*
Monday, May 6, 2024
spot_img

Latest Posts

ඉන්දිරාගේ මතක පොතේ නව පිටුව “ආසු”

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සාදාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ නිර්මාතෘ , ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ දෙවැනි දියණිය වූ ඉන්දිරා ජයසූරිය මහත්මියගේ ජීවිත කතාවට පන පොවමින් විශිෂ්ඨ සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර මහතා නිෂ්පාදනය කරනු ලැබූ අමිල් අබේසුන්දර සම නිෂ්පාදනයෙන් දායක වූ ආසු චිත්‍රපටය එළැඹෙන 11 වැනිදා සිට කොළඹ PVR කැන්ඩි සිටි සෙන්ටර් ඇතුළු දිවයින පුරා සිනමාශාලාවලදී තිරගත කිරීමට නියමිතය.

“ආසු” ට නව අරුතක් දෙමින්, රංගනයෙන් උදාරි වර්ණකුලසූරිය, ශ්‍යාම් ප්‍රනාන්දු, ඩිනාරා පුංචිහේවා, චාන්දනී සෙනෙවිරත්න, සෝමරත්න දිසානායක, ස්වේතකී වාදිසිංහ, අතුල වේරගොඩ, යශෝදා රසඳුනි, රේණුකා බාලසූරිය එක්වනු ඇත.

තිර රචනය සංජීව පුෂ්පකුමාර සහ සංගීතා නිල්නදී, කැමරාකරණයෙන් විශ්ව බාලසූරියද, සංස්කරණය අජිත් රාමනායක, ශබ්ද පරිපාලනය අරුණ ප්‍රියන්ත, සංගීත අධ්‍යක්ෂණය අජිත් කුමාරසිරි සහ නාමිණි පංචලා විසින් අලංකාරවත්ව සිදු කර ඇත.

මෙම කතාවට පාදක වන කරූ ජයසූරිය මහතාගේ ආදරණීය දියණිය ඉන්දිරා ජයසූරියයි, ඉන්දිරාගේ වැඩිමල් සොයුරිය වෛද්‍ය ලංකා ජයසූරිය මහත්මිය පැවසූවේ, ඉන්දිරා පිළිකා භාරයට මෙයින් මුදල් එකතු කිරීමක් හෝ කිසිම දෙයක් සිදු නොවන බවත් , අවශ්‍ය නංගිගෙ කතාව සමාජගත කිරීමෙන් අනෙක් කාන්තාවන්ට යම් දිරිගැන්වීමක් කරන්න පමණක් බවයි.

වෛද්‍ය ලංකා ජයසූරිය මහත්මිය තම නැගණියගේ ආදර්ශමත් ජීවිත කතාව මතකයට නැගූවේ මෙසේය.

” ඇය තීරණයක් ගත්තා පිළිකා ධූලක බෙහෙත් මුකුත් ම ඒ අවස්ථාවේ ගන්නෙ නෑ කියලා. ඇයට හිතේ චකිතයක් තිබුණා දරුවට ඒක බලපායි කියලා. දරුවා ලැබුණට පස්සෙ තමයි ඇය යළිත් ප්‍රතිකාර සඳහා යොමු වුණේ. නමුත් ඒ වෙනකොට පිළිකාව සිරුරෙ ඇතුළෙ ඔඩු දුවලා ඉවරයි. දරුවට අවුරුද්දක් විතර වෙද්දි ඇය ජීවිතයෙන් සමුගත්තා. ඇයගේ මරණය සහ ඇය පිළිකාව එක්ක සටන් කළ විදිය ගොඩක් අයට ආදර්ශයක්. එයා ලෙඩේ දිහා බැලුවෙ සහ මුහුණ දුන්නෙ බොහොම ධනාත්මක විදියට. ඒ වගේම එයා දුක් වුණේ නෑ. ඇයගේ මුහුණෙන් කවදාවත් සිනහව නැති වුණේ නෑ. ඒවගේ ම නංගිගෙ මරණයත් බොහොම වේදනා රහිත සාමකාමී මරණයක්. අපි හැමෝම එ් වෙලාවෙ එයා ළඟ හිටියෙ. අපිට හැම කෙනෙක්ම උදව් කළා “

2016 නොවැම්බර් මස 02 වැනිදා සිය දිවිය හැරයන විට ඇය පසු වූයේ 40 වැනි වියේ ය. ජීවිතයේ පරිණතම අවදිය පටන් ගත්තා පමණෙකි. අත දරුවා සමඟ ඇගේ වැඩිමල් දියණිය ද සැමියා මාටින් ද මවුපියන් හා එකම සහෝදරියගෙන් ද ඇය සමුගන්නේ මනුෂ්‍යත්වය පිළිබඳ අපමණ පාඩම් ලොවට ක්‍රියාවෙන් දායාද කරමිනි. වැටෙන සහ වැටුණු කාන්තාවන්ට ඈ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම දිරිය ගැහැනියක වූවාය.

ආදරය කියන හැඟීම අපි හැමදෙනාට ම පොදු හැඟීමක්. විශේෂත්වය වෙන්නේ ඉන්දිරා අපි හැමෝට ම ඒක පොදු කරලා පෙන්නුවා. ඒක අපි හැමෝටම එල්ල කළ ආලෝක කදම්බයක්. ඒ ආලෝකය හැමෝට ම එල්ල කරන්න පුළුවන් ද කියලා බලපු එකයි අපි ආසු හරහා කළේ

ආසු අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර ආසු වෙනුවෙන් හඬ අවදි කලේ එලෙසින්-

” ඉන්දිරාගෙ කතාව අපි කොහොමද සිනමාපටයකට ගේන්නෙ කියන අභියෝගය අපි ඉස්සරහ තිබුණා‘. ඒ වගේම අපිට චිත්‍රපටය නිම කළ යුතු නියමිත කාලවකවානුවකුත් දන්වලා තිබුණා. අවුරුද්දකට කිට්ටු කාලයක් අපි මේක හදමින් කපමින් ලියමින් සකස් කළා. ඒකෙදි ඉන්දිරාගෙ චරිතය විතරක් ම නොවෙයි, අපි පාදක කරගන්නෙ. පියයුරු පිළිකා රෝගයට මුහුණ දුන්නු තවත් කාන්තාවන් කිහිපදෙනෙක්ගෙනුත් තොරතුරු ගත්තා. තවත් බොහෝ පර්යේෂණ කළා. මට අවශ්‍ය වුණා ආසු චිත්‍රපටය බෞද්ධ පුරුෂාර්ථ මත පදනම් වුණු චිත්‍රපටයක් විදියට ගොඩනඟන්න.

ඇත්තට ම මේක ඉන්දිරා ජයසූරිය ජීවත් වෙච්ච විදිය හෝ ඇයගේ පසුබිම සම්පූර්ණයෙන් නිරූපණය කරන සිනමාපටයක් නෙමෙයි. අපදාන සිනමාපටයක් කියන්නෙ සිනමාවේ එක්තරා ප්‍රවර්ගයක්. අපදාන සිනමාපටයක වැදගත්ම දේ තමා ඒ චරිතය නියෝජනය කරන දෘෂ්ටිවාදය. ඒ වගේම එයා නියෝජනය කරන සමාජ ආර්ථික දේශපාලන දෘෂ්ටිවාදය නිවැරැදිව නිරූපණය වෙනවද කියන කාරණය. නමුත් මේක වාර්තා සිනමාපටයක් නොවන නිසා කලාත්මක සිනමාපටයකට ගනිද්දි ඒක ප්‍රබන්ධකරණයට ලක්කරන්න සිදු වෙනවා. මම ආසු චිත්‍රපටයේදී කරල තියෙන්නෙ ඉන්දිරා ජයසූරිය කියන චරිතය අනුප්‍රාණය කිරීමක්. ඒකයි මේක සත්‍ය කතාවක් පදනම් කරගෙන හැදුවා කියන්නෙ. එත් ඉන්දිරාගේ සමාජ සංස්කෘතික දෘෂ්ටිවාදය සහ එයාගෙ ආකල්ප ඒ විදියට ම තියාගෙන මේ නිර්මාණය කරන්න උත්සාහ කළා. ඉන්දිරා කියන්නේ ඉතාමත් මවුවත් ගුණයෙන් යුතු කාන්තාවක්. ඒ තරම් කැප කිරීමක් කරන්න තමන්ගේ ආත්මය සූදානම් කර ගන්නවා කියන්නේ වෙනම මානසිකත්වයක්. ආදරය කියන හැඟීම අපි හැමදෙනාට ම පොදු හැඟීමක්. විශේෂත්වය වෙන්නේ ඉන්දිරා අපි හැමෝට ම ඒක පොදු කරලා පෙන්නුවා. ඒක අපි හැමෝටම එල්ල කළ ආලෝක කදම්බයක්. ඒ ආලෝකය හැමෝට ම එල්ල කරන්න පුළුවන් ද කියලා බලපු එකයි අපි ආසු හරහා කළේ ”

ඉන්දිරා ජයසූරිය ගැන මතකය කරූ ජයසූරිය මහතාගේ පවුලේ සියළු දෙනාට දැඩි කම්පනයක් වනවා සේම ,ඇය සිහිකිරීම බොහෝ අවස්ථාවන්හි ජීවත් වීම යනු මහා ජීවිත කැපකිරීමක් නොවේදැයි ඕනාම අයෙකුට සිතෙන්නකි. එක් දවසක හුස්ම ගැන්මට අපහසු වන තරමේ අවස්ථාවකට මුහුණ දුන් ඇය අවසානයේ දරුවාගේ ජීවිතය වෙනුවෙන් හුස්ම අතහැරීමට තීරණය කළේ හුදු හැඟීම්බර බවකින් නම් නොවේ.

ඇය තමා ගත් තීරණය ගැන හොඳින් ම දැන සිටියා ය. එහි දිග පළල සහ ගැඹුර ගැන ඇය සක්සුදක් සේ දත්තී ය. සිහියෙන් සිතා බුද්ද්ධියෙන් ගත් තීරණය හමුවේ ඇයට මෙලොව ජීවිතය ගත කරන්නට අවස්ථාව ලැබී තිබුණේ වසරකටත් අඩු කාලයකි.

එහෙත් ඈ ඒ වසර ගත කළේ තමා ගත් තීරණය ගැන බොහෝ තුටු වෙමිනි. කුටුම්බයේ අනේක විධ ගැටලු හමුවේ ඇය ජීවිතය අත් නොහැරියා ය. ජීවිතයේ ගත් බොහෝ තීරණ ඇය ගත්තේ මවකගේ ස්නේහයේ පරිමාව ගැන දැනුම්වත්වය.

ඇය පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑම මවකි. හිත ශක්තිම ගැහැණියකි. ලොව ගැහැණියට ඇය මහත් ආදර්ශයක් සේම විශාල පාඩමකි…..

තවද, මෙම චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම තීරණය කර ඇත්තේ, ආසු චිත්‍රපටය මුල්කරගෙන පාසල් සිසුන් අතරේ ගද්‍ය රචනා තරගයක් පැවැත්වීමටයි. ඒ සඳහා ආසු චිත්‍රපටයෙන් නිරූපණය වන මව් ගුණය තරග තේමාව වන අතර මෙතෙක් චිත්‍රපටයක් වෙනුවෙන් ලබාදුන් ඉහළම මුදල් ත්‍යාගයන් ජයග්‍රාහකයන් වෙනුවෙන් ලබාදීමට තිරණය කර ඇත.

කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ අංශ දෙකකින් තරගය පැවැත්වෙන අතර කනිෂ්ඨ තරග අංශය සඳහා 9-11 ශ්‍රේණිවල සිසුන්ද ජ්‍යෙෂ්ඨ අංශය සඳහා 12-13 ශ්‍රේණිවල සිසුන්ද ඇතුළත් වේ. තරග අංශ දෙකෙන්ම මුල් ස්ථාන තුන ලබාගන්නා ජයග්‍රාහී සිසුන් හයදෙනෙකුට මුදල් ත්‍යාග පිරිනැමේ.

ඒ අනුව සෑම තරග අංශයකම ප්‍රථම ස්ථානය සඳහා රුපියල් 50,000 ක්ද දෙවැනි ස්ථානය සඳහා රුපියල් 30,000 ක්ද තුන්වන ස්ථානය සඳහා රුපියල් 20,000 ක්ද හිමිවේ. එපමණක් නොව තරග අංශ දෙකෙන්ම ප්‍රථම ස්ථානය ලබාගන්නා පාසලට හෝ දහම් පාසලටද රුපියල් 50,000 බැගින් මුදල් තෑගි දෙකක් හිමිවේ. ඒ අනුව පිරිනමන මුළු තෑගි මුදල රුපියල් 300,000 කි.

විදුහල්පතිවරයා හෝ දහම් පාසල් ප්‍රධානාචාර්යවරයා මගින් සහතික කරගත් වචන 250 ට නොඅඩු රචනාවන් [email protected] විද්‍යුත් ලිපිනයට නම, පාසල/දහම් පාසල, ශ්‍රේණිය, තරග අංශය, පාසලේ/දහම් පාසලේ ලිපිනය, පෞද්ගලික ලිපිනය, දුරකථන අංකය (ජංගම සහ ස්ථාවර) ආදිය ඇතුළත් කර ඔබ විසින් සකසන ලද අයැදුම්පතක් සමග නොවැම්බර් මස 15 වැනිදාට පෙර එවන්න. තරග විනිශ්චය මණ්ඩලය ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ආචාර්ය ක්‍රිෂාන්ත ෆ්‍රෙඩ්රික්ස්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ප්‍රගීතිකා ජයසේකර, කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන්තිකා ප්‍රියදර්ශනී සහභාගි වෙති. සංජීව පුෂ්පකුමාරගේ ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයේ ප්‍රදර්ශනයට සමගාමීව විශ්වවිද්‍යාල සිසුන් සඳහා පැවැත්වුණු සිනමා විචාර තරගයේ ජයග්‍රාහකයන්ට හිමි මුදල් ත්‍යාග පිරිනැමීමද ඔක්තෝම්බර් මස 11 වැනිදා සවස 6.30 ට කොළඹ PVR සිනමා ශාලාවේ විශේෂ ආරාධිතයන් සඳහා පැවැත්වෙන ආසු සිනමා දර්ශනයේදී සිදුකරේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan