Saturday, December 3, 2022
spot_img

Latest Posts

උද්ධමනය අඩුවීම තහවුරු වේ !

මේ වන විට ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් 2022 ඔක්තෝබර් මාසයේ ජාතික පාරිභෝගික මිල දර්ශක අගය ප්‍රකාශයට පත් කර තිබෙනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනයේ වෙනස් වීමම නිරූපණය කරමින් ජාතික පාරිභෝගික මිල දර්ශක අගය මත පදනම් වූ උද්ධමනයද 73.7% සිට 70.6% දක්වා අඩු වී තිබෙනවා.

මීට පෙර ප්‍රකාශයට පත් කළ කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2022 ඔක්තෝබර් උද්ධමනය 69.8% සිට 66.0% දක්වා ප්‍රතිශතාංක 3.8%කින් පහළ ගියා. ජාතික පාරිභෝගික මිල දර්ශක අගය මත පදනම් වූ උද්ධමනය ප්‍රතිශතාංක 3.1%කින් අඩු වී තිබෙනවා. ආහාර උද්ධමනය (80.9%) මෙන්ම ආහාර නොවන උද්ධමනය (61.3%) තුළද මේ අඩු වීමේ ප්‍රවණතාව දැකිය හැකියි.

පවතින තත්ත්වය විස්තර කිරීම සඳහා යොදා ගත හොඳම උපමාව මගේ පෙර සටහනක ලියා ඇති දෙයයි. මුහුදේ ගිලී ඇති බෝට්ටුව අඟල් කිහිපයක් උඩට ඉස්සී ඇතත්, එය තවමත් තියෙන්නේ අඩි ගණනක් මුහුද යටයි.

උද්ධමනය දිගින් දිගටම ක්‍රමික ලෙස අඩු වනු ඇතත්, අඩු වශයෙන් 2023 අප්‍රේල් පමණ වන තුරු එය සිදු වනු ඇත්තේ සෙමින්. ඒ අතර, ඇතැම් මාසයක උද්ධමනය සුළුවෙන් වැඩි වෙන්න වුනත් බැරි කමක් නැහැ. උද්ධමනය වඩා වේගයෙන් පල්ලම් බසිනු ඇත්තේ 2023 අප්‍රේල් වලින් පසුවයි. කෙසේ වුවත්, මේ වන විට අධි උද්ධමන අවදානම, තිරසාර ලෙස නොවුණත්, පාලනය වී තිබෙනවා.

උද්ධමනය ගැන මැසිවිලි නගන අයට ආර්ථික අර්බුදයේ තරම හරියටම අවබෝධ වනු ඇත්තේ උද්ධමනය අඩු වීමෙන් පසුවයි. රජයේ හා පෞද්ගලික අංශයේ මාසික වැටුප් ලබන අයට උද්ධමනයේ බලපෑම දැඩි ලෙස දැනෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. එහෙත්, මා පෙර ලිපියක විස්තර කළ පරිදි, අයෙකුගේ වියදම් වැඩිවීම යනු තවත් අයෙකුගේ ආදායම් ඉහළ යාමයි. නිෂ්පාදන වල යෙදෙන අයට උද්ධමනය නරකම නැහැ. ඒ අයටද ආර්ථික අර්බුදය දැනෙන්නට පටන් ගනු ඇත්තේ උද්ධමනය අඩු වූ පසුවයි.

බොහෝ දෙනෙකුගේ ජීවන තත්ත්වය පහළ වැටී තිබෙන්නේ ආර්ථිකය සංකෝචනය වීම නිසා මිස උද්ධමනය නිසා පමණක් නෙමෙයි. පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ උද්ධමනය පැවතුණේ අඩු මට්ටමකයි. එහෙත්, තමන්ගේ ආර්ථිකය දුර්වල වී තිබීම ගැන ඒ කාලයේත් බොහෝ දෙනෙකුට මැසිවිලි තිබුණා. ඒවා පක්ෂ දේශපාලනය මත පදනම් වූ බොරු මැසිවිලිම නෙමෙයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපති වී සිටි කාලයේ පැවති ඉහළ ආර්ථික වර්ධන වේගයට ලංකාවේ බොහෝ දෙනෙක් හුරු වී සිටියා. යහපාලන ආණ්ඩුව කාලයේ එම ආර්ථික වර්ධනය පහළ බැස්සා. එය මිනිස්සුන්ට දැනුනා. එහෙත්, ඒ කාලයේදීත් ආර්ථිකය සෙමින් හෝ වර්ධනය වුනා මිස හැකිළුනේ නැහැ. ආර්ථිකය සංකෝචනය වීම ශ්‍රී ලාංකිකයින්ට නුපුරුදු අලුත්ම දෙයක්. එය කුමක්ද කියා බොහෝ දෙනෙකුට තවමත් හරි අවබෝධයක් නැහැ.

ආර්ථිකය සංකෝචනය වීම කියන්නේ රටේ නිෂ්පාදනය අඩු වීම. මිනිසුන්ගේ ආදායම් අඩු වීම. රැකියා අහිමි වීම. මේ වගේ තත්ත්වයක් වලක්වා ආර්ථිකය නැවත ප්‍රසාරණය කිරීමේ හැකියාවක් දැන් රජයට හෝ මහ බැංකුවට නැහැ. එසේ කිරීම සඳහා තවත් සල්ලි අච්චු ගැසුවොත් ප්‍රතිඵලය අධිඋද්ධමන තත්ත්වයක් ඇති වීමයි. අධිඋද්ධමන තත්ත්වයක් ඇති වුවහොත් කොහොමටත් ජීවිතය යහපත් වන්නේ නැහැ.

දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ තුළ ඉලක්ක කරන්නේ දරුණු රෝග දෙකකින් එකකට පමණක් පිළියම් කරන්නටයි. ලෙඩ දෙකකටම පිළියම් කළ නොහැකිනම් හොඳම දෙය පුළුවන් එකට හෝ පිළියම් කිරීම වුවත් එසේ කිරීමෙන් අනෙක් රෝගයේ වේදනා නිමා වන්නේ නැහැ.

උද්ධමනය අඩු වෙනවා කියන්නේ මිල අඩු වෙනවා කියන එක නෙමෙයි. ඩොලරයක මිල නැවත කලින් මට්ටමට එන්නේ නැතුවාක් මෙන්ම වැඩි වූ බඩු මිල නැවත අඩු වන්නේද නැහැ. උද්ධමනය අඩු වීම යනු බඩු මිල තවත් ඉහළ යාමේ වේගය පාලනය වීමක් පමණයි. ඒ හේතුව නිසාම, රජයේ හා පෞද්ගලික අංශයේ මාසික වැටුප් ලබන පහළ මධ්‍යම පාන්තිකයින්ට අර්බුදයට පෙර පැවති ජීවිතය නැවත ලැබෙන්නේ නැහැ. ඔවුන්ට තමන්ගේ ආදායම අත්‍යවශ්‍ය වියදම් වෙනුවෙන් වැය කරමින් අත්‍යවශ්‍ය නොවන වියදම් කපා හරින්නට සිදු වෙනවා. බොහෝ දෙනෙක්ට දැනටමත් එසේ කරන්න සිදු වෙලා.

කෙසේ වුවත්, ඊළඟ වටයේදී ජීවිතය වඩාත්ම අසීරු වනු ඇත්තේ ඉහත කී රජයේ හා පෞද්ගලික අංශයේ මාසික වැටුප් ලබන පහළ මධ්‍යම පාන්තිකයින්ට නෙමෙයි. ඔවුන්ට කෙසේ හෝ ජීවිතය ගැට ගහගන්න පුළුවන්. එහෙත්, කලින් මෙන් මරුටියක්, ඇල්ටෝ එකක් නඩත්තු කිරීම, හන්දියට වුනත් ත්‍රිරෝද රථයක යාම, විශේෂඥවරුන් චැනල් කිරීම, සති අන්ත විනෝද චාරිකා, චීන අවන්හල් වල සෙට් වීම්, පන්සල් පල්ලි වල “ප්‍රසාංගික” ආගමික කටයුතු ආදිය කරන්න බැරි වෙයි. ගෙවන්න ගන්න ඉලෙක්ට්‍රොනික් බඩු, ගෙවල් හැදීම් කරන්න අමාරු වෙයි.

විශාල පිරිසක් ඉහත ආකාරයේ වියදම් කපා හැරීම නිසා අපනයන හෝ සංචාරකයින් ඉලක්ක කර නොගත් සේවා ආර්ථිකයේ විශාල බිඳ වැටීමක් සිදු වීම වැළැක්විය නොහැකියි. මුල් කණ්ඩායමට මෙන් නොව මෙහිදී පහර වදින කණ්ඩායමට තමන්ගේ ආදායම් මාර්ගය මුළුමනින්ම මෙන් නැති විය හැකියි. ආර්ථිකය සංකෝචනය වීමේ වඩාත්ම භයානක ප්‍රතිඵලය එයයි. සුළු හා මධ්‍යම ව්‍යවසායකයින් නැත්තටම නැති වී තිබෙන්නේද ආර්ථිකය සංකෝචනය වීම නිසා මිසක් උද්ධමනය නිසා නෙමෙයි. ඒ හේතුව නිසාම, උද්ධමනය අඩු වූ පමණින් ඔවුන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.

ආර්ථිකය සංකෝචනය වීම වැළැක්වීම රජයට හෝ මහ බැංකුවට කළ නොහැකි දෙයක්. ආණ්ඩුව මාරු වුනා කියාත් කෙටිකාලීනව මේ තත්ත්වයේ වෙනසක් වීමේ ඉඩක් නැහැ. රජයට හෝ මහ බැංකුවට කළ හැක්කේ රට ඇතුළේම තිබෙන සම්පත් එහා මෙහා කිරීම පමණයි. නමුත් මේ වෙලාවේ රට ඇතුළේ එවැනි සම්පත් නැහැ. රටේ හැමෝටම අමාරුයි. රටේ තත්ත්වය හොඳ අතට හැරිය හැක්කේ රටට පිටින් ලැබෙන දෙයකින් පමණයි. මෙය තවතවත් ණය වීමක් ලෙස හැඳින්විය හැකි වුවත්, රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය යම් මට්ටමකින් හෝ පවත්වා ගැනීමටනම් යම් හෝ විදේශ ණය ප්‍රමාණයක් අවශ්‍යයි.

ණය පැහැර හැර ඇති රටකට තවත් ණය ලබා ගත හැකිද? මේ කරුණ මා මේ සටහනේ දීර්ඝ ලෙස සාකච්ඡා කරන්න යන්නේ නැහැ. එහෙත්, මෙය කිසිසේත්ම කළ නොහැකි දෙයක් නෙමෙයි. එහෙත්, ඒ සඳහා පූර්ව කොන්දේසියක් වන්නේ දැනට පැහැර හැර ඇති ණය ආපසු ගෙවන ආකාරය පිළිබඳව පැහැදිලි පොරොන්දුවක් ණය හිමියන්ට ලබා දීමයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළ සිදු වන්නේ එවැනි දෙයක්.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක වී යම් ණය ප්‍රමාණයක් අලුතෙන් ලබා ගත හැකි වුවහොත් තාවකාලිකව අර්බුදයෙන් ගොඩ යා හැකියි. එහෙත් එයින් අදහස් වන්නේ නැවත 2019 සිටි තැනට යා හැකි බව නෙමෙයි. තත්ත්වය තවත් නරක අතට හැරෙන එක නවත්වා ගැනීම පමණයි.

හොඳම තත්ත්වයක් යටතේ වුවත් ගත් ණය ආපසු ගෙවීමේ ප්‍රශ්නය එලෙසම ඉතිරි වෙනවා. ඒ නිසා, නැවතත් ගිතෙල් කා සැප විඳි කාලයට ආපසු යන්න බැහැ. වසරකට ඩොලර් බිලියන තුනකින් පමණ අපනයන ආදායම් වැඩි කර ගැනීමේ සැලසුමක් ගැන ඇහුණා. මේ විදිහට අපනයන ආදායම් වැඩි කර ගැනීමේ ශක්‍යතාවය කෙසේ වුවත්, වසර දහයකින් පසුව හෝ නැවත පෙර සිටි තැනට පැමිණිය හැකි එකම ක්‍රමය එයයි.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.