*
Monday, May 6, 2024
spot_img

Latest Posts

දොස්තරලා සනීපෙන්ද ?

(2016 වසරේ ලියන ලද ලිපියක් නැවත පළකිරීමකි)

මානව ඉතිහාසය සංක්‍රමණිකයන්ගේ ඉතිහාසයකි. වෙනත් ප්‍රවාද ඇතත්, නැගෙනහිර අප්‍රිකාවේ බිහිවුණු හෝමෝ සේපියන්ස් සේපියන්ස්ලා අතරින් පාරුවකින් රතු මුහුද තරණය කර මැද පෙරදිගට සංක්‍රමණය වූ කුඩා කණ්ඩායමක් හේතුවෙන් ලෝකයේ ඉතිරි පෙදෙස් වල මිනිස් ආධිපත්‍යය පැතුරුණු බව බොහෝ ප්‍රචලිත මතයකි.

මිනිස්සු මෙන්ම අනෙක් සත්තුද සංක්‍රමණය වෙති. තමන්ට හුරුපුරුදු වටපිටාවෙන් වෙනත් පෙදෙසකට සංක්‍රමණය වීම අවදානමක් දැරිය යුතු කටයුත්තකි. මිනිසුන් මෙන්ම වෙනත් සතුන්ද මේ අවදානම ගන්නේ එහි ඇති වාසි ගන්නා අවදානමට තරම් වේනම් පමණි. මේ අවදානම හා වාසි ගණනය කරන්නේ තමන්ගේ පවතින දැනුමට සාපේක්ෂව වීම වෙනම කරුණකි.

සංක්‍රමණයෙන් බලාපොරොත්තු වන වාසිය ‘සනීපෙට’ ජීවත් වීමයි. මේ වචනයෙන් අප බොහෝ විට අදහස් කළේ සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම පමණක් නොවේ. හොඳ කෑම බීම කමින් හෝ වඩා ප්‍රශස්ත දේශගුණයක් ඇති පෙදෙසක ජීවත් වීමද සනීපෙට ජීවත්වීමකි. ළමා රක්ෂණ නීති හඳුන්වාදීමට පෙර යුගයේ දරිද්‍රතාවයෙන් පෙළුණු ගම්බද පවුලක දරුවෙකු හෝ දැරියක කොළඹ බංගලාවක මෙහෙකාරකමට එවීමට දෙමවුපියන් කැමති වුනේ ළමයා බඩ කට පිරෙන්නට කෑම කා සනීපෙන් සිටිනු ඇතැයි යන අපේක්ෂාවෙනි. මුහුදුබඩ පළාතක කෙනෙක් නිවාඩුවකට නුවරඑළි හෝ වෙනත් සීතල පැත්තක සංචාරය කළේ සනීප ගන්නටය.

අදටත් ලංකාවේ බොහෝ දෙනෙකුට වෙනත් රටකට සංක්‍රමණය වීමේ සිහිනයක් තියෙන්නේ එසේ කිරීමෙන් ලංකාවේදී කළ නොහැකි ‘සනීපෙට ජීවත් වීමක්’ කළ හැකියැයි ඔවුන් සිතන නිසාය. පවතින සීමිත සම්පත් සඳහා පුද්ගලයින් අතර තරඟය අඩු තැන්වල සනීපෙට ජීවත් වීම සඳහා වැඩි ඉඩකඩක් තිබේ. මේ තරඟය අඩු වීමට සම්පත් වඩා සුලභ වීම, තරඟකරුවන් අඩුවීම හෝ මේ දෙකරුණම හේතු විය හැකිය.

ලංකාවේ ‘සනීපෙට ජීවත් වීමට’ ඇති ඉඩකඩ ඉතා වැඩිනම් සංක්‍රමණය පුද්ගලයෙකුගේ තෝරාගැනීමක් වීමට ඇත්තේ අඩු ඉඩකි. එසේනම්, උසස්පෙළ තරඟය ජයගෙන, වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වී, අවසානයේ දොස්තරලා වී, සමාජයේ වෙනත් බොහෝ කණ්ඩායම් වලට නැති වරප්‍රසාද ‘කෙක්කෙන් හෝ කොක්කෙන්’ ලබා ගනිමින්, සනීපෙට ජීවත් වනවාක් මෙන් පෙනෙන ලංකාවේ දොස්තරලාට සංක්‍රමණික අභිප්‍රායයන් නැද්ද?

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනය (Post Graduate Institute of Medicine) හරහා 1980 අප්‍රේල් මස සිට 2009 ජූනි මාසය දක්වා වැඩිදුර ඉගෙනීම සඳහා විදේශගත වූ වෛද්‍යවරුන් 1,915ක් අතරින් 215 දෙනෙකු (11%ක්) නැවත ආපසු පැමිණ නැත. මොවුන්ගෙන් අඩකට වැඩි පිරිසකගේ ගමනාන්තය වී ඇත්තේ ඕස්ට්‍රේලියාවයි. කෙසේ වුවද, ඔවුන්ගෙන් වැඩි දෙනෙකු රජය සමඟ අත්සන් කළ බැඳුම්කර පියවා හෝ පියවීම අරඹා තිබේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පළමු වසර, සිවුවන වසර හා පූර්ව-සීමාවාසික පුහුණුව ලබන ‘වෙන්ඩ දොස්තරලා’ 374 දෙනෙකු යොදාගෙන සිදු කළ සමීක්ෂණයකට අනුව මේ නියැදියෙන් 89 දෙනෙකු (23.8%) විදෙස් රටකට සංක්‍රමණය වීමට බලාපොරොත්තුවෙන් සිටිති. මොවුන්ගෙන් තුනෙන් එකක් පමණ (34.8%) ලංකාවේදී පශ්චාත් උපාධියක් ලබාගැනීමෙන් පසුවත්, තවත් 46%ක් සීමාවාසික පුහුණුව අවසන් කළ වහාම හෝ තවත් අවුරුද්දක් දෙකක් ලංකාවේ සේවය කර ආරම්භක ප්‍රාග්ධනයක් සොයා ගැනීමෙන් පසු පශ්චාත් උපාධි සඳහා නොරැඳී විදේශගත වීමට සූදානමෙන් සිටිති. කිසියම් දිනක ලංකාවේ සේවය කිරීමේ අවස්ථාවද නැති කරගනිමින් සීමාවාසික පුහුණුව නොලබාම රටින් පිටවීමට බලා සිටින කිහිපදෙනෙක්ද (6.7%) මේ අතර සිටිති. මේ වෙන්ඩ දොස්තරලාගේ ජනප්‍රියම ගමනාන්ත වන්නේ ඕස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය හා එංගලන්තයයි.

ඉහත කී ලෙස රටින් පිට වීමට තීරණය කර සිටින කණ්ඩායමට අමතරව තවත් සැලකිය යුතු පිරිසක් (32.4%) දෙපැත්තට වැනි වැනී සිටින අයයි. ලංකාවේ සිටීමට තීරණය කර ඇති අයගෙන්ද 17.3%ක් මුලින් සංක්‍රමණය වීමේ අදහසින් සිට පවුලේ ඥාතීන් හා සමීපව සිටීමේ උවමනාව ප්‍රධාන වෙනත් හේතු මත මුල් අදහස වෙනස් කරගත් අයයි.

මේ තොරතුරු අනුව පෙනෙන්නේ ලංකාවේ දොස්තරලා ඉන්නේත් ඒ තරම්ම සනීපෙන් නොවන බවයි.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan