*
Monday, April 29, 2024
spot_img

Latest Posts

ගෙවුම් ශේෂ ප්‍රශ්නය හා විසඳුම

ලංකාවේ ගෙවුම් ශේෂ ප්‍රශ්නය ගැන සහ එයට විසඳුම් ගැන අදහස් පළ කරන අය අඩුවක් නැහැ. විශේෂයෙන්ම පසුගිය වසර තුළ එවැනි අය හැම තැනම හිටියා. සමහර අයට අනුව, කවුරුත් මහන්සි වෙලා වැඩ කරලා මොනවා හරි හදලා පිටරට යවලා ඩොලර් එකක් හරි හොයන්න ඕනෑ. අරගලය දවස් වල අපේ එක් මිතුරෙක් කියපු විදිහට “පොල්කටු හැන්දක් හරි පිටරට යවලා කීයක් හරි හොයන්නේ නැතුව නිකම්ම ප්‍රශ්නය විසඳෙන්නේ නැහැනේ!”. තනි පුද්ගලයෝ විදිහට මෙහෙම හිතන එක හොඳයි. එහෙම ඩොලර් කීයක් හරි හොයන්න උත්සාහ කරන එකෙන් තමන්ට හොඳක් වෙනවට අමතරව රටටත් හොඳක් මිසක් කිසිසේත්ම නරකක් වෙන්නේ නැහැ. නමුත්, එහෙම කීයක් හෝ හෙවුවා කියලා ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.

ඔය විදිහට තනි පුද්ගලයින් විසින් ඩොලර් හොයලා ප්‍රශ්නය විසඳන එකේ දිගුවක් ලෙස සැලකිය හැකි වර්ෂන් එක අනුව රජය විසින් අපනයන වෙළඳපොළවල් සොයා ගත යුතුයි. යම් තාක් දුරකට මේ අදහසේ ගත යුත්තක් තිබුණත් මෙය අලුත් අදහසක් හෝ ක්‍රියාත්මක කරන්න උත්සාහ කර නැති අදහසක් නෙමෙයි. ඔය වැඩේ වෙනුවෙන්ම ඉන්න රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. නමුත්, “විකුණන්න පුළුවන් දේවල්” ගැන හොයා බලන එක රජයට ඒ තරම් ලේසියෙන් කළ හැකි දෙයක්නම් කවුරු හෝ ව්‍යාපාරිකයෙක් ඒ වැඩේ නොකර ඉන්නේ නැහැ.

කොහොම වුනත්, ආනයන සීමා කිරීම මගින් ප්‍රශ්නය විසඳීමේ විකල්පයට සාපේක්ෂවනම් ඉහත යෝජනා දෙකම හොඳයි. අර්බුද අවස්ථා වලදී තාවකාලිකව ඔය වැඩේ කරන්න සිදු වුනත්, දිගුකාලීනව මෙය රටකට ඉතාම හානිකරයි.

ඔය එකක්වත් හරියන්නේ නැත්නම් ප්‍රශ්නයට විසඳුම කුමක්ද?

ගෙවුම් ශේෂ ප්‍රශ්නය සාර්ව ආර්ථික ප්‍රශ්නයක්. සාර්ව ආර්ථික ප්‍රශ්නයකට සාර්ව ආර්ථික විසඳුම් අවශ්‍යයි. ඒ වැඩේ කරන්න පුළුවන් රටේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති තීරණය කරන අයටයි. තනි පුද්ගලයින්ට හා සමාගම් වලට ක්ෂුද්‍ර ආර්ථික ප්‍රශ්න විසඳිය හැකි වුවත්, එහෙම කිරීමෙන් පමණක් සාර්ව ආර්ථික ප්‍රශ්න විසඳන්න බැහැ. රටේ මිනිස්සු කොයි තරම් මහන්සි වෙලා වැඩ කළත්, සාර්ව ආර්ථික ප්‍රතිපත්ති අවුල්නම් අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. ඒ වගේම, සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ වැරැද්ද නිවැරදි කළාට පස්සේ අනෙක් දේවල් කිසිවක් නොකළත් ප්‍රශ්නය විසඳෙනවා.

මුලින්ම අපි ප්‍රශ්නය නිවැරදිව තේරුම් ගැනීම සඳහා 2012 වසරට යමු. මෙහිදී අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණ ගෙවුම් ශේෂ ප්‍රශ්නයට හේතුව ජංගම ගිණුමේ හිඟය මිසක් වෙළඳ ගිණුමේ හිඟය නොවන බවයි. වෙළඳ ගිණුමේ සටහන් වන භාණ්ඩ ආනයන හා අපනයන කියන්නේ රටට විදේශ විණිමය එන හා රටේ විදේශ විණිමය වැය වන එක ආකාරයක් පමණයි. පහත තිබෙන්නේ 2012 වසරේදී රටට ලැබුණු විදේශ විණිමය ආදායම් හා රටේ විදේශ විණිමය වියදම්.

2012 ජංගම ගිණුම:

අපනයන ආදායම් – ඩොලර් මිලියන 9,774

සේවා අපනයන ආදායම් – ඩොලර් මිලියන 3,800

ප්‍රාථමික ආදායම් – ඩොලර් මිලියන 142

ද්වීතියික ආදායම් – ඩොලර් මිලියන 6,038

ඉපැයීම් එකතුව – ඩොලර් මිලියන 19,754

දැන් මෙහි පෙනෙන පරිදි, රටේ අපනයන ආදායම් කියන්නේ රටේ මුළු විදේශ විණිමය ඉපැයීම් වලින් බාගයකටත් වඩා අඩු කොටසක්. අපනයන ආදායම් ප්‍රමාණයට වඩා වැඩි විදේශ විණිමය ප්‍රමාණයක් වෙනත් ක්‍රම වලින් රටට ඇවිත් තිබෙනවා. මේ කියන්නේ ණය හෝ ආයෝජන ගැන නෙමෙයි. ඒවා අත ඇරලා ආපසු නොගෙවිය යුතු විදේශ විණිමය ලැබීම් පමණක් ගැනයි. අපනයන ආදායම් ලෙස ඩොලර් මිලියන 9,774 එද්දී අනෙකුත් විදේශ විණිමය ඉපයීම් වලින් ඩොලර් මිලියන 9,880ක් රටට ඇවිත්.

දැන් අපි 2012දී විදේශ විණිමය වැය කළ ආකාරය දෙස බලමු.

ආනයන වියදම් – ඩොලර් මිලියන 19,190

සේවා ආනයන වියදම් – ඩොලර් මිලියන 2,538

ප්‍රාථමික ආදායම් ගෙවීම් – ඩොලර් මිලියන 1,361

ද්වීතියික ආදායම් ගෙවීම් – ඩොලර් මිලියන 646

ගෙවීම් එකතුව – ඩොලර් මිලියන 23,736

ප්‍රාථමික ආදායම් ගෙවීම් වල තියෙන්නේ පොලී හා ලාභාංශ ගෙවීම්. ද්වීතියික ආදායම් ගෙවීම් ලංකාවෙන් එළියට යන ප්‍රේෂණ. දැන් මේ විදේශ විණිමය වැය දිහා බැලුවහම පේන පරිදි, ඉපැයීම් හා ගෙවීම් අතර ඩොලර් මිලියන 3,982ක පරතරයක් තිබෙනවා. මේක තමයි ජංගම ගිණුමේ හිඟය.

මේ හිඟය පියවුනේ කොහොමද? මෙයින් යම් කොටසක් විදේශ ආයෝජන ලෙස රටට එන විදේශ විණිමය වලින් පියැවෙනවා. වැඩි කොටසක් ණය.

ඊළඟ ප්‍රශ්නය මේ වගේ පරතරයක් හැදුනේ කොහොමද? රටේ මිනිස්සු ඉවක් බවක් නැතිව ආනයන කරපු නිසා මේ වගේ හිඟයක් හැදුනද?

නැහැ. මේ හිඟය ණය ගැනීමේ ප්‍රතිඵලයක්. එහෙම නැතුව, විදේශ විණිමය හිඟයක් තිබුණු නිසා ණය ගන්න වුනා නෙමෙයි. ඔය 2012 අවුරුද්ද තුළ රජය විසින් ඩොලර් මිලියන 2,869ක දිගුකාලීන විදේශ ණය අරගෙන තියෙනවා. විදේශිකයින්ට රාජ්‍ය සුරැකුම්පත් අලෙවි කිරීම මගින් තවත් ඩොලර් මිලියන 843ක මුදලක් එකතු කරගෙන තියෙනවා. විදේශ විණිමය ඉපැයීම් හා ගෙවීම් අතර පරතරයට හේතුව ඔය ණය.

රජය විවිධ ව්‍යාපෘති සඳහා විදේශ ණය ගනිද්දී ඒ ව්‍යාපෘති සඳහා අවශ්‍ය ආනයන ඉහළ ගිහින් ඉහත පරතරය හැදෙනවා. ගත්ත ණය වලින් ඒ පරතරය පියැවෙනවා. ඩොලර් මිලියන 19,190ක් වන 2012 වසරේ ආනයන වියදමෙන් පරිභෝජන භාණ්ඩ සඳහා වැය වුනු කොටස ඩොලර් මිලියන 2,995ක් පමණයි. ඉතිරි කොටස ආයෝජන හා අතරමැදි භාණ්ඩ. රටේ සාමාන්‍ය මිනිසුන්ගේ පරිභෝජනය සීමා කළා කියලා මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැති බව මේ අනුව පැහැදිලි විය යුතුයි.

මීට අමතරව, ණයට ගන්න ඩොලර් රුපියල් කරද්දී ඩොලරය ලාබ වීම නිසා ආනයන තවත් වැඩි වෙනවා. පරතරය තවත් පුළුල් වෙනවා. රාජ්‍ය සුරැකුම්පත් විදේශිකයින්ට අලෙවි කරද්දී ඔය වැඩේ ඉබේටම වගේ වෙනවා. මොකද රුපියල් වලින් ගෙවා රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගන්නනම් ඩොලර් රටට ගෙනත් රුපියල් වලට මාරු කරන්න වෙනවා. ඒ විදිහට රටට එන ඩොලර් මහ බැංකුව විසින් සංචිත වලට එකතු කර නොගත්තොත් ඒ ඩොලර් ටික ආනයන වියදම් වෙලා රටින් එළියට යනවා.

මේ අනුව පැහැදිලි වන පරිදි රටේ විදේශ විණිමය ප්‍රශ්නයේ මුල තියෙන්නේ රජය විසින් ආදායම ඉක්මවා වියදම් කිරීම. ආනයන ඉහළ ගොස් විශාල ජංගම ගිණුම් හිඟයක් ඇති වීම එහි අතුරු ප්‍රතිඵලයක් පමණයි.

දැන් අපි 2012 සිට 2021 දක්වා එමු. 2021 වන විට පැවති තත්ත්වය කුමක්ද?

2021 ජංගම ගිණුම:

අපනයන ආදායම් – ඩොලර් මිලියන 12,499

සේවා අපනයන ආදායම් – ඩොලර් මිලියන 2,475

ප්‍රාථමික ආදායම් – ඩොලර් මිලියන 116

ද්වීතියික ආදායම් – ඩොලර් මිලියන 5,498

ඉපැයීම් එකතුව – ඩොලර් මිලියන 20,587

*

ආනයන වියදම් – ඩොලර් මිලියන 20,637

සේවා ආනයන වියදම් – ඩොලර් මිලියන 899

ප්‍රාථමික ආදායම් ගෙවීම් – ඩොලර් මිලියන 2,075

ද්වීතියික ආදායම් ගෙවීම් – ඩොලර් මිලියන 270

ගෙවීම් එකතුව – ඩොලර් මිලියන 23,871

දැන් මේ 2021 අවුරුද්දෙත් ඩොලර් මිලියන 3,284ක හිඟයක් තිබෙනවා. මේ හිඟය නඩත්තු වුනේ 2012දී වගේ විදේශ ණය ගත් නිසාම නෙමෙයි. මහ බැංකුවේ නිල සංචිත විකුණපු නිසා. සංචිත හින්දවමින් ඩොලරයක මිල පහළින් තියා ගත් නිසා ආනයන වියදම් ඒ විදිහටම පවත්වා ගත හැකි වුනා. අන්තිමට සංචිත හිඳිලා රට බංකොලොත් වුනා.

මේ ප්‍රශ්නය වැඩි අපහසුවකින් තොරව විසඳිය හැකිව තිබුණු “හදාගත්” ප්‍රශ්නයක්. සාර්ව ආර්ථික ප්‍රතිපත්ති නිවැරදි කරපු ගමන්ම දැන් ප්‍රශ්නය විසඳිලා තියෙන්නේ ඒ නිසා. පහත තියෙන්නේ මේ (2023) වසරේ පළමු මාස නවය ඇතුළත විදේශ විණිමය ලැබීම් හා ගෙවීම් තුලනය වුනු ආකාරය.

2023 පළමු මාස නවයේ ජංගම ගිණුම:

අපනයන ආදායම් – ඩොලර් මිලියන 8,982

සේවා අපනයන ආදායම් – ඩොලර් මිලියන 3,690

ප්‍රාථමික ආදායම් – ඩොලර් මිලියන 337

ද්වීතියික ආදායම් – ඩොලර් මිලියන 4,349

ඉපැයීම් එකතුව – ඩොලර් මිලියන 17,358

*

ආනයන වියදම් – ඩොලර් මිලියන 12,323

සේවා ආනයන වියදම් – ඩොලර් මිලියන 1,256

ප්‍රාථමික ආදායම් ගෙවීම් – ඩොලර් මිලියන 2,258

ද්වීතියික ආදායම් ගෙවීම් – ඩොලර් මිලියන 289

ගෙවීම් එකතුව – ඩොලර් මිලියන 16,127

මේ අනුව, 2023 පළමු මාස නවය ඇතුළත පමණක් ජංගම ගිණුමේ ඩොලර් මිලියන 1,258ක අතිරික්තයක් තියෙනවා. මේ මුදල ඉතිරි වෙන්නේ පැරණි ණය සඳහා පොලී වගේම විදේශ ආයෝජන සඳහා ලාභාංශද ගෙවුවට පස්සේ. ප්‍රාථමික ආදායම් ගෙවීම් ලෙස සටහන්ව තිබෙන්නේ එම ගෙවීම්. ඒ නිසා, මේ මුදල පැරණි ණය වලින් කොටසක් ආපසු ගෙවීම සඳහා යොදාගත හැකි මුදලක්.

මේ විදිහට, දිගටම ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගන්න පුළුවන්නම් අවුරුද්දෙන් අවුරුද්ද රටේ විදේශ ණය ටිකෙන් ටික ගෙවී යනවා. එහෙම ගෙවී යද්දී ප්‍රාථමික ආදායම් ගෙවීම් ලෙස වාර්ෂිකව රටෙන් එළියට යන විදේශ විණිමය ප්‍රමාණයද ටිකෙන් ටික අඩු වෙනවා. විදේශ ආයෝජන සඳහා ලබා ගන්නා ලාභාංශ වලින් වැඩි කොටක් නැවත රට ඇතුළේම ආයෝජනය කෙරෙන නිසා ඇත්තටම ජංගම ගිණුමේ සුළු හිඟයක් තිබුණත් රටට ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.

ගෙවුම් ශේෂ ප්‍රශ්න එන්න පාදක හේතුව රජය විසින් ආදායම ඉක්මවා වියදම් කරමින් එම අඩුව පුරවා ගන්න විදේශ ණය ගැනීම. ඒ මූලික ප්‍රශ්නය විසඳුනු විට, මහ බැංකුව විසින් විණිමය අනුපාතය කෘතීම ලෙස පහළින් තියා ගත්තේ නැත්නම්, ගෙවුම් ශේෂ ප්‍රශ්නය ඉබේටම වගේ විසඳෙනවා.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan