‍යකරණයේ නියැලිලා ඉන්නවනෙ. වාණිජ පරමාර්ථ පැත්තකට කරලා ඒ අය දිගටම තමන්ගෙ වැඩේ නිරත වෙලා ඉන්නවා. ඒ නිසා කවියේ පැවැත්ම සහ එහි ආස්ථානය එකී නිර්ව්‍යාජ මිනිසුන් විසින්ම දැනුවත්ව හෝ නොදැනුවත්ව සකස් කරනු ලබනවා.

Q.ඇත්තටම ඇයි රටකට සමාජයකට එහෙමත් නැතිනම් ලෝකයට කවිය අවශ්‍යය වෙන්නෙ? මේ සෞන්දර්යවාදී මෙවළමේ භාවිතාවේ උපයෝගීතාවය ගැනයි මං මේ අහන්නෙ….

A. මම කියන්නෙ කවි විතරක් නෙමෙයි. සිනමාව වේදිකාව ගීතය මේ හැම එකක්ම රටකට අවශ්‍යයි. සංස්කෘතික ජීවිතයක් මිනිස්සුන්ට අවශ්‍යයයි. මිනිස්සු ඒ ජීවිතය ඇතුළෙ ඥානනය වෙන්න ඕන. එතකොට තමයි මං විස්වාස කරන්නෙ සුපුෂ්පිත සමාජයක් විකසිත සමාජයක් හැදෙනවා කියලා. එතකොට තමයි ඡන්දදායකයා වුණත් බුද්ධිමත් කෙනෙක් බවට පත් වෙන්නෙ. ඒ නිසා සාහිත්‍ය සහ කලාව කියන දේට කරන්න පුළුවන් දේවල් අප්‍රමාණයි.

දැන් මං උදාහරණයක් විඳියට කිව්වොත් මෙන්න මෙහෙම, දැන් අපිට ඉන්නවනෙ සංස්කෘතික ඇමති කෙනෙක් කියලා කෙනෙක්. අපේ රටේ තියෙන වැදගත්ම අමාත්‍යංශය තමයි සංස්කෘතික අමාත්‍යංශය කියන්නෙ. ඒකේ ඇමතිකම දෙන්නෙම දීලත් බැරි නොදිත් බැරි වයසක ලොක්කෙක්ටම තමයි. පොඩ්ඩක් ඉතිහාසේ ඉඳලම අරන් බලන්නකො.

නමුත් ඒක කොයිතරම් වැඩකොටසක් කරන්න තියෙන අමාත්‍යංශයක්ද. මේකෙන් කොයිතරම් නම් වැඩකොටසක් කරන්න තියෙනවද එළියෙ. නොනිදා කරන්න තියෙන අති විසාල වැඩකොටසක් තියෙනවා මේකට කරන්න. මුළින්ම ජනසන්නිවේදනය හදන්න ඕන. සංහිඳියාව හැදෙන්නෙ එතනින්. දෙමළ මිනිස්සු තුළ තියෙන අපි ගැන ආකල්ප වෙනස් කරන්න වගේ දේවල් කරන්න පුළුවන් සංහිදියාව, ජාතිවාදී ආගම් ප්‍රශ්න ගැන තියෙන ආකල්පමය වෙනස ඇති කරන්න පුළුවන් සංහිදියාව, සංස්කෘතික අමාත්‍යංශයට විතරක් මැදිහත් වෙලා කරන්න පුළුවන් දෙයක්.

ඒ නිසා හොඳ ජව සම්පන්න කෙනෙකුට මේ ඇමතිකම දෙන්න ඕන. දැන් මේ අය කරන්නෙ මොකක්ද රාජ්‍ය නාට්‍ය උළෙලයි ,රාජ්‍ය සාහිත්‍යය සම්මාන උළෙලයි වගේ පොඩි දේවල් ටිකක් විතරයිනෙ. විකසිත සමාජයක් හදාගන්න ඕන නම් කවිය වගේම අනෙකුත් කලා භාවිතාවනුත් අවශ්‍යයයි. ලෝකයට ඒ වගේ නිර්මාණ භාවිතාවන් අවශ්‍ය වෙන්නෙ ඒ නිසයි.

Q. ඇයි ඔබ ආයිමත් සම්මාන ලබා ගන්නෙ නෑ කියලා ප්‍රකාශයක් කළේ???

A. 2009දි මම අන්තිමටම ගත්තෙ යෞවන සම්මානය. ඊට පහුවෙනිදා මට පට්ට දුකක් එක්ක මහ හිරිකිතයක් ආවා. ඊට පස්සෙ තමයි මං ලිව්වෙ ආපහු සම්මාන ගන්නෙ නෑ කියලා. මම එතකොට මැනින් මාර්කට් එකේ වැඩ කළා. බෝගහ හන්දියෙන් අපි බහිද්දි එතන අතුගාන කෙල්ලෙක් හිටියා. ඒ කෙල්ල අපි එතනින් යන එනකොට හැමදාම අතුගානවා. මම සිංදුවක් ලිව්වා පාර අමදින්නී කියලා. ඒකට සම්මානයකුත් ලැබුණා. දැන් මට සම්මානයක් ලැබුණට අර කෙල්ල තාම පාර අතුගානවනෙ. ඒ කියන්නෙ මං මහ බල්ලෙක්නෙ. මං මහ ජරා මිනිහෙක්නෙ.

දැන් මේ අය කරන්නෙ ප්‍රශ්නයක් හොඳටම ලියන කෙනාට සම්මානය කියන අල්ලසක් දීලා එයාව යවනවා ප්‍රශ්නය ඉතුරු කරලා. එතකොට කොහොමද මං සම්මාන ගන්නෙ. දැන් අනිත් එක තමයි යෞවන නාට්‍ය උළෙල සහ රාජ්‍ය නාට්‍ය උළලෙ, ඒ සේරම නාට්‍ය රාජ්‍ය ප්‍රශ්න කරන නාට්‍යය. නමුත් ඒ අය සම්මාන ගන්නෙ මේ සිස්ටම් එකම පවත්වගෙන යන අයගෙ අතින්. කොහොමද මං අහන්නෙ රෙද්දක් ඇදගෙන ගිහින් එහෙම සම්මාන ගන්නෙ.

මේ රොටේෂන් එක තමයි ප්‍රශ්න ඉතුරු කරලා ප්‍රශ්න ගැන හොඳටම කතා කරපු උන්ට කීයක් හරි දීලා යකඩ පිත්තල කෑලි ටිකකුත් දීලා ඒ අයව සනසලා ප්‍රශ්නය ඉතුරු කරන එක. ඒ වගේ භාවිතාවක නිරත වෙන අයගේ සෑබෑ ස්වරූපය මොකක්ද කියලා හිතා ගන්න මට බැහැ. මිනිස්සු දේශපාලනික නැති නිසයි මෙහෙම වෙන්නෙ. මිනිස්සු තමුන්ගෙ භාවිතාවෙන් දේශපාලනික වෙනවා නම් ඒ වගේ සම්මාන අරගන්නෙ නෑ. මම මගේ හදවතින්ම දේශපාලනිකයි. ඒ නිසා ඒ විදියෙ සම්මාන මට ඕන නැහැ.

Q. අවසාන වශයෙන් අපි කැමතියි දැන ගන්න ඔබ දිගටම නිර්මාණකරණයේ යෙදෙන්නෙ පද්‍යයෙන් පමණක් ද කියලා දැනගන්න…ගද්‍ය පැත්තට යොමු වෙන්න අදහසක් නැතිද???

A. නෑ මං දැන් මේ දවස්වල නවල් එකක් ලියන් යනවා. නමුත් පහුගිය කාලයේ රාජකාරී කටයුතු නිසා මට ලියන්න බැරි වුණා. දැන් මං ඔෆිස් එකෙන් අයින් වෙලා නිසා තමයි කවි පොත් දෙක ඉවර කරගත්තෙත්. ඇත්තටම ලියවෙන නවල් එක ටිකක් වෙනස් දෙයක්. ඒකට පසුබිම් වෙන්නෙ මැනින් මාර්කට් එක. මේ වෙනකොට ඒකේ චැප්ටර්ස් දෙකක් සම්පූර්ණයෙන්ම ඉවරයි. බොහෝ දුරට මේ අවුරුද්දෙ අන්තිම වගේ ඒක පළකරන්න පුළුවන් වෙයි.

සටහන හා සාකච්ඡාව
බාසුරු ජයවර්ධන

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan